ත්‍රස්තවිරෝධී වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ ඇගයුමට

විදේශ සබඳතා

ජනපතිගේ ත‍්‍රස්තවිරෝධී වැඩපිළිවෙලට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහාය පළ කෙරේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් අනතුරුව ත‍්‍රස්තවාදයට එරෙහි ක්ෂණික පියවර ගනිමින් හා සාර්ථක මෙහෙයුම් දියත් කරමින් ත්‍රස්තවාදය පාලනයට නායකත්වය ලබාදුන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ලෝකයට අගනා ආදර්ශයක් සපයා ඇති බව ශිෂ්ටාචාරයන්ගේ සන්ධානය සඳහා වූ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් මිගෙල් ඒන්ජල් මොරටිනස් පවසයි.

දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතින්ගේ නියෝජ්‍ය මහලේකම්වරයා 30 වැනි දා කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවර හමු වූ අතර ඔහුගේ ත‍්‍රස්තවිරෝධී වැඩපිළිවෙල වෙනුවෙන් එක්සත් ජාතින්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වෙනුවෙන් හෙතෙම ජනාධිපතිවරයාට සිය ප‍්‍රසාදය පඝ කළේ ය.

ස්පාඤ්ඤයේ හිටපු විදේශ අමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ද වන ඔහු එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස මෙරට සංචාරයක නිරත වේ.

ඔහු ජනාධිපතිවරයා හමුවේ වැඩිදුරටත් කියා සිටියේ ශ‍්‍රී ලංකා ජනපතිගේ ත‍්‍රස්තවිරෝධී වැඩපිළිවෙලට මුළු ලෝකයේ ම සහාය පළ වී ඇති බවයි. එම වැඩපිළිවෙලට සහාය පළ කරමින් එක්සත් ජාතීන්ගේ ත‍්‍රස්තවිරෝධී විශේෂඥ නියෝජිත පිරිසක් නුදුරේදී ම මෙරටට එවීමට මහලේකම්වරයා තීරණය කර ඇතැයි ද හෙතෙම පැවසී ය.

සිය රට වන ස්පාඤ්ඤයට 2014 දී එල්ල වූ අල්කයිඩා ප‍්‍රහාරය පිළිබඳ ද සිහිපත් කළ නියෝජ්‍ය මහලේකම්වරයා ස්පාඤ්ඤය මෙන්ම ශ‍්‍රී ලංකාව ද මිත‍්‍ර ජන සමූහයක් ඇති සත්කාරක රටවල් බවත් එවැනි රටවල් ත‍්‍රස්ත ප‍්‍රහාරවලට ලක්වීම ඛේදජනක තත්ත්වයක් බවත් කියා සිටියේ ය.

එක්සත් ජාතීන්ගේ ශිෂ්ටාචාරය සඳහා වූ සන්ධානය මේ දිනවල ආගමික වන්දනීය ස්ථානවල ආරක්ෂාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ වාර්තාව සම්පාදනය කරමින් සිටින බව පැවසූ නියෝජ්‍ය මහලේකම්වරයා ඊට යෝජනා ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලදී.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වෙතත්, නියෝජ්‍ය මහලේකම්වරයා වෙතත් සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා මෙම දුෂ්කර අවස්ථාවේ දී එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් හිමි වූ සහාය ශ‍්‍රී ලංකාවට මහගු ශක්තියක් බව පෙන්වා දේ.

ශ‍්‍රී ලංකාවට මුහුණදීමට සිදුවූ ත‍්‍රස්ත අභියෝගය සාර්ථකව ජය ගැනීමට ශ‍්‍රී ලාංකීය ආරක්ෂක අංශවලට ශක්තිය වෙතැයි ප‍ැවසූ හෙතෙම, එහිදී ලැබෙන විදේශීය විශේෂඥ සහාය ද වැදගත් බව ප‍්‍රකාශ කළේ ය. ත‍්‍රස්ත මර්දන වැඩපිළිවෙලට විදේශීය හමුදා මෙරටට ගෙන්වීමට කිසිසේත් අපේක්ෂා නොකරන බව ද ඔහු පැවසී ය.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හැනා සිංගර් සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/04/30/%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b7%93-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b7%80%e0%b7%99/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *