හැම සුබ වෙලාවක ම පැලයක් හිටවමු!

Uncategorized

සොබාදහමේ ආශිර්වාදයෙන් තොර ව මිනිසාට ඉදිරි ගමනක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එබැවින් සිය ජීවිතයට ආදරය කරන සහ දරුවන්ගේ අනාගතය පිළිබඳ සිතන සෑම පුරවැසියෙකු ම සොබාදහම සුරැකිය යුතු බව හෙතෙම පෙන්වා දේ.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ 20 වැනි දා පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ජනාධිපති පරිසර සම්මාන උ‍ළෙල අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,පරිසර සංරක්ෂණය සහ රටේ වන ගණත්වය ඉහළ නංවාගැනීම වෙනුවෙන් රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙල පිළිබඳ සිහිපත් කළේ ය.

තම ජීවිතයේ සෑම සුබ කටයුත්තකදී ම පැලයක් සිටුවීම පුරවැසියෙකු සමස්ත මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා ඉටුකරන සුවිශේෂී වගකීමක් සහ යුතුකමක් වනු ඇති බව ඔහු අවධාරණය කරයි.

පරිසර හිතකාමී පුරවැසියන් ජාතික මට්ටමින් අගයන ජනාධිපති පරිසර සම්මාන උළෙල, පරිසර හිතකාමී කර්මාන්ත සහ සේවා දිරි ගැන්වීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය සංවිධාන කරන්නක් වේ.

නීල හරිත යුගයක් අනාගත ශ‍්‍රී ලංකාවේ බිහිකිරීම උදෙසා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය කි‍්‍රයාත්මක කරන ශ‍්‍රී ලංකා නෙක්ස්ට් වැඩසටහන යටතේ එය කි‍්‍රයාත්මක ය.

පාරිසරික ප‍්‍රදර්ශනය, දේශගුණික විපර්යාස පිළිබඳ මාධ්‍ය හමුව, පාසල් දරුවන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන්,සොබා චලන චිත‍්‍රපට උළෙල, සාගර පරිසරය පිළිබඳ විශේෂඥ සංවාද, නීල හරිත ගම්මාන කතිකාව, දේශගුණික විපර්යාස පිළිබඳ ව්‍යාපාරික හමුව, කඩොලාන පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ ප‍්‍රායෝගික වැඩසටහන, අන්තර්ජාතික ඛනිජ සම්මන්ත‍්‍රණයේ දෙවැනි අවස්ථාව, තිරසර නිෂ්පාදනය සහ පරිභෝජනය පිළිබඳ ජාතික කතිකාවත, වන පර්යේෂණ සම්මන්ත‍්‍රණ, දේශගුණික විපර්යාස පිළිබඳ ගෝලීය තරුණ සංසදයේ හමුවීම්, සමුද්‍ර පරිසරය පිළිබඳ 04 වැනි ජාතික
විද්වත් සමුළුව, රාජ්‍ය ප‍්‍රජා සහයෝගිතා ජාතික රුක් රෝපණ වැඩසටහන ඇතුළු වැඩසටහන් රැසක් මෙවර ජනාධිපති පරිසර සම්මාන උළෙලට සමගාමී ව කි‍්‍රයාත්මක කෙරේ.

පාරිසරික විෂයය ක්ෂේත‍්‍රයට විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ආයතන, කර්මාන්ත හා සේවා,පාසල්, පුද්ගලයන්, සිවිල් සංවිධාන, ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදින් ඇගයීමට ලක් කරමින් සම්මාන ප්‍රදානය උළෙලේ දී සිදු කෙරිණ.

ශ‍්‍රී ලංකා නෙක්ස්ට් පාරිසරික ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා එම ප‍්‍රදර්ශන කුටි නැරඹීමට ද එක් විය.

අමාත්‍ය ජෝන් අමරතුංග, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, දයා ගමගේ, රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක,
නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පළාත් ආණ්ඩුකාරවරුන්, ප‍්‍රධාන අමාත්‍යවරුන්,
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම ඇතුළු නිලධාරින් උළෙලට එක් ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/19/%e0%b7%84%e0%b7%90%e0%b6%b8-%e0%b7%83%e0%b7%94%e0%b6%b6-%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%8f%e0%b7%80%e0%b6%9a-%e0%b6%b8-%e0%b6%b4%e0%b7%90%e0%b6%bd%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b7%84%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *