බ්‍රිතාන්‍යයේ සහාය ශ්‍රී ලංකාවට

දේශපාලන

ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට වත්මන් ජනපතිට හැකියාව ඇතැයි බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා පවසයි.

ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී දේශපාලන නායකත්වය ඉතා වැදගත් බව පෙන්වා දෙන එක්සත් රාජධානියේ ආරක්ෂක සහ ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයා ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හැකියාව තිබෙන බව පෙන්වා දේ.

දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ආරක්ෂක සහ ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය ඇමති බෙන් වොලස් 03 වැනි දා පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

මෙම ත්‍රස්ත අභියෝගය හමුවේ ජනාධිපතිවරයා ගත් පියවර තුළින් සාර්ථක ලෙස ත්‍රස්තවාදය පාලනය කිරීමට හැකිවීම පිළිබඳ අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළ අතර ශ්‍රී ලංකාවට එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය ඉස්ලාමීය ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ කොටසක් බව දැනටමත් සනාථ වී ඇති බවත්, මෙවැනි ගෝලීය ත්‍රස්ත සංවිධානයකට මුහුණ දීමේ දී අන්තර්ජාතික සහාය අවශ්‍ය බවත් සඳහන් කරයි.

මෙම ඛේදවාචකය පිළිබඳ සිය ශෝකය පළ කරමින් දෙවැනි එළිසබෙත් මහ රැජින, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ඇතුළු ප්‍රධානින් එවූ ශෝක පණිවුඩ පිළිබඳ සහ එම අසීරු අවස්ථාවේ බ්‍රිතාන්‍ය රජය දැක්වූ සහාය පිළිබඳ සිය ස්තුතිය පළ කළ ජනාධිපතිවරයා විමර්ශන කටයුතුවලට සහාය දීමට එරට බුද්ධි අංශ විශේෂ කණ්ඩායමක් කඩිනමින් දිවයිනට එවීම පිළිබඳ ද ස්තූතිය පළ කළේය.

බ්‍රිතාන්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඉස්ලාමිය ත්‍රස්තවාදින් සෑම ප්‍රහාරයක් සඳහා ම වෙන් වෙන් උපායමාර්ග භාවිත කරන බැවින් මෙවැනි පුළුල් සන්ධානයක් පරාජය සඳහා සෑම රටකම ඔත්තු සේවා සහ රහස් තොරතුරු හුවමාරු කරගැනීම මූලික අවශ්‍යතාවයක් බවයි.

ISIS ත්‍රස්තවාදින් සමඟ සටන් පැවති කාලයේ සිය හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකුව සිට අනතුරුව දේශපාලනයට පිවිසි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ ISIS ත්‍රස්තවාදය දෙස පමණක් දෑස යොමාගෙන සිටිය දී අනපේක්ෂිත ලෙස අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරයක් ලන්ඩනයට සහ මැන්චෙස්ටර් නුවරට එල්ලවීම කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක් බව යි.

ත්‍රස්ත ප්‍රහාර සහ අවදානම හඳුනාගැනීම පිණිස තම රජය සිදුකළ පරිදි සියලු දේශීය බුද්ධි අංශවල තොරතුරු එක්රැස් කිරීමේ ඒකාබද්ධ විමර්ශන කේන්ද්‍රයක් පිහිටවිය යුතු බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවට සහාය දීමට සිය රජය සූදානම් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

බ්‍රිතාන්‍ය ප්‍රතිත්‍රස්ත සහ ආරක්ෂක කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ටොම් බර්න්, නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ටොම් හර්ඩ් සහ ආරක්ෂක සහ ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සිද්ධාර්ථ වික්‍රමසිංහ ද, ජනාධිපති අතිරේක ලේකම් ඇසල වීරකෝන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/03/%e0%b6%b6%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b7%84%e0%b7%8f%e0%b6%ba-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *