පාර්ලිමේන්තුවට අත දාන්න ජනපතිට අයිතියක් නෑ..

දේශපාලන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන මෙන් ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට යෝජනා කරයි.

ජනාධිපතිවරයා සාකච්ඡා කළ යුත්තේ දේශපාලන පක්ෂ සමග නොව සිය හෘදසාක්‍ෂිය සමග බව එහි නායක අනුර කුමාර දිසානායක පෙන්වා දේ.

බලහත්කාරී අන්දමින් ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ අදාල බලධාරීන්ට එරෙහි නඩුවලින් බේරීම පිණිස පමණක් බව 18 වැනි දා පස්වරුවේ බත්තරමුල්ල,පැලවත්තේ සිය පක්ෂ මූලස්ථානයේ දී ජනමාධ්‍ය අමතමින් හෙතෙම පැවසී ය.

නායකයාගේ සම්පූර්ණ කතාව –

ජනාධිපතිවරයා විසින් අද සවස 5.00 ට විශේෂ සාකච්ඡාවක් පවත්වන බව අපිට දැනුම් දී තිබෙනවා. පක්‍ෂයක් ලෙස එයට සහභාගි නොවීමට අප තීරණය කොට තිබෙනවා. ඊට හේතු සඳහන් කොට ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළා. මෙම අස්ථාවරත්වයට මුළුමනින්ම වගකිව යුත්තේ ජනාධිපතිවරයායි. අස්ථාවරත්වය පිළිබඳව අප සමඟ සාකච්ඡා කොට ඵලක් නැහැ.
මුළුමනින්ම එය සමනය කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණයි. ඔහු සාකච්ඡා කළ යුත්තේ ඔහුගේ හෘද සාක්‍ෂිය සමගයි.

මෙම අස්ථාවරත්වය ඇතිවීමට ප‍්‍රධාන කරුණු 5 ක් බලපාලා තිබෙනවා. පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති මන්තී‍්‍රවරයෙකු අගමැතිවරයා ලෙස පත්කිරීමත්, වට ගණනාවකින් කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු,නියෝජ්‍ය ඇමතිවරු පත්කිරීම අර්බුදයේ ආරම්භයයි. අනතුරුව බහුතරය හදා ගැනීමට මන්තී‍්‍රවරු මිල දී ගැනීමට පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළා. ඊළඟට මන්තී‍්‍රවරු මිල දී ගැනීමට මෙහෙයුමක් දියත් කළා. එය ද අසාර්ථක වූ පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. පසුව අවස්ථා දෙකක දී පාර්ලිමේන්තුවේ නිසි පරිදි විශ්වාසභංගයක් සම්මත වී තිබිය දී ව්‍යවස්ථානුකූලව කටයුතු නොකිරීම. මේ සියල්ලටම වගකිව යුත්තේ ජනාධිපතිවරයායි.

සම්මත වූ විශ්වාසභංග යෝජනාව විධිමත් නැති බවත්, ස්ථාවර නියෝගවල හිල් සෙවීමට තරම් ජනාධිපතිවරයා බංකොලොත් වී තිබෙනවා. අප විසින්ම ඉදිරිපත් කළ විශ්වාසභංගය නිසි පරිදි ඉදිරිපත් කළ බවට සාක්‍ෂි අප සතුව තිබෙනවා.
ජනාධිපතිවරයා මනස විකාර වූ පරිදි ඔහේ කියෙව්වාට ජවිපෙ අපි පාර්ලිමේන්තුවේ නිසි ක‍්‍රියා පටිපාටිය අනුගමනය
කොට තිබෙනවා. පාර්ලිමේන්තුව මෙහෙයවෙන්නේ පාර්ලිමේන්තුව විසින්ම සම්මත කරගත් ස්ථාවර නියෝගත්, මීට පෙර
කතානායකවරුන් අනුගමනය කරන ලද සම්ප‍්‍රදායනුත් අනුවයි. එතැනින් ඔබ්බට ගොස් කතානායකවරයාගේ අභිමතය පරිදි
බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්ප‍්‍රදායන් අනුගමනය කරනවා. ස්ථාවර නියෝග 27.3 අනුව සඳහන් වෙන්නේ නීතිවිරෝධී යැයි කතානායකවරයා තීන්දු කරන යම් යෝජනාවක් හැර මහලේකම්වරයාට ලැබී ඇති දැනුම්දීම් පිළිබඳව හෝ සියලු යෝජනා
පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ලැබිය යුත්තේය, දැනුම් දෙන ලද දින සිට දින 05 ක් ඇතුළත සිදුකළ යුතු ය, ඒ
වගේම ස්ථාවර නියෝග 135 යටතේ විශේෂ කටයුත්තක් සම්පූර්ණ කිරීම සඳහා ඕනෑම ස්ථාවර නියෝගයක් අත්හිටුවිය
හැකි බවත් සඳහන් වෙනවා. පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා කටයුතු කළ අවස්ථා ඕනෑ තරම්
තියෙනවා.

අප විසින් 27.3 ස්ථාවර නියෝගය අත්හිටුවීමෙන් අනතුරුව තමයි විශ්වාසභංගය ගෙනාවේ. දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍ර සුමන්දිරන් මහතා යෝජනාව ගෙනා අතර විජිත හේරත් මන්තී‍්‍රතුමා විසින් ස්ථිර කළා. කතානායකතුමා එය සභාවට දැනුම් දුන්නා. සභාවේ දී එය සම්මත වුණා. 14 වැනිදාත් 16 වැනිදාත් පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවුණේ ඒ අත්හිටුවීම මතයි. ඒ නිසා විශ්වාසභංගය ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට එකඟයි.

යෝජනාව ඉදිරිපත් කළ පසුව විවාදයක් පැවැත්විය යුතුව තිබුණා. අපි ඒ සඳහා සූදානමින් හිටියා. නමුත් විවාදයට බාධා කළේ ඔවුන් විසින්මයි. විවාදයට ඉඩ ලබා නොදුන් නිසා කතානායකතුමා එය ඡන්දයකට යොමු කළා.

ඔවුන් ගෙන එන ඊළඟ තර්කය තමයි හඬ අනුව ඡන්දයකට ඉදිරිපත්වීම වැරදි බවයි. ස්ථාවර නියෝග 47.1 අනුව
කතානායකවරයාට කටහඬවල් අනුව ඡන්දය ලබාගෙන ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්කරනු ලැබිය හැකියි. 18වැනි සංශෝධනය ගෙන
ආ 2010 සැප්තැම්බර් 08 වැනිදා එවකට කතානායක චමල් රාජපක්‍ෂ විසින් 18වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන
කෙටුම්පත සඳහා ඡන්දය අවසාන වන තෙක් කාලය ලබාගැනීම සඳහා ඡන්දය විමසුවේ කට හඬවල් අනුවයි.

ඒ විතරක් නෙවෙයි,කරු ජයසූරිය විපක්‍ෂ මන්ත‍්‍රීවරයා තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කරන වෙලාවේ දී හඬ අනුව ඡන්දය ගත්තා. හඬ අනුව පනත ඉදිරිපත් කිරීමට විරුද්ධ මන්තී‍්‍රවරුන් ජයගත් බව කතානායක චමල් රාජපක්‍ෂ ප‍්‍රකාශයට පත්කළා. එම නිසා අප විසින් ඉදිරිපත් කළ විශ්වාසභංගය සඳහා ඡන්දය විමසුවේ ස්ථාවර නියෝගවලට අනුවයි. එනිසා විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ සම්මතයි. පාර්ලිමේන්තුවේ මෙය සම්මත වූ පසුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 48.2 වගන්තිය අනුව අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ ය. එනිසා ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක කරන්න දිව්රුම් දුන් ජනාධිපතිවරයා ඒ අනුව කටයුතු කළ යුතු ය.

ඔහුට කිසිදු අයිතියක් නැහැ පාර්ලිමේන්තුවේ කටයුතු වගවිභාග කිරීමට. කතානායකවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව
15 වැනිදා ප‍්‍රකාශයට පත්කළා තවදුරටත් ආණ්ඩුවක් හෝ කැබිනට් මණ්ඩලයක් නොමැති බව. දැන් මෛතී‍්‍රපාල සිරිසේන කළ යුත්තේ අග‍්‍රාමාත්‍යවරයෙක්, අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමයි. එය කි‍්‍රයාත්මක නොකර කල් මැරීමේ විගඩම වහා නතර කරන ලෙසට අපි ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා.

මෙම කුමන්ත‍්‍රණකාරී ලෙස ආණ්ඩුවක් අටවා ගැනීම රාජපක්‍ෂ කණ්ඩායමේ ප‍්‍රධාන අරමුණ වූයේ ඔවුන්ට එරෙහිව තිබෙන නඩු යටපත් කර ගැනීමයි. ඇවන්ගාඩ් ගනුදෙනුව නිසා රජයට රුපියල් බිලියන 11.4ක් (බැඳුම්කරයේ පාඩුවට සමානයි) පාඩු කළේ යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු 08 දෙනෙකුට එරෙහි නඩුව 2019 පෙබරවාරි 26 වැනි දා කැඳවීමට නියමිතයි. ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය නිසා ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහි නඩුව විශේෂ මහාධිකරණය හමුවේ දෙසැම්බර් 04 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතයි. ශී‍්‍ර ලංකා නිදහස් කම්කරු කොංග‍්‍රසය නැමති වෘත්තීය සමිතියට අයත් රු. ලක්‍ෂ ගණනක් මුදල් සාවද්‍ය පරිහරණය කිරීමට එරෙහිව මහින්දානන්ද අලූත්ගමගේට පවරා ඇති නඩුව 2019 ජනවාරි මස 23 වැනිදා කැඳවීමට නියමිතයි. රාජපක්‍ෂ පාලන සමයේ මන්තී‍්‍රවරයෙකු වන නාමල් රාජපක්‍ෂ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකුට එරෙහි එන්.ආර්. කන්සල්ටන් සමාගම යටතේ රු. මිලියන 15 ක මුදල් අයථා ලෙස උපයා ගැනීමට එරෙහි නඩුව 2019 මාර්තු මස 07 වැනිදා කැඳවීමට නියමිතයි. ඒ වගේම අයථා ලෙස උපයා ගත් රු. මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමට ආයෝජනය කිරීම සම්බන්ධව නාමල් රාජපක්‍ෂ ඇතුළු විත්තකරුවන් 06 කට එරෙහි නඩුව නොවැම්බර් මස 30 වැනි දා කැඳවීමට නියමිතයි. අවිධිමත් රාජ්‍යතාන්ති‍්‍රක විදෙස් ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීමට එරෙහි වීරවංශ මහතාගේ බිරිඳට එරෙහිව ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 11 වැනිදා යළි කැඳවීමට නියමිතයි. දිවිනැගුම අරමුදලේ රු. මිලියන 2992 ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීමට එරෙහිව බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 04 කට එරෙහි නඩුව නොවැම්බර් මස 26 වැනි දා කැඳවීමට නියමිතයි. 2014 වර්ෂයට අදාලව වත්කම් බැරකම් ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුව දෙසැම්බර් 04 වැනිදා කැඳවීමට නියමිතයි. පුටුවලින් ගහගන්න එක පුදුමයක් නෙවෙයි.
මහජනයාට බාධා කරමින් උද්ඝෝෂණ සංවිධානය කළ වීරවංශ ඇතුළු 06 කට එරෙහි නඩුව පෙබරවාරි 11 වැනිදා විභාගයට
ගැනීමට නියමිතයි. රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන් ඝාතන නඩුව නොවැම්බර් 29 වැනි දා කැඳවීමට නියමිතයි. නාමල්,ගෝඨාභය, බැසිල්, ගාමිණී සෙනරත්, වීරවංශ, ජොන්ස්ටන්, මහින්දානන්ද අලූත්ගමගේ, ශිරන්ති රාජපක්‍ෂ, කලබල වෙන එක පුදුමයක්ද? මේ නිසා තමයි ඔවුන් බලහත්කාරී පාලනයක් ගොඩනගාගෙන බලහත්කාරී ලෙස රැඳී සිටින්නේ. මේ රටේ ජනතාව හොඳින් තේරුම් ගත යුත්තේ එම මන්තී‍්‍ර කණ්ඩායම පාතාල මැර කණ්ඩායමක් ලෙස හැසිරෙමින් කටයුතු කරමින් තිබෙන්නේ තමන්ට එරෙහිව එල්ල වී තිබෙන නඩුවලින් බේරෙන්නයි. මෛතී‍්‍රපාල සිරිසේන දැනුවත්ව හෝ නොදැනුවත්ව දායකත්වය ලබාදෙමින් තිබෙන්නේ ඝාතකයින්, වංචනිකයින් ආරක්‍ෂා කිරීමටයි. ඔවුන් ආරක්‍ෂා කිරීමේ ප‍්‍රමුඛතමයාගේ චරිතය
රඟපාන්නේ ඔහුයි. ඒ නිසා අපි මෛතී‍්‍රපාල සිරිසේනට කියන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියවන ලෙසයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/11/18/%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%85%e0%b6%ad-%e0%b6%af%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *