ජවිපෙ,සාකච්ඡාවට පෙර ජනපතිට ලියයි.

දේශපාලන

රට වෙනුවෙන්,තමා විසින් ම ඇරඹූ අර්බුදය නිමවීමට ජනාධිපතිවරයා හට ආත්මශක්තියක් ඇතැයි තමන් විශ්වාස කරන බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.

පාර්ලිමේන්තුවේ වන අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස 18 වැනි දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණෙන මෙන් තම පක්ෂයට ලද ආරාධනාව අනුව,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරමින් පක්ෂය ඒ බව සඳහන් කර ඇත.

වත්මන් පාර්ලිමේන්තු අර්බුදය ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණකාරී දේශපාලනික අවශ්‍යතාව හේතුවෙන් නිර්මාණය වූ බැවින් අදාල සාකච්ඡාවට පෙර සිය පැහැදිලි කිරීම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක විසින් ජනාධිපතිවරයා වෙත දන්වන්නේ එම ලිපියෙන් බව එහි සඳහන් වේ.

නයකවරයාගේ සම්පූර්ණ ලිපිය –

ජනාධිපතිතුමනි,
පාර්ලිමේන්තුවේ වත්මන් තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාව සඳහා පැමිණෙන ලෙසට කරන ලද ආරාධනය පිළිබඳවයි.

ඔබගේ ලේකම් විසින් එවන ලද 2018.11.17 දාතම සහිත ලිපියෙන් ඔබ සමග සාකච්ඡාවකට පැමිණෙන ලෙස අප පක්ෂයට ආරාධනා කරනු ලැබ තිබේ. කෙසේ වුවද එම ආරාධනය පිළිගනු ලැබීමට පෙරාතුව පහත කරුණු ඔබගේ අවධානයට ලක්විය යුතු යැයි අපි සිතමු.
ඔබගේ සාකච්ඡාවේ අපේක්ෂාව වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ වත්මන් තත්වය පිළිබඳවයි. එහෙත් අපගේ නිගමනය වන්නේ
පාර්ලිමේන්තුවේ වර්තමානයේ ඇතිවී තිබෙන තත්වය ඔබගේ කුමන්ත‍්‍රණකාරී දේශපාලන උවමනාව වෙනුවෙන් ඇතිකරන ලද
ක‍්‍රියාදාමය හේතුකොටගෙන රට තුළ මතුව තිබෙන අස්ථාවරත්වයේ පිළිබිඹුවක් බවයි. මේ වනවිට රට තුළ බරපතල
අරාජිකත්වයක් සහ අස්ථාවරත්වයක් ගොඩනැගී ඇත. දශක හතකට වැඩි ලාංකේය දේශපාලනය තුළ මෙවැනි අස්ථාවරත්වයක් මෙතරම් කාලයක් දිග්ගැස්සෙමින් ඇත්තේ පළමු වතාවටය. මෙය හුදු ඕපපාතිකව පැන නැගුණක් නොව ප‍්‍රධාන සිදුවීම් පහක් පදනම් කරගනිමින් නිර්මාණය වූවකි.
01. පසුගිය ඔක්තෝබර් 26වැනි දින ඔබ විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති මන්ත‍්‍රීවරයෙකු කුමන්ත‍්‍රණකාරී ලෙස අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කරනු ලැබීම හා අවස්ථා ගණනවකදී විගඩම්කාරී ලෙස කැබිනට් අමාත්‍යවරු,රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු පත්කිරීම.
02. පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව හෙළිදරව් වීම වැළැක්වීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම.
03. ජනතා පරමාධිපත්‍යය ඔළුවෙන් සිටුවීමේ නින්දිත ක‍්‍රියාවලියක් වන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් මිල දී ගැනීමේ ක‍්‍රියාවලියකට මැදිහත්වීම.
04. එම වෙන්දේසි ක‍්‍රියාවලිය අසාර්ථක වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීම.
05. කුමන්ත‍්‍රණකාරී ලෙස පිහිටුවන ලද අග‍්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේදී අවස්ථා දෙකකදී විධිමත් ලෙස විශ්වාසභංග යෝජනා සම්මත වී තිබියදී ඊට අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ඔබගේ කුමන්ත‍්‍රණකාරී දේශපාලන වුවමනාව වෙනුවෙන් කල්මැරීම.

මේ පස්වැදෑරුම් ක‍්‍රියාවලියේ ඔබගේ ප‍්‍රමුඛ දායකත්වය කිසිසේත් සැඟවිය නොහැකි ලෙස ජනතාව හමුවේ නිරාවරණය වී
අවසන්ය.
මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔබ විසින් නිකුත් කරන ලද ගැසට් පත‍්‍රය අභියෝගයට ලක් කරමින්
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම්වලට අතුරු තහනම් නියෝගයක් ලබාදී එම ගැසට් නිවේදනය තාවකාලිකව
අත්හිටුවීමට ලක්කොට තිබේ. ඒ අනුව සැසිවාර අවසානයෙන් පසු පාර්ලිමේන්තුව මේ වනවිට දින තුනක් කැඳවනු ලැබ ඇත.
ආරම්භක දිනය වූ 2018 නොවැම්බර් 14වැනි දිනම ඔබ විසින් අනීතිකව පිහිටුවන ලද ආණ්ඩුවට එරෙහිව අප විසින් ගෙන එන
ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 122කගේ බහුතරයකින් සම්මත විය. ඒ බව එම මන්ත‍්‍රීවරුන්ගේ
අත්සන් සහිතව කථානායකතුමා වෙත බාර දෙන ලද පෙත්සම මගින් ලිඛිතවද සනාත කරනු ලැබිණි.
කෙසේ වුවද බහුතර මන්ත‍්‍රී ඉල්ලීම මත ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් අනුව (ස්ථාවර නියෝග 135)
ඉදිරිපත් කරන ලද එම විශ්වාසභංග යෝජනාව, හඬ අනුව තීරණයක් ලබාදීමේ 48(1) වගන්තියේ කථානායකතුමාගේ බලතල අනුව විධිමත්ව සම්මත වූවකි. එය මන්ත‍්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසීමට කථානායකතුමා ගන්නා ලද උත්සාහය මගින් පරාජය නියත බව දැන සිටි ආණ්ඩු පක්ෂය යැයි කියාගන්නා මන්ත‍්‍රී කණ්ඩායමේ බාධා කිරීම් නිසා ගැනීමට සිදුවූ තීරණයක්
බව ඔබද හොඳින් දන්නවා ඇත. මෙම තත්වය නොවැම්බර් 16 දිනයේදීත් එලෙසම සිදුවිය. ඔබගේ මන්ත‍්‍රී කණ්ඩායම පරාජය
පිළිගැනීම ප‍්‍රතික්ෂේප කරමින් සහ නමින් ඡන්දය ලබා ගැනීම වළක්වාලමින් පාර්ලිමේන්තුව තුළ වියරුවෙන් හැසිරුණ
බව ඔබ හොඳින්ම දනියි.
කෙසේ නමුත් දෙවරක්ම විධිමත්ව සිදුවූ විශ්වාසභංග සම්මතය පිළිගැනීමත් නාමික අග‍්‍රාමාත්‍යධුරය අත්හැරීමත්
ප‍්‍රතික්ෂේප කරමින් එය විධිමත්ව සිදු නොවූ බවට විවිධ බාල ගණයේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයෙකුට තරම් නොවන බව අපගේ විශ්වාසයයි. එසේම ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරනු ලබන්නේයැයි කියනු ලබන
පාර්ලිමේන්තුවේ තෙදිනක ක‍්‍රියාවලිය තුළ ඇතිවූ ගැටුම්කාරී පිළිකුල්සහගත තත්වයට සහ ඉන් ඇතිවූ අස්ථාවර තත්වයට
මුළුමනින්ම වගකිව යුතු වන්නේ ඔබය; ඔබගේ හිතුවක්කාරී හැසිරීමය.
මේ අනුව රට අද වනවිට පත්ව ඇති සමස්ත අරාජිකත්වයේ සහ අස්ථාවරභාවයේ නිර්මාතෘවරයා ඔබය. එබැවින් එය නිවැරදි කළ හැක්කේද ඔබටමය. එයින් මෙපිට මෙම නිශ්චිත කරුණ පිළිබඳව ඔබ හා සාකච්ඡා කිරීමෙන් ලබා ගත හැකි විසඳුමක් ඇතැයි අපි විශ්වාස නොකරමු. පාර්ලිමේන්තු නියෝජනය කරන වගකිවයුතු දේශපාලන පක්ෂයක් ලෙස අපට මේ සම්බන්ධයෙන්
කළ හැකි උපරිම මැදිහත්වීම මේ වන විට සිදුකර අවසන්ය. දැන් ඇත්තේ ඔබගේ පාර්ශ්වයෙන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමය. රට වෙනුවෙන් එම පියවර ගැනීමට ඔබට ආත්ම ශක්තියක් ඉතිරි වී ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

අනුර දිසානායක
නායක
ජනතා විමුක්ති පෙරමුණ
2018.11.18

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/11/18/%e0%b6%a2%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b7%99%e0%b7%83%e0%b7%8f%e0%b6%9a%e0%b6%a0%e0%b7%8a%e0%b6%a1%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *