විනිසුරුවන්ට දුරකතන සංවාද බෑ..

අනාවරණ

මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය ලබා දෙන දේශපාලඥයින් ද වන බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල පවසයි.

බන්ධනාගාරය තුළ ම හිඳිමින් අදාල ජාවාරම් සිදු කිරීමට ඒ තුළ ම ඉඩකඩ පවතින බව ඇය පෙන්වා දේ.

අධිකරණයේ ස්වාධීනත්වය මෙන් ම විනිසුරුවරුන්ගේ අවශ්‍යතා පිළිබඳත් සොයා බැලිය යුතු බව 31 වැනි දා ඉදිකිරීමට නියමිත වැලිමඩ නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල්තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරිය ප්‍රකාශ කළා ය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමතිවරිය –

මේ පළාත්වල අධිකරණ කටයුතු සිදුකිරීමේ දී ජනතාව මෙන්ම විනිසුරුවරුත් ඉතා අපහසුතාවට පත්වෙනවා. ඇතැම් විට නිල නිවාස නැහැ. අනෙකුත් පහසුකම් නැහැ. ඒක අපේ අඩුපාඩුවක් මෙන් ම දීර්ඝ කාලයක සිට එම කටයුතු ඉටු නොවීමට එය ද බලපා තිබෙනවා. බදුල්ලේ සිවිල් අභියාචනා විනිසුරුවරුන්ගේ විනිසුරු නිල නිවාස ඉදි කරන්න ලක්ෂ 700 ක් වෙන් කළා. ඒ වගේම සියඹලාන්ඩුව හා මොණරාගල විනිසුරු නිල නිවාසත් මේ වෙනකොට ඉදිවෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය වගේම විනිසුරුවරුන්ගේ අවශ්‍යතාව පිළිබඳවත් අපි සොයා බලන්න ඕනි. විශේෂයෙන් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ උපරිම වශයෙන් සිතන පතන රජයක් මේක. රත්නපුරයට අධිකරණ සංකීර්ණයක් ලබා දීමට මම කටයුතු කළා, නැතිනම් කියයි
අධිකරණ ඇමති වෙලා හිටියා රත්නපුරයට උසාවියක්වත් දුන්නේ නෑ කියලා.

දේශපාලන පක්ෂ ප්‍රතිපත්තිවල ඉඳලා අපිට වැඩ කරන්න පුළුවන්. නමුත් අපි රටක් ලෙස ඉදිරියට යා යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේදී විධායකය ලෙස ගරු ජනාධිපතිතුමාට විශාල වගකීමක් තියෙනවා. විනිසුරුවරුන් පත්කිරීම, උසස් කිරීම, විධායකයට අයිති දෙයක්. ව්‍යවස්ථාදායකය ලෙස අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අපි උපරිමයෙන් ක්‍රියා කරනවා. කිසිම හේතුවකින් විනිසුරුවරුන්ට දුරකතන සංවාද අපේ අගමැතිතුමා දීලා නැහැ. ඒ ගැන ඇමතිවරියක් වශයෙන් මම සතුටු වෙනවා. අද හත්ලක්ෂ තිස් දාහකට වඩා නඩු අධිකරණවල තියෙනවා. මේවා කඩිනම්න විසඳිය යුතුයි. ඒ සඳහා
අපි ක්‍රියාමාර්ග රැසක් අරගෙන තියෙනවා. කොළඹ තියෙන අභියාචනාධිකරණය තවදුරටත් පළාත්වලට ව්‍යප්ත කිරීමට ක්‍රියා
කළ යුතුයි. බන්ධනාගාරවලට ගිහිල්ලා කතා කරන කොට ඒවායේ රැඳවියෝ ගොඩක් අය කියන්නේ නීතිපති උපදෙස් නැති නිසා ඇප ලබාගන්න බැරිව බන්ධනාගාරෙ ඉන්න වෙලා තියෙනවා.

මේ දැන් දුරකතන ඇමතුමක් ආවා වැලිකඩ බන්ධනාගාරයට සැරයන්වරයෙකු හෙරෝයින් අරන් ගිහිල්ලා, අහුවෙලා කියලා. අද
බන්ධනාගාරයේ ඇතුලේ ඉඳලා ජාවාරම් කරන්න ඔවුන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි දේශපාලඥයෝ ගෙදර යන්න පුළුවන් අපි ඕනි වෙලාවක ගෙදර යන්නත් ලැහැස්තියි. ඒත් අපි රට වෙනුවෙන් හරි දේ කරන්න ඕනි. අද දවසේ අපේ කාර්යය භාරය කරන්න ඕනි, අපි ශක්තිමත් වැඩ පිළිවෙලක් කරගෙන ආවා, ඒක ඔක්තෝම්බර් 26 වෙනිදා අපිව එලවන්න ආපු හින්දා පොඩ්ඩක් අඩපණ උනා. ඒ වැඩපිළිවෙල නැවතත් ආරම්භ කරලා තියෙනවා. මත්කුඩු ජාවාරම ගැන අද සමාජය හුගක් දැනුවත්. අද මුහුදු යන ධීවරයකුටවත් සැනසිල්ලේ යන්න නැහැ. මොකද මේ මත්කුඩු ප්‍රවාහණය මුහුද හරහාත් වෙනවා. අපි නැහැ කියන්නේ නැහැ මේවාට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයොත් ඉන්නවා.

අධිකරණයේ, පොලිසියේ, පැමිණිලි නඩු එන විදිහට අපිට සංතෝෂ වෙන්න බැහැ. විශේෂයෙන් සඳහන් කළ යුතුයි වත්මන් අගමැතිතුමා යටතේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා කියලා. අපි ලඟදි කැබිනට් එක හරහා පාසල් වල 6 – 7 වසරේ ඉඳලාම නීතිය උගන්වන්න වැඩපිළිවෙලක් සකස් කළා. කුඩා කාලයේ ඉදලම මූලික නීතිය, අපරාධ සිදුකිරීමේ ප්‍රතිවිපාක සම්බන්ධ නීති සංග්‍රහය පිළිබඳ ළමා සමාජය දැනුවත්ව සිටීම තුලින් අපරාධ අඩු වෙනවා. රජයට මුදල් ආවා කියලා නඩු ප්‍රමාණය වැඩි වන තරමට උසාවි වැඩි වුනාට අපට සතුටු වෙන්න බැහැ.

මෙම අධිකරණ සංකීර්ණය තුල දිසා අධිකරණයක්, මහේස්ත්‍රාත් අධිකරණයක් ඇතුලු පහසුකම් වලින් සමන්විතය. නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් දින 790 කින් අවසන් කිරීමට නියමිත ව තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/02/01/%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b6%ad%e0%b6%b1-%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b7%8f/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *