සමාජ ජාලා විමර්ශනයට විශේෂ ඒකකයක්

පොලීසියෙන්

රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ මැයි මස 14 වැනි දා පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ දී ඉදිරිපත් කළ වාර්තාව –

ඉතා පටු අරමුණු කිහිපයක් වෙනුවෙන් ක්‍රියා කරන සුළු අවස්ථාවාදී පිරිසක් නිසා ඔවුන් විසින් කරන ලද ක්‍රියා ප්‍රචණ්ඩ ක්‍රියා බවට පත්වුණා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මෙම ක්‍රියාවන් ජාතීන් අතර හෝ ආගම් අතර ප්‍රශ්නයක් නිසා ඇති වූ සිද්ධියක් නොවන බව. මෙසේ ඉතා පටු අරමුණු කිහිපයක් ඇතිව
කටයුතු කළ පිරිස් නිසා මුළු දිවයිනටම බල පවත්වන පරිදි පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන්නට සිදුවුණා. කුරුණෑගල, වාරියපොල, නිකවැරටිය, හලාවත සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා වාර්තා වූ නමුත් ආරක්ෂිත පියවරක් ලෙස මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය
පනවන්නට සිදු වුණා.
ඒ වගේම මෙම ක්‍රියා හේතුවෙන් දේපළ හානි කීපයක්ද වාර්තා වුණා. මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වන පුද්ගලයින්ට කරුණු කිහිපයක් සඳහන් කළ යුතුයි. ඒ තමයි මින් ඉදිරියට පොලිස් හා හමුදා බලය පාවිච්චි කරමින් ඔවුන්ගේ ක්‍රියා නතර කරන්න කටයුතු කරන බව. ඒ සම්බන්ධයෙන් පොලිස්
මූලස්ථානය විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට ලිඛිතව උපදෙස් ලබා දී තිබෙනවා.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූ පුද්ගලයන් පිළිබඳ කළ විමර්ශනවල දී ඊයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී සැකකරුවන් 09 දෙනෙක් සහ අද දින 05 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මේ 14 දෙනාම අද මිනුවන්ගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන
මැයි 29 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කළා.
මෙම සැකකරුවන් බන්ධනාගාරගත කිරීමට කටයුතු කළේ හදිසි අවස්ථා රෙගුලාසිවල තිබෙන නීතිමය ප්‍රතිපාදන යටතේ වගේම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ තිබෙන නෛතික ප්‍රතිපාදන ප්‍රකාරවයි. මේ නීතිමය තත්වයන් යටතේ මෙවැනි ක්‍රියාවල නිරත
පුද්ගලයින්ට ඇප ලබාගැනීමට සිදුවන්නේ ගරු මහාධිකරණයකදීයි. ගරු මහාධිකරණයේ දී මොවුන් වැරදිකරුවන් වුවහොත් වසර 10ක් දක්වා සිර දඩුවම් හිමිවෙනවා.
වයඹ පළාත තුළ සිදු වූ දේපළ හානි කිරීම්, පහරදීම් හා ඇඳිරි නීති කඩකිරීම් යටතේ පුද්ගලයින් 60 කට අධික පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අතර ප්‍රචණ්ඩ ක්‍රියාවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් 9 දෙනෙක් හෙට්ටිපොල මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ වගේම මේ අතරින් තවත් සැකකරුවන් 10 දෙනෙක් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මැයි 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. අනෙක් සැකකරුවන්ද අද අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ වගේම තවදුරටත් මෙවැනි සිදුවීම් සිදුනොවීමට වගබලාගැනීම සඳහා දැනට මේ සිදු වූ සිදුවීම් විමර්ශනය කිරීමට දැනට මෙම ප්‍රදේශ භාර පොලිස් නිලධාරීන්ට අමතර නියෝජ්‍ය පොලිස්පතිවරු 02 දෙනෙක් හා පොලිස් අධිකාරිවරුන් හා සහකාර පොලිස් අධිකාරිවරුන් 8 දෙනෙක් හා පොලිස් කණ්ඩායම්
කිහිපයක් පොලිස් මූලස්ථානය විසින් කුලියාපිටිය හා කුරුණෑගල ප්‍රදේශවලට අනුයුක්ත කර තිබෙනවා.

ඊට අමතර කොළඹ සිට තවත් පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක වෙනවා අත්අඩංගුවට ගැනීම් හා විමර්ශන කටයුතු සම්බන්ධයෙන්.
ඒ වගේම මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වී අත්අඩංගුවට ගත්  පුද්ගලයින් ඉදිරියේදී රැකියාවකට හෝ විදෙස්ගත වීමට පොලිස් වාර්තාවක් ඉල්ලූ විට එම පුද්ගලයා ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධව සිටි බවට සඳහන් කර පොලිස් වාර්තා ලබා දීමට කටයුතු කෙරෙනවා.

ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා මගින් අසත්‍ය ප්‍රකාශ වගේම ජාතීන් අතර වෛරය ඇති වන ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් එම අවශ්‍ය කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පොලිස් මූලස්ථානය මගින් විශේෂ ඒකකයක් ස්ථාපනය කර තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලා පිළිබඳ විමසිලිමත්ව සිටිමින් එම ප්‍රකාශ
හඳුනාගෙන විමර්ශනය සඳහා යොමු කිරීම ද මෙම විශේෂ ඒකකය මගින් සිදුකරනවා.
මේ ආකාරයටම සමාජ මාධ්‍ය ජාලා මගින් වෛරී සහගත ප්‍රකාශ ප්‍රචාරය කිරීම හා ජනතාව බියට පත්කරන ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් පුද්ගලයින් 3 දෙනෙක් මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත
කරනු ලැබුවා. මෙම සැකකරුවන් ද අත්අඩංගුවට ගනු ලැබුවේ හදිසි අවස්ථා රෙගුලාසිවල තිබෙන නීතිමය ප්‍රතිපාදන යටතේ වගේම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ තිබෙන නෛතික ප්‍රතිපාදන ප්‍රකාරවයි.
ඊයේ සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් තෙල්දෙණිය ප්‍රදේශයේදී විදානපතිරණගේ අමිත් ජීවන් වීරසිංහ යන අය හා වරකාපොල ප්‍රදේශයේ දී අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර යන අයත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම මීට සුළු
වේලාවකට පෙර කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ භාරවී තිබෙනවා ලියනගේ අබේරත්න සුරේෂ් පියරත්න යන අය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/14/%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2-%e0%b6%a2%e0%b7%8f%e0%b6%bd%e0%b7%8f-%e0%b7%80%e0%b7%92%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b7%81%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%9a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *