දරුවන්ගෙන් වාසි ගන්න එපා!

අධ්‍යාපන

පාසල් අධ්‍යාපන පද්ධතිය බිඳ දැමීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් වෙතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
එබැවින් බුද්ධිමත් ව කටයුතු කරන්නැයි ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටී.
වර්ජන සිදුකරමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරමින් සිටින පරිදි අසාධාරණ හේතු දක්වමින් ඇතැම් වෘත්තීය සමිති විසින් පාසල් අධ්‍යාපන පද්ධතිය බිදදැමීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින බවත් ජනතාව මේ අනතුරුදායක තත්වය නිවැරදිව හදුනාගෙන කටයුතු කළ යුතු බවත් 24 වැනි දා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසී ය.
එළඹෙන 26 වැනි දින ගුරු වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනයක් කැඳවා තිබීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම පිණිස මෙම සාකච්ඡාව පැවැත්විණි.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා –

ආණ්ඩු පෙරළීමට අවශ්‍ය නම් ඕනෑ දෙයක් කරන්න! දරුවන්ගේ අධ්‍යාපනය සමග සෙල්ලම් කරන එපා!
වෘත්තීය සමිතිවලට වෘත්තීය අයිතීන් වෙනුවෙන් කටයුතු කළ හැකි වුවත් අසාධාරණ ඉල්ලීම් මත පදනම් වී පාසල් දරුවන්ගේ අධ්‍යාපන හා විභාග කටයුතුවලට බාධා සිදුකිරීම මා තරයේ හෙළා දකිනවා..

ඇතැම් අධ්‍යාපන බලධාරීන් තම වෘත්තීය බලතල යොදාගනිමින් විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට හා සිසුන්ට බලපෑම් කර ඇති බවට පැමිණිලි ලැබී තිබෙනවා. වෘත්තීය අයිතිවාසිකම්වලට මුවා වී මෙලෙස තර්ජනය කරමින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩකප්පල් කිරීමට කටයුතු කරන මෙම පිරිස් සම්බන්ධයෙන් මට තියෙන්නේ අප්‍රසාදයක්. වෘත්තීය අයිතිවාසිකම්වලට මුවා වී ගුරුවරුන්ට තර්ජනය කරමින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩකප්පල් කිරීමට කටයුතු කරන පිරිස් සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පුළුල් විමර්ශනයක් ඉදිරියේ දී ආරම්භ කරනවා.

ජූලි 26 වෙනිදා පැවැත්වෙන විරෝධතාවයට සහය පළනොකර පාසලට පැමිණෙන බව පවසන ගුරුවරුන්ට විවිධ හිරිහැර හා තර්ජන කිරීමත් අසූචි ප්‍රහාර සිදුකරන බවටත් ප්‍රදේශ කිහිපයකින් පැමිණිලි ලැබී තිබෙනවා. වෘත්තීය සමිති මෙවැනි පහත් තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන් ඇත්වෙන්නේ පිළිකුලක්.

පසුගිය කාලය තුළ දේශපාලන හා වෙනත් විවිධ හේතු මත රාජකාරි ස්ථානයන්හි දී පීඩාවට ලක්ව උසස්වීම්, වැටුප් වර්ධක ඇතුළු රැකියා වරප්‍රසාද අහිමි වූ අධ්‍යාපන සේවයේ නිලධාරීන්ට පක්ෂ භේදයකින් තොරව විනිවිදභාවයකින් සහ නීත්‍යානුකූල පරිදි සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන විට එයට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙනයමින් රටේ අධ්‍යාපන පද්ධතිය නොමග යැවීමට ඊනියා වෘත්තිය සමිති කටයුතු කිරීම මගින් පෙනීයන්නේ අධ්‍යාපන පද්ධතිය අවුල් කිරීමේ කුමන්ත්‍රණකාරී උත්සාහයක් බවයි.
එසේ දේශපාලන පළිගැනීම් හේතුවෙන් සහන ලබා දුන් කිසිවකුට තනතුරු ලබා දී නැහැ. දේශපාලන පළිගැනීම් සිදු වූ බවට තහවුරු වූ සුදුසුකම් සහිත පිරිස් වෙත ශ්‍රේණිය සහ වැටුප් පමණයි ලබාදුන්නේ.

එසේ සහන ලැබූ පිරිස් අතර ගුරු වෘත්තීය සමිතිවල නායකයින් මෙන්ම ක්‍රියාකාරකයින් බොහෝ පිරිසක් සිටිනවා. වෘත්තීය සමිති එක් පැත්තකින් දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට යහපාලන රජයෙන් ලබාදෙන සහන ලබාගනිමින් ඒ සමගම එයට විරෝධය දක්වන දෙබිඩි පිළිවෙතක කටයුතු කරමින් සිටිනවා.

ඔවුන් පවසන ආකාරයට නුසුදුස්සන්ට උසස්වීම් ලබාදෙන්නේ නම් වෘත්තීය සමිති කළ යුත්තේ මාධ්‍ය සංදර්ශන පවත්වා රටේ දරුවන් සහ අධ්‍යාපන පද්ධතිය විනාශ කිරීම නොවෙයි, අධිකරණය හමුවට ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.. නමුත් දිගින් දිගටම රටේ අධ්‍යාපනය බිල්ලට ගනිමින් සංදර්ශන පවත්වනවා මිස සද්භාවයෙන් යුතු යුක්තිය පසිදලීමේ ක්‍රියාමාර්ගයකට ඔවුන් අවතීරණ වෙලා නැහැ.
එක් වෘත්තීය සමිතියක් පසුගිය 11 වන දා රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන කමිටුවට නුසුදුස්සන් රැසකට මේ හරහා උසස්වීම් හිමිවන බව සදහන් කරමින් ලිපියක් ලබාදෙමින් නිදසුන් ලෙස පුද්ගලයින් හත් දෙනකුගේ නම් සදහන් කරමින් ඔවුන් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 වන පන්තියට උසස්වීම් නිර්දේශ කර ඇති බව සදහන් කර ඇති බව පැවසුවා.

නමුත් මෙම ගුරු සංගමය නුසුදුසු පුද්ගලයින් යැයි නිදසුන් ලෙස මෙලෙස නම් වශයෙන් සදහන් කළ මෙම පුද්ගලයින් හත්දෙනාගෙන් පුද්ගලයින් පස් දෙනෙකුම දේශපාලන පලිගැනීම් හේතුවෙන් උසස්වීම් හෝ වෙනත් කිසිදු සහනයක් ලබාදෙන ලැයිස්තුවක හෝ නොවන අය. (දේශපාලන පළිගැනීම් හේතුවෙන් සහන ලබාදීමට යෝජිත නම් ලැයිස්තුව ඉදිරිපත් කරමින්)

එසේම වෘත්තීය සමිති නිදසුන් ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 වන පන්තියට උසස්වීම් ලබාදෙන බවට සදහන් කර ඇති අනෙක් දෙදෙනාගෙන් එක් අයකු විදුහල්පති සේවයේ 1 පන්තියට හා අනෙක් තැනැත්තා විදුහල්පති සේවයේ 2 පන්තියටත් උසස්වීමට යෝජනා වී තිබෙනවා..

අසාධාරණයට එරෙහිව පෙනී සිටින බව පවසන මෙම වෘත්තීය සමිති අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 852 ක් නැති වීම සම්බන්ධව හෝ ගුරු අධ්‍යාපනඥ සේවයේ 1190 ක හිගයක් තිබීම සම්බන්ධව උද්ඝෝෂණ නොකළ සමිති. වර්තමාන රජය ඒවා හදුනාගෙන පුරප්පාඩු සම්පූර්ණ කිරීමට නිසි පියවර ගත්තා. මෙම වෘත්තීය සමිති තරග විභාගයක් පවත්වා නිසි ක්‍රමවේදයක් අනුව පුරප්පාඩු පැවති බැවින් පද්ධතියට බඳවාගත් විදුහල්පතිවරුන් 4,000 ක් අතරින් විදුහල්පතිවරුන් 3,000 ක් පළාත් සභා විසින් විදුහල්පති තනතුරේ පිහිටුවීමට ක්‍රියා නොකිරීම සම්බන්ධව එම පළාත් සභාවලට එරෙහිව මෙතෙක් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.

එබැවින් මෙම වෘත්තීය සමිති අධ්‍යාපනය තුළ අර්බුද මවා පාමින් පටු දේශපාලන වාසි ලබාගැනීම සඳහා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය බිලිබාගැනීම බව පැහැදිලි බැවින් මෙම තත්වය බුද්ධිමත් ජනතාව අවබෝධ කර ගත යුතුයි.

කුමන අභියෝග පැවතියත් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හෝ විභාග කඩාකප්පල් කිරීමට ඉඩ නොදෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සියලුම විභාග නිසි පරිදි පැවැත්වීමට කටයුතු කරන බවත් ඒ සඳහා දැනුවත්ව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පැවසුවා.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/07/24/%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%8f%e0%b7%83%e0%b7%92-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%91%e0%b6%b4%e0%b7%8f/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *