කලහකාරී සිසුන්ට දඬුවම්

අධ්‍යාපන

ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය තුළ විනයවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වූ සිසුන් පිරිසකට දඬුවම් ලබාදුන් බව එම පාලනාධිකාරිය කියයි.

ඔවුන්ට ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි එමගින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ වනවිට ඇතැම් පිරිස් අදාල දණ්ඩන ලත් සිසුන් කොන්දේසි විරහිත ලෙස යළි විශ්වවිද්‍යාලයට කැඳවාගන්නැයි බල කරමින් ක්‍රියාමාර්ගවල නිරත වී තිබේ.

කොළඹ ප්‍රදේශයේ මාර්ග අවහිර කරමින් පෙළපාලි යෑම හා උද්ඝෝෂණ පැවැත්වීම, විශ්වවිද්‍යාලය තුළ හා කොළඹ ලිප්ටන් වටරවුම අසල අට්ටාල ගසා ජනතාවට හා විශ්වවිද්‍යාල සිසුනට කරදර වන සේ උද්ඝෝෂණ කිරීම ඒ අතර වෙයි.

දඬුවම් ලද සිසුන් අදාල දඬුවම් ලද කාලය තුළ වෙනත් නොයෙකුත් විනයවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ හෙයින් ද, මීට පෙර යම් සිසුන් පිරිසකට දෙන ලද දඩුවම් ඔවුන්ට දෙනලද පරිවාස කාලය තුළ සිදුවූ හෙයින් ද, මීට පෙර දෙන ලද දඬුවම ම නැවත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ බලයලත් නිලධාරිනිය ලෙස සේවය කළ මහාචාර්ය උමා කුමාරස්වාමි තීරණය කරන ලදී.

තාක්ෂණ පීඨයේ බහුතර සිසුන් කලහකාරී සිසුන්ගේ ක්‍රියාකලාපයන්ට බලවත් විරෝධයක් දක්වමින් එසේ ශිෂ්‍යභාවය අහෝසි කළ සිසුන් නැවත විශ්වවිද්‍යාලයට සම්බන්ධකර ගැනීමට දැඩි සේ විරුද්ධ වෙති.

ඉකුත් 12 වැනි දා රාත්‍රියේ සිට සිසුන් කිහිපදෙනෙකු හා ඔවුන්ගේ දෙමාපියන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල බලහත්කාරයෙන් අත්පත්කරගනිමින්, ගොඩනැගිල්ල තුළට ලණු හා දම්වැල් සහිතව ඇතුළු වී උපකුලපතිවරයා ඇතුළු සියලු පරිපාලන නිලධාරීන් හා සේවකයින්ට එම ගොඩනැගිල්ල තුළට පිවිසිය නොහැකි වන සේ සියලු ප්‍රවේශ ලණු හා දම්වැල්වලින් අවහිර කර තිබේ.

පරිපාලන ගොඩනැගිල්ල විශ්වවිද්‍යාල පරිපාලනය විසින් වසා දමා ඇතැයි ඔවුන් ගෙන යන ව්‍යාජ ප්‍රචාර හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ සියලු පරිපාලන කටයුතු ඇණහිට ඇත.

කෙසේවෙතත් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල අධ්‍යාපන කටයුතු සාමකාමී ව සිදුවෙමින් පවතී. උපකුලපතිවරයා ඇතුළු පරිපාලන නිලධාරීන් විශ්වවිද්‍යාලයයේ පරිපාලන කටයුතු වෙනත් ස්ථානයක සිට ඉටුකරමින් සිටිති

මෙසේ කලහකාරී ලෙස හැසිරෙන සිසුන් 20 කට පමණ එරෙහි ශ්‍රී ලංකා පොලිසියේ උපරීම සහයෝගයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇත.

කලහකාරී ලෙස හැසිරෙමින් පරිපාලන ගොඩනැගිල්ල බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින සිසුන්ට හා දෙමාපියන්ට වහ‍ෙ විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් වෙන ලෙසට අක්කරපත්තුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/16/%e0%b6%9a%e0%b6%bd%e0%b7%84%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%93-%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%af%e0%b6%ac%e0%b7%94%e0%b7%80%e0%b6%b8%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *