සිඳුරළ දිගු ගමනක් නිමවයි.

හමුදා තොරතුරු

‘සිඳුරළ’ නෞකාව දීර්ඝ මුහුදු ගමනක් නිමවා පෙරළා දිවයිනට පැමිණේ.

ඔස්ට්‍රේලියානු නාවුක හමුදාව ද්විවාර්ෂික ව සංවිධාන කරන කකාඩු නාවුක අභ්‍යාසයට සහභාගී වීම සඳහා ඇය ඉකුත් අගෝස්තු 20 වැනි දිා ත්‍රිකුණාමලය වරායෙන් එරට බලා පිටත් වූවා ය.

සාර්ථක ලෙස නාවුක අභ්‍යාසය නිමා කළ සිඳුරළ,මෙරට නාවුක ඉතිහාසයේ දීර්ඝතම මුහුදු ගමනකින් අනතුරුව සැප්තැම්බර් 24 වැනි දා දිවයිනට ළඟා වන ලදී.

මෙම සංචාරය තුළ ‘සිඳුරළ’ නෞකාව නාවුක සැතපුම් 6646 ක් ආවරණය කර ඇති අතර එය කොළඹ වරායේ දී නාවුක සම්ප්‍රදායානුකූල ව පිළිගැනිණ.

බහුපාර්ශ්වික කකාඩු පුහුණු අභ්‍යාසය අගෝස්තු 30 වැනි දා සිට සැප්තැම්බර් 16 වැනි දා දක්වා ඔස්ට්‍රේලියාවේ ඩාවින් මුහුදු තීරය ආශ්‍රිත ව පවත්වන ලද්දේ මුහුදු කලාපයේ පුහුණුව සහ සහයෝගීතාව තුළින් කලාපීය හවුල්කරුවන් අතර සම්බන්ධතාව සහ අවබෝධය වැඩි කිරීමේ අරමුණෙනි.

නෞකා හැසිරවීමේ අභ්‍යාස, නෞකා සමූහයක් වශයෙන් ස්ථානගත කිරීමේ අභ්‍යාස, ගුවන් ප්‍රතිප්‍රහාර දැක්වීමේ වෙඩි අභ්‍යාස, නෞකා අතර භාණ්ඩ හුවමාරු කිරීමේ හා නෞකා සමූහයක් ලෙස නැංගුරම් ලෑමේ අභ්‍යාස එහි දී ක්‍රියාවට නැංවිණ.

පුහුණු අභ්‍යාසයට ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ දායකත්වය ද ලද අතර බංග්ලාදේශය, බෲනායි, චිලී, කැනඩාව, චීනය, ෆීජි, ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, මලයාසියාව, නවසීලන්තය, පාකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිලන්තය, එක්සත් අරාබිය, ඇමරිකා එක්සත් ජනපදය සහ වියට්නාමය ඇතුළු ව රටවල් 27 ක නාවුක හමුදා එක් වූ හ. නාවුක හමුදාවන්ට අයත් නෞකා 24 ක් සහ ගුවන් යානා 21 ක් ද ඊට සහභාගී වන ලදී.

විශේෂ ක්‍රීඩා වැඩසටහන්, මැරතන් ධාවන තරග, පිහිනුම්, ගොඩබීම් බාධක තරග, දිය බාධක තරග, කායක් ඔරු තරග සහ ඒ ඒ රටවල සංස්කෘතික අංග ඉදිරිපත් කෙරෙන විවිධාංගවලින් අභ්‍යාසය සමන්විත විය.
එමඟින් ශ්‍රී ලංකා නාවුක හමුදාවේ දස්කම් ද විදහා දැක්වූ අතර, ක්‍රිඩා ඉසව්වලින් සිඳුරළ කණ්ඩායම තෙවැනි ස්ථානය ලබා ගන්නා ලදී.

තවත් ඡායාරූප ලක්දන ෆේස්බුක් පිටුවේ..

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/03/%e0%b7%83%e0%b7%92%e0%b6%b3%e0%b7%94%e0%b6%bb%e0%b7%85-%e0%b6%af%e0%b7%92%e0%b6%9c%e0%b7%94-%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%b8%e0%b7%80%e0%b6%ba%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *