මතින් නිදහස් රටක් පතා…

උණුසුම්

“මතින් නිදහස් රටක්” වෙනුවෙන් දිවයින ම දිවුරුම් දේ.

මතින් නිදහස් රටක් අනාගත පරපුර වෙත උරුමකරදීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සාර්ථක කරගැනීමෙහි ලා කැපවන බවට රටම එක්ව දිවුරුම් දුන් ,බක්මහ දිවුරුම, අප්‍රේල් 03 වැනි දා පෙරවරුවේ සිදු කෙරිණි.

එහි සමාරම්භය සර්වආගමික ආශිර්වාද මධ්‍යයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසුරිය ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් එදින පෙ.ව 8.30 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණ.

ආණ්ඩුකාරවරුවන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරින්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු අරක්ෂක අංශ ප්‍රධානීහු ඊට එක් ව සිටිය හ.

මතින් නිදහස් රටක් අනාගත පරපුර වෙත උරුම කරදීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සාර්ථක කරගැනීමෙහි ලා, තමා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන බවටත්, මේ වනවිට එයට ගොදුරු වී සිටින /නොසිටින තම ඥාති, හිතමිත්‍රාදීන් ද මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීමට පියවර ගන්නා බවටත්, සමස්ත ශ්‍රී ලාංකික සහෘද ප්‍රජාව මතින් නිදහස් කරගැනීම වෙනුවෙන් තමා වෙත පැවරෙන උත්කෘෂ්ට වූ සාමුහික කාර්යභාරය උපරිම කැපවීමෙන් හා අවංකභාවයෙන් යුතුව සපුරා ඉටුකර ගැනීමට අධිෂ්ඨාන පෙරදැරිව කැපවන බවටත් මෙහි දී සියලුදෙනා ප්‍රතිඥා දුන්හ.

මෙම අවස්ථාව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවි ව විකාශය කෙරුණු අතර, ඒ හා සමගාමීව තම ආයතනවල සිට රාජ්‍ය සේවකයන් ද, පොදු මහජනතාව සහ පාසල් දරුවන් ද බක්මහ දිවුරුමට එක්වීම විශේෂත්වයකි.

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට නිදහස් කර ගනිමින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ජාතික කර්තව්‍යය තවදුරටත් සාර්ථක කර ගැනීමට පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වා වූ පුථල් ආකල්පීය වෙනසකින් හා සක්‍රීය දායකත්වයකින් යුතුව මේ ව්‍යසනය පිටුදැකීමේ වැඩපිළිවෙළකට අවතීර්ණ විය යුතු බවට ජනාධිපතිවරයා විශ්වාසය පළ කරයි.

එකී වැඩපිළිවෙලේ නව ප්‍රවිශ්ටයක් ලෙස ඔහුගේ මඟපෙන්වීමෙන් ,බක්මහ දිවුරුම, වැඩසටහන සංවිධාන කර තිබූ අතර මේ සමඟම මතට එරෙහි වැඩපිළිවෙළ සියලු අංශවල සහයෝගයෙන් ශක්තිමත් ව බලගැන්වීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/04/03/%e0%b6%b8%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a7%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8f/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *