නව නාවුක හමුදා මාණ්ඩලික ප්‍රධානී

හමුදා තොරතුරු

රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න නාවුක හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කෙරේ.

සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින්ඉකුත් මැයි 04 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි අදාල පත්වීම සිදු කර ඇත.

නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අදාල පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් උළුගේතැන්න වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.

රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි. 1985 වර්ෂයේ 13 වැනි ශිෂ්‍යභට බඳවාගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවුක හමුදා විධායක අංශයට එක් වූ ඔහු පුහුණුව සාර්ථක ලෙස අවසන් කර 1987 වසරේ ජනවාරි මස 05 වැනි දින උප ලුතිනන්වරයෙකු වශයෙන් අධිකාරියට පත් විය. සිය තාක්‍ෂණික උප ලුතිනන් පාඨමාලාව 1988 දී ඉන්දියාවේ හදාරා එතැන් සිට ක්‍රමානුකූල ව උසස්වීම් ලබමින් 2015 වර්ෂයේ ජුනි මස 01 වැනි දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් වී තිබේ.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවුක හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා, ගොඩබැසීමේ යාත්‍රා (Landing Craft) වේග ප්‍රහාරක මුර යාත්‍රා සහ නෞකාවන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කළ නව මාණ්ඩලික නිලධාරිවරයා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවුක (ව්‍යාපෘති හා සැලසුම්), 4 වැනි වේග ප්‍රහාරක මුර යාත්‍රා සමූහයේ අණදෙන නිලධාරි, අධ්‍යක්‍ෂ නාවුක අවි, අධ්‍යක්‍ෂ නාවුක බුද්ධි, උතුරු විධානය භාර නියෝජ්‍ය ආඥාපති, නාවුක හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, දකුණු නාවුක විධානය භාර ආඥාපති සහ ස්වේච්ජා නාවුක හමුදාවේ ආඥාපති වශයෙන් රාජකාරී සිදු කර තිබේ. එමෙන්ම, රියර් අද්මිරාල් උළුගේතැන්න නාවුක හමුදා මාණ්ඩලික ප්‍රධානී විමට පෙර නාවුක හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවුක විධානය භාර ආඥාපති වශයෙන් ද කටයුතු කරන ලදී.

හෙතෙම අවස්ථා කිහිපයකදිම ඉන්දියාව, බ්‍රිතාන්‍යය, ඊශ්‍රායලය සහ ඔස්ට්‍රේලියාව යන රටවල දී උසස් නාවුක පුහුණු පාඨමාලා හදාරා, අවි කටයුතු පිළිබඳ විශේෂඥතාවට පත් ව ඇත. ඔහු ඒ සඳහා වැඩිදුර පුහුණුව ඉන්දියාවේ කොචී හි පිහිටි අවි පාසලෙන් හදාරා ඇත. එක්සත් රාජධානියේ ඒකාබද්ධ සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් මාණ්ඩලික පාඨමාලාව හදරා ඇති ඔහු එහිදී ආරක්‍ෂක අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නා ලදි. එමෙන්ම, ඔස්ට්‍රේලියාවේ වුලෝග් විශ්වවිද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සහ ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයනය සම්බන්ධයෙන් දර්ශනපති උපාධිය ද හිමිකර ගෙන ඇත.

1987 වර්ෂයේ සිට ත්‍රස්තවාදය මැඩලීම සඳහා මුහුදින් සහ ගොඩබිමින් සක්‍රීය ව දායකත්වය ලබා දුන් ඔහු, මව්බිම වෙනුවෙන් ඉටු කළ අනගිභවනීය මෙහෙවර වෙනුවෙන් රණශූර පදක්කම දෙවතාවක් දිනා ගන්නා ලදී. ඔහු විසින් දිනාගෙන ඇති අනෙකුත් පදක්කම් අතර විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සහ උත්තම සේවා පදක්කම ඇතුළුව පූර්ණ භූමි පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස සංග්‍රාම සමූහ සේවා පදක්කම, 50 වැනි නිදහස් සැමරුම් පදක්කම, ශ්‍රී ලංකා නාවුක හමුදා 50 වන සංවත්සර පදක්කම සහ උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම් ද වේ.

ඔහුගේ මනා කැපවීම සහ මඟපෙන්වීම ඇගයීම සඳහා නාවුක හමුදාධිපතිවරයා විසින් ප්‍රශංසාත්මක ලිපි ද ප්‍රදානය කර ඇත.

රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, චන්දිමා වික්‍රමරත්න සමඟ විවාහ වී සිටින අතර, මොවුන් ‍දෙපළට සමාධිනි යන දියණියක් සිටී.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/08/%e0%b6%b1%e0%b7%80-%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%94%e0%b6%9a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd%e0%b7%92%e0%b6%9a-%e0%b6%b4/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *