පාලම් පිපිරවීමක් සිදුවෙන්නේ නැහැ

අනාවරණ

ඉකුත් පැය 24 තුළ දිවයින තුළ සිදුකළ ත්‍රස්ත මර්දන මෙහෙයුම් පිළිබඳ පොලිස් හා ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ ප්‍රකාශ –

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර –

පාලම් ආශ්‍රිත පිපිරීමක් සිදුවන බවට මේ දිනවල සාමාජ මාධ්‍ය හරහා ලිපියක් ප්‍රචාරය වෙනවා. එම ලිපිය මගින් සිදු කරලා තිබෙන්නේ ලැබුණු තොරතුරක් පිළිබඳ බලධාරීන් සහ අදාල පාර්ශ්වයන් දැනුම්වත් කිරීම පමණයි. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරලා තිබෙනවා. ඒ පරීක්ෂණවලදී තහවුරු වුනා එම තොරතුරුවල සත්‍යතාවයක් නැති බවට. ඒ නිසා ඒ පිළිබඳ බියක් ඇති කරගත යුතු නැහැ.

අද දින පැසැල් අවට හා පාසැල් තුළ ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රියාමාර්ග ගනු ලැබුවා. කොළඹ අවට සියලුම සාසල් ත්‍රිවිධ හමුදාවත් සමඟ එක්ව පොලීසිය පරීක්ෂා කළා. ඒ පරීක්ෂා කිරීම් තුළින් අනතුරුව පාසැල් කාමර, පාසැල් පරිශ්‍ර සහ පාසල් අවට සම්පූර්ණ පරීක්ෂා කරලා ආරක්ෂාව
තහවුරු කළා.

මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන මොහොමඩ් සහරාන් පිළිබඳ පුවතපත් විවිධ මත පළ කරලා තිබෙනවා. විමර්ශකවලදී අනාවරණය වූ කරුණු මත ඒ වගේම CCTV දර්ශන මගින් ඔහු මියගිය බවට අනාවරණය වෙලා තිබෙනවා. එහෙත් එය තවදුරටත් තහවුරු කර ගැනීමට DNA පරීක්ෂණ සිදු කිරීම අවශ්‍යයි. ඒ අනුව ඔහුගේ සහෝදරයින් දෙදෙනා ,දියණිය සහ සහෝදරියගේ DNA සමඟ පරික්ෂා කර නිශ්චිතව තහවුරු කරගත හැකිය.

ඩුබායිහි දී පිටුවහල් කිරීමේන් අනතුරුව අද අලුයම 05.00ට පමණ UL 226 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපලට පැමිණි සමරසිංහ ආරච්ච්ලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මධූෂ් නමැති සංවිධානත්මක අපරාධකරු කටුනායක ගුවන්තොටුපොලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ භාරයට ගත්තා. ඉන් අනතුරැව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ඒමට කටයුතු කළා. මේ වනවිට එහි රඳවා තබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කරනවා.

වර්ණකුලසූරිය අජිත් අරංග යන ව්‍යාජ නාමයකින් සැකසූ විදේශ ගමන් බලපත්‍රයකින් 2015.06.02 ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇත. එහි ඔහුගේ ලිපිනය ලෙස සඳහන් කර තිබෙන්නේ 247 ඒ, ජාඇල පාර, ගම්පහ ලෙස සැකසූ ව්‍යාජ ලිපිනයක්. උපන් දිනයක් ව්‍යාජ ලෙස සඳහන් කරලා තිබෙනවා.

ඔහුගේ අපරාධවලට අමතරව ව්‍යාජ ගමන් බලපත්‍රය සකස් කිරීම, එමගින් විදේශ ගතවීම සම්බන්ධයෙනුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරනවා. මොහුගේ නිවැරදි ලිපිනය වන්නේ මාවරැල්ල පොලිස් වසමේ ඉදිගහගොඩැල්ල, මාකදුර.

මීට අමතර අපරාධ කිහිපයක් පිළිබඳවත් විමර්ශන සිදුකරනවා. ඒ අනුව 2017.05.09 පිලියන්දල නගරයේදී පොලිස් නිලධාරියෙක් සහ කුඩා දැරියක් ඝාතනය කිරීම සහ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම, 2017.02.27 කළුතර උතුර පොලිස් වසමේ බන්ධනාගාර බස්රථයකට
වෙඩි තැබීම , නිලධාරීන් 02 ක් සහ රැදවියන් 05ක් ඝාතනය කිරීම, 2018.03.28 අඟුණකොළපැලැස්ස ශාන්ත කුමාර නොහොත් කොස්මල්ලි ඝාතනය කිරීම යන සිද්ධීන්.

ඒ වගේම වරෙන්තු කිහිපයකුත් මොහුට නිකුත් වෙලා තිබෙනවා ගරු අධිකරණවලින්. 2006.06.11 දින කඹුරුපිටියේදී ඩැනී හිත්තැටිය ඝාතනය. ඒ
වගේම විදේශගතව සිට මෙරටේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීම යනාදී කරුණු.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු –

පසුගිය පැය 48 ක කාලය තුළ ත්‍රිවිධ හමුදාවන් විශේෂ අවධානය යොමුකර ඇත්තේ පාසල් දරුවන්ගේ ආරක්ෂාවයි. පාසල්වල ආරක්ෂාවේ අවශ්‍යතාවය තක්සේරුකර අවශ්‍ය පරිදි ලංකාවේ සියළුම පාසල් සඳහා ආරක්ෂාව ලබා දීමට කටයුතුකර තිබේ.

ආරක්ෂාව පිළිබඳ සැකය දුරුවන තෙක් සහ නිසි ආරක්ෂාව තහවුරුවන තෙක් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලැබේ.

තවදුරටත් එම වැඩපිළිවෙල පිළිබඳ යම් යෝජනාවක් හෝ ප්‍රශ්නයක් ඇත්නම් ලගම ඇති යුධ, නාවික, ගුවන් හමුදා කඳවුරට හෝ පොලීසියට
දැන්විය හැක.

මේ වනවිට ඔබට විවිධ කටකතා හා තොරතුරු ලැබෙමින් පවතිනවා. ඒවායේ බෝම්බ ලොරි පුපුරවා හැරීම්,කපාකොටා ඝාතනය කිරීම් වැනි දෑ ඔබට ආරංචි වෙනවා. මේවාට බියවී තම ජනජීවිතය අඩාල කරගන්නවාද, ජාතියක් වශයෙන් සහ රටක් වශයෙන් දුර්වල වෙනවාද,එසේත් නැතිනම්
අභියෝග භාර ගනිමින් අවධානයෙන් නිර්භීතව සිට ජීවිත 30000 ක් පමණ කැපකර ත්‍රස්තවාදය පරාජය කල ආරක්ෂක අංශ කෙරෙහි විශ්වාසය තබා ගන්නවාද යන්න ඔබ තීරණය කරන්න.

ඔබගේ ජන ජීවිතය සුරක්ෂිත කිරීම ආරක්ෂක හමුදාවන්ගේ වගකීමක්.

මේ වන විට නිරායුද අහිංසකයින් ඝාතනය කල නිවට ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම සාර්ථක ව සිදුවෙනවා.

නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කොමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර

ගත වූ පැය 24 ක කාලය තුළ ජාතික ආරක්‍ෂාව ස්ථාපිත කිරිම සඳහා නාවුක හමුදාව විසින් දෛනිකව සිදුකරනු ලබන ආරක්‍ෂක රාජකාරින්ට
අමතර දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ විශේෂ මෙ‍හෙයුම් මඟින් පුපුරණ දුව්‍ය සහ සැක කටයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට කටයුතු කර ඇත.
 
වැල්ලවත්ත, වෙරළ පෙදෙසේ මිරාජ් හෝටලය අසල සැක කටයුතු ලෙස හැසිරුණු මුස්ලිම් ජාතිකයින් 03 දෙනෙකු සහ ඔවුන්ට අයත් ත්‍රිරෝද රථයක් වෙරළාරක්‍ෂක නාවුකයින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් කාත්තන්කුඩිය, කැලණිය සහ කොළඹ 10 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා වැල්ලවත්ත පොලිස්ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.
 
දකුණු කළුතර දුම්රිය ස්ථානයේ දී යුද්ධ හමුදා සහ ගුවන් හමුදා කැලෑ නිළ ඇඳුමට සමාන කලිසම් 07 ක් ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු නාවුක හමුදා පුද්ගලයින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොහු අළුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හඳුනාගෙන ඇති අතර, ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා දකුණු කළුතර, පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.
 
ත්‍රිකුණාමලය, ආන්දම්කුලම් ප්‍රදේශයේ දී වෑන් රථයක් පරීක්‍ෂා කිරීමේදී එහි ගමන්කරමින් සිටි සැක කටයුතු පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඉන් 03 දෙනෙකු කාන්තාවන් වන අතර, මොවුන් ලඟ තිබී තව්හිද් ජමාත් සංවිධානයට අයත් සංයුක්ත තැටි 20 ක් සොයාගෙන ඇත. මෙම පුද්ගලයින් ත්‍රිකුණාමලය සහ චීනවරාය ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා උප්පුවේලි, පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.
 
තවද, ජාතික ආරක්‍ෂාව ස්ථාපිත කිරිම සඳහා නාවුක හමුදාව, යුද්ධ හමුදාව,ගුවන් හමුදාව සහ පොලිසිය සමග එක්ව දිවයිනේ විවිධ ප්‍රදේශවල පුජනීය ස්ථාන, රෝහල් සහ ප්‍රසිද්ධ ස්ථාන වලපැය 24 පුරා ආරක්‍ෂක රාජකාරි සිදුකරනු ලැබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/05/%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *