ලබන වසර මුල නුවරඑළියට මහ රෝහලක්

ප්‍රදේශීය සෞඛ්‍යය

නුවරඑළිය නව මහ රෝහල එළඹෙන අප්‍රේල් මාසයට ප්‍රථම විවෘත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

එහි අභිනවයෙන් ඉදි කළ වෛද්‍ය නිල නිවාස සංකීර්ණය, හෙද නේවාසිකාගාරය සහ පෙරපාසල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම ඒ බව ප්‍රකාශ කළේ ය.

මෙහිදී රෝහලේ පවතින වෛද්‍ය, හෙද සහ සෙසු කාර්ය මණ්ඩලවල පුරප්පාඩු සහ පොදු පහසුකම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම සාකච්ඡාවට නුවරඑළිය මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ සෙසු කාර්යය මණ්ඩල ද එක් ව සිටිය හ.

එහි දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –
“නෙදර්ලන්ත ආධාර යටතේ ඉදිකරන ලද නුවරඑළිය සහ හම්බන්තොට නව රෝහල් පිළිබඳ ගැටළු තිබුණා. එම ගැටළු අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසු විසඳීමට හැකි ව තිබෙනවා. එම නිසා ලබන වසරේ අප්‍රේල් මාසයට ප්‍රථම මෙම රෝහල විවෘත කරනවා. ඒ අංග සම්පුර්ණ නව මහ රෝහලක් ලෙසයි.

දිවයිනේ අනෙකුත් රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් සඳහා නව නිල නිවාස 1500 ක් ප්‍රථම අදියර යටතේ ඉදිකරනවා. ඒ විදේශ සමාගමක ආයෝජනයක් මතයි.

දිවයින පුරා රෝහල් රැසක් යුරෝපයේ ප්‍රමිතියට අනුව සංවර්ධනය කරනවා. වෛද්‍ය, හෙද, පරිපුරක සහ අතුරු වෛද්‍ය සේවාවල මානව සම්පත දෙගුණ කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මානව සම්පත් අධ්‍යක්ෂවරයෙකු පත් කර එම වැඩපිළිවෙල අධීක්ෂණය කරනවා.

වසර 2025 වනවිට විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාව හඳුනාගනිමින් වෛද්‍යවරුන් බිහිකිරීම සදහා තවත් විශ්වවිද්‍යාල 03 ක නව වෛද්‍ය පීඨ ස්ථාපිත කරනවා. හෙද හෙදියන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, අතිරේක ලේකම්වරුන් වන ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදත් රත්නවීර, රෝහල් අධ්‍යක්ෂ අරුණ ජයසේකර ද එක් ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/12/%e0%b6%bd%e0%b6%b6%e0%b6%b1-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd-%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b6%91%e0%b7%85%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b8%e0%b7%84-%e0%b6%bb/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *