පුත්තලමට ගංවතුර පෙරදැනුම්දීමේ ක්‍රමයක්

ප්‍රදේශීය

පුත්තලම් දිස්ත්‍රික්කයේ හදිසි ආපදා කළමනාකරණයට පෙරදැනුම්දිමේ භූගෝලිය තොරතුරු පද්ධතියක් පිහිටු වේ.

දිස්ත්‍රික් හදිසි අපදා කමිටු රැස්වීම ඔක්තෝබර් 15 වැනි දා වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය, පාලිත රංගේ බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවණාගරයේ දී පැවැත්විණ.

එහි දී, ශ්‍රී ලංකා නාවුක හමුදා තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ භූගෝලීය තොරතුරු පද්ධති ඒකකය මගින් ගංවතුර ආපදා තත්ත්ව පෙර දැනුම්දීමේ හා සහන සැලසීමේ පද්ධතියක් හඳුන්වා දෙන ලදී.

නාවුක හමුදා, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි (භූගෝලීය තොරතුරු පද්ධති) සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි (පද්ධති කළමණාකරණ) කොමාණ්ඩර් (තොතා) නදීර කුලපති විසින් එය සිදුකළ අතර, එය ඇමතිවරයා ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන්ගේ ඇගයිමට සහ පැසසුමට ලක් විය.

ඒ අනුව පද්ධතිය පුත්තලම් දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය හිමි වූ අතර, හදිසි ආපදා තත්වයන්හි දි නාවුක හමුදාව දක්වන සහයෝගය පිළිබඳ නාවුක හමුදාපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ හට සහ අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල ‍ඇතුළු නාවුක හමුදා ආපදා කළමනාකරණ කණ්ඩායම වෙත අමාත්‍යවරයාගේ ස්තුතිය පළ කෙරිණි.

මෙම අවස්ථාවට ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලගණ මූලස්ථානයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් (ටෑස්) ප්‍රසන්න හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා නාවුක නෞකා තම්බපණ්ණි ආයතනයේ විධායක නිලධාරි, කොමාණ්ඩර් (නාසෙ) බුද්ධික තරංග ඇතුළු ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වී සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/19/%e0%b6%b4%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bd%e0%b6%b8%e0%b6%a7-%e0%b6%9c%e0%b6%82%e0%b7%80%e0%b6%ad%e0%b7%94%e0%b6%bb-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%94%e0%b6%b8/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *