Jet Ski බේරේ වැවේ දී

ක්‍රීඩා

Jet Ski Championship – Navy Cup 2019 අප්‍රේල් 06 සහ 07 යන දෙදින කොළඹ බේරේ වැවේ දී පැවැත් වේ.

නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය මගින් හයවන වරටත් සංවිධානය කරනු ලබන ‘Jet Ski Championship – Navy Cup 2019’ එළඹෙන අප්‍රේල් මස 06 සහ 07 යන දෙදින බේරේ වැවේදී පැවැත්විමට සියළු කටයුතු මේවන විට සුදානම් කර ඇත.

මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක ලේකම්, හේමසිරි ප්‍රනාන්දු මහතා අප්‍රේල් 07 වන දින පස්වරු 0330 පැයට සහභාගිවිමට නියමිත අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවිමට නියමිතය.

ලෝකයේ ප්‍රමුඛ පෙළේ ජල ක්‍රීඩාවක් වන ජෙට් ස්කී ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම හා අප්‍රේල් උත්සව සමයේදී සංචාරකයින්ගේ වැඩි ආකර්ශනයක් ලබා ගැනීම අරමුණු කරගනිමින් ජෙට් ස්කී ක්‍රිඩාව ව්‍යාප්ත කිරීමේ ප්‍රධාන පාර්ශවකරු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම ශූරතාවලිය සංවිධානය කරනු ලබන අතර, ශ්‍රී ලංකාවේ ජෙට් ස්කී ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා වන එකම ශූරතාවලිය ද මෙය ලෙස හැඳින්විය හැක.

මෙම තරඟාවලිය පළමු වරට 2012 වර්ෂයේ නුවරඑළිය ග්‍රෙගරි වැවේදී පැවැත්විමට කටයුතු කරන ලද අතර, මෙවර මෙම තරඟාවලිය සුවිශේෂි වන්නේ කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව ජෙට් ස්කී තරඟාවලියක් පවත්වන ප්‍රථම අවස්ථාව ලෙස මෙම තරඟාවලිය සනිටුහන්විමයි. ඒ අනුව මෙම තරඟාවලිය සඳහා බේරේ වැව පිරිසිදු කිරීම් කර අවට පරිසරය අලංකාරවත් අයුරින් සකස් කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.

තවද, මෙම තරඟාවලියේ පළමු දින මුලික වටයේ සහ අර්ධ අවසන් පුර්ව තරඟද, දෙවැනි දින අවසන් පුර්ව තරඟ ද පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත. ඒ අනුව දෙදින තුළ උදෑසන 0800 පැයේ සිට 1800 පැය දක්වා මෙම තරඟ පැවත්විමට නියමිතය. තවද, මෙම තරඟාවලියේදී ජෙට් ස්කී අශ්ව බල 130, 260 300 දක්වා වූ ‘Slalom’, ‘Drag’සහ ප්‍රවීණයන්ගේ අංශය ආදි වූ තරඟ ඉසව් රැසක් පැවැත්වීමට සංවිධානය කර ඇති අතර, ඒ සඳහා මෙවර ද පසුගිය වසර මෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම දිවයිනේ නන් දෙසින් ක්‍රීඩකයින් විශාල පිරිසක් සහභාගීවිමට නියමිතව ඇත.

එමෙන්ම මෙවර පළමු වරට ජෙට් ස්කී තරඟාවලියේදී කාන්තා ඉසව්වක් ද පැවැත්විමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ඒ අනුව එම අවස්ථාව ජෙට් ස්කී තරඟාවලයේ සුවිශේෂි ඉසව්වක් වනු ඇත.

මිට අමතරව Rowing, ‘Dragor Boats’, ‘Power Boats’, Kayak යන තරඟ ඉසව් ද පැවැත්විමට නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය විසින් සංවිධානය කර ඇත. මෙම තරඟාවලියේදී තරඟ ඉසව් 102 ක් පැවැත්විමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, ඒ සඳහා මුදල් ත්‍යාග පිරිනැමිමට ද කටයුතු සංවිධානය කර ඇත. මිට අමතරව ශ්‍රි ලංකා නාවික හමුදා සාමාජිකයන් විසින් ජල ක්‍රීඩා සංදර්ශනයක් ද පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/04/03/jet-ski-%e0%b6%b6%e0%b7%9a%e0%b6%bb%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b7%80%e0%b7%9a-%e0%b6%af%e0%b7%93/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *