පින්බර රන්බිම දැවෙමින් කී වත

විශේෂ

දේශානුරාගයෙන් ලියැවුණු පද්‍ය පන්ති අනාදිමත් කලක පටන් සිංහල සාහිත්‍යය පෝෂණය කරමින් එහි වැඩි කොටසක ඉඩකඩ වෙන් කරගති.

යුගයෙන් යුගයට පහළ වූ කවි කිවිඳියන් මෙන් ම, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් වැනි විදේශික පිරිස් ද එහි නොමැකෙන මං සලකුණු තැබුවෝ වෙති.

සිය ජීවිත අත්දැකීම් පරිඥානයට පාදක වූ වත්මන් මව්බිම තත්ත්වය මේ කවියා දුටු අන්දම ඊට නෑකම් කියනා බැවින් ලක්දන ඒ පද්‍ය පන්තියට ඉඩකඩ වෙන් කරන්නේ ඔහුගේ නිර්මාණශීලීත්වයට සුබ ප්‍රාර්ථනා කරමිනි.

පැදුරෙන් නැගිටගන්නට බෑ අද අම්මේ
බෙහෙවින් වේදනයි හැම සියොළඟ නැම්මේ
පෙර උන් අපේ මී මුත්තන් එක පිම්මේ
පණ දුන් බිම දැවෙයි අද දකුණෙහි බැම්මේ..

අටුකොටු පුරයි හේනෙන් ලද අස්වැන්න
ගණන් කළ නොහෙයි කීයද බුසල් බත
මුල් ඇවරිය ම දන් දී සඟ හට බැතින
පෙර රැකි අපේ වටිනාකම් කොහෙද අද?

වැව ද දාගැබ ද ගම පන්සල බැඳුනේ
පිඬු සිඟ වඩින තෙර රුවකින් දින පිරුණේ
තෙරුවන ගුණ පමණි සිත මත නිති රැඳුනේ
එනිසයි පුතුනි,ලොව පින්බිම අපෙ ම වුණේ?

දැවටී සුදුවතින් කළු, සොර සිත හංගා
රැවටී හුදු දනන් දැක රඟ බොරු රන්ගා
පුද දී හොරුන් හට තබනුය රට නංවා
පැරදී නිදන පුත නුඹ අරුමෙ ද මන්දා..

නිදන මෙරට කෙදිනක නැගිටි ද මන්දා
දුදන හොරුන් කෙදිනක නැතිවෙද මන්දා
පුදන සිව්වවරම් දෙවි කොතැනද මන්දා
වඩිනු මෙත් බුදුන් මෙහි, කවදද මන්දා..?

මෙතේ බුදුන් තුරු හැකි ඉඳිනු ද මන්දා
මෙතේ බුදුන් තුරු පවති ද මව් ලංකා…?

– තුසකර ගමගේ

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/09/07/%e0%b6%b4%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b6%e0%b6%bb-%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b6%e0%b7%92%e0%b6%b8-%e0%b6%af%e0%b7%90%e0%b7%80%e0%b7%99%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a/
Twitter

2 thoughts on “පින්බර රන්බිම දැවෙමින් කී වත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *