අපේ ක්‍රමයමයි හරි..

දේශපාලන

රටේ පවතින ආර්ථික අර්බුදයට තමන් ක්‍රියාත්මක කළ ක්‍රමවේදය හැර ‌‌විකල්ප ‌නැතැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර කියයි.

ඒ් 2020.02.06 වැනි දා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

අදාල සම්පූර්ණ ප්‍රකාශය –

ගරු කතානායකතුමනි,
 පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාවට මහා පොරොන්දු කන්දක් පෙන්වා බලයට පත් වූ මෙම අලුත් ආණ්ඩුව මේ වනවිට ඉතා භයානක අර්බුදයක් රට තුළ නිර්මාණය කරමින් ඉන්නවා.
 ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම‘ හරහා ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් හදන බව කියා බලයට පත් වූ අලුත් ආණ්ඩුව ඉතා පුළුල් මට්ටමේ බදු කපාහැරීමක් එකවරම සිදු කරමින් මෙම ආර්ථික අර්බුදයට
අවශ්‍ය මග නිර්මාණය කර ගත්තා.
 ඒ අඩු කරපු බදු වැඩි ප්‍රමාණයක් පසුගිය ජනවාරි පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන ආකාරයට තමයි කටයුතු කරලා තිබුණේ.
 ඒත් එක්කම එම බදු අඩුකිරීම් හරහා රජයට අහිමි විය හැකි ආදායම රුපියල් බිලියන 500ක් – 600ක් තරම් ඉහළ අගයක් විය හැකි බව විවිධ ඇස්තමේන්තු හරහා අනාවරණය කරලා තිබුණා. ඒ ප්‍රමාණය හරියටම ගත්තොත් දළ දේශීය නිෂ්පාදනයෙන් 3% – 4% ප්‍රමාණයේ ආදායම් අඩුවීමකි.
 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෑතකදී ප්‍රකාශ කර තිබූණු විදිහට Vat බදු සංශෝධනයෙන්
පමණක් රජයට රුපියල් බිලියන 143 ක ආදායම් අඩුවීමක් සිදුවෙනවා. ඒ කියන්නේ දළ දේශීය
නිෂ්පාදනයෙන් 1% කට ආසන්න ප්‍රමාණයක්.
 අලුත් ආණ්ඩුව හදිසියේම මෙසේ තියුණු ලෙස බදු අඩු කිරීම නිසා ජනතා සහන කෙසේ වෙතත් එක
දෙයක් නම් වෙලා තියෙනවා කියලා හරියටම කියන්න පුළුවන්. ඒක තමයි රාජ්‍ය ආදායම දිගින් දිගටම
අඩුවීම.
 මේ දක්වා බදු ගෙවපු පුද්ගලයින් පවා නිලධාරීන්ගේ අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි බදු
අඩුකිරීම සම්බන්ධයෙන් වූ සංශෝධිත පනත් කෝ කියලා.
 බදු සංශෝධනයක් කරනවා නම් එකේ පූර්ණ අයිතිය තියෙන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවට. තාමත් අපි දන්නෙ නෑ ඒ අකාරයෙන් පාර්ලිමේන්තුවෙන් අනුමත කරපු බදු සංශෝධනයක්.
 මේ පාර්ලිමේන්තුවට බදු සංශෝධන පනත් අලුත් ආණ්ඩුවේ ගෙවුණු කාලය පුරාවට ඉදිරිපත් වෙලා
නැහැ.
 ඒ නිසා මේ අවස්ථාවේ දී අපි සියලු දෙනාගේ දැනගැනීම පිණිස මම යෝජනා කරනවා ගරු මුදල්
අමාත්‍යතුමාට මේ රජය බදු අඩු කිරීම නිසා අහිමි කරගත් රාජ්‍ය ආදායම කොපමණදැයි මේ ගරු
සභාවට දැනුම් දෙන්න කියලා.
 ඒ ප්‍රමාණය රුපියල් බිලියන 500ක් ද එහෙම නැත්නම් 600ක් ද එහෙමත් නැත්නම් ඊටත් වඩා වැඩි
ගාණක් ද කියලා මේ ගරු සභාව දැනුවත් කරන්න කියලා.
 ඒ වගේම, මේ අඩුකරපු බදු නිසා රජයට අහිමි වූ ආදායම නැවත ලබාගැනීමේ සැලසුම මොකක්ද?
 අඩුවූ රජයේ ආදායමට අනුව දිගින් දිගටම වැඩිවන රජයේ වියදම් පියවා ගන්නේ කෙසේද? යන
කාරණා සම්බන්ධයෙනුත් මේ සභාව දැනුවත් කරන්න කියලා ගරු මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
 මොකද මට පේන විදිහට 2020 වර්ෂය සඳහා පමණක් වැටුප් හා පෙන්ෂන් ගෙවීමට රුපියල් බිලියන
1100ක මුදලක් වගේම ණය සේවාකරණය සඳහා රුපියල් බිලියන 1700ක තරම් මුදල් ප්‍රමාණයක්
අවශ්‍ය වෙනවා. මේ සංඛ්‍යා නිවැරදි නෑ කියලා කවුරු හරි හිතනවා නම් නිවැරදි ඇස්තමේන්තු ඉදිරිපත්
කළාට මගේ අමනාපයක් නෑ.
 ඇත්ත වශයෙන්ම මෙවැනි අසීරු තත්ත්වයකට තමයි මේ රටේ ආර්ථිකය අරගෙන ඇවිත් තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි, සහනාධාර වැඩසටහන් සඳහා වියදම් කිරීමට සිදුවන මුදල් ප්‍රමාණය, පොදු පරිපාලනමය කටයුතු සඳහා දරන්න වෙන වියදමත් රාජ්‍ය වියදම් කොටසේ තියෙනවා.
 මේ වගේ වියදමක් දරන්න තරම් ප්‍රමාණවත් රාජ්‍ය ආදායමක් නැති තත්ත්වයක් නිර්මාණය කරගත්
මේ ආණ්ඩුව වියදම් කපා හැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවාද?
 අධ්‍යාපනයට වෙන්කරන මුදල් ප්‍රමාණය අඩු කරනවාද? සෞඛ්‍යට වෙන්කරන මුදල් ප්‍රමාණය
අඩුකරනවාද? සහනාධාර කපා හරිනවා ද? ඒ මොන මොන ප්‍රමාණවලින්ද කියලා මේ රට දැනගත
යුතුයි.

ගරු කතානායකතුමනි,
 සමහර වියදම් දැනමටත් කපා දැමීමේ ලකුණු පේනවා. විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් සංශෝධන
ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. මාණ්ඩලික නිලධාරීන්ගේ දීමනා කපා දාලා. වැටුප් අසමානතා නිවැරදි
කරගැනීම වෙනුවෙන් පත්කළ කොමසමේ වාර්තාවට අනුව ක්‍රියාත්මක වන බවක් පේන්න නැහැ.
 මේ ආණ්ඩුව අඩුකරගත් ආදායම් අනුව වියදම් කළමනාකරණය කරන්න හදන්නෙ, රජයේ සේවකයන්ට ලබාදුන් වැටුප් හා දීමනා කප්පාදු කරලා.
 2016 සිට 2020 දක්වා විශ්‍රාම ගත් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප 2020 ජනවාරි 01 සිට
වැඩිකිරීමට එකඟ වී කටයුතු කළේ මීට බොහෝ කලකට පෙරයි. ඒ සඳහා භාණ්ඩාගාරයේ එකඟතාව
ඇතිව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් 2019 දෙසැම්බර් මාසයේ චක්‍රලේඛයක් ඉදිරිපත් කළා.
 නමුත් මේ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් වෙනුවෙන් පසුගිය ජනවාරි
මාසයේ දී ඒ චක්‍රලේඛනය අවලංගු කළා. මාණ්ඩලික නිලධාරීන් සඳහා එකඟ වූ රුපියල් 15000
දීමනාව ජනවාරි මාසයේ දී අවලංගු කළා. වැටුප් අසමානතා කොිසමේ වාර්තාවත් වහලා දාලා.
 ඒ අනුව පසුගිය ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයන්ගේ සුබසාධනය වෙනුවෙන් ගන්නා ලද මෙම සුබවාදී වැඩපිළිවෙලවල් සියල්ලම නවත්වලා දාලා තියෙන්නෙ.

ගරු කතානායකතුමනි,
 අපි එදා මොනතරම් බාධක මැද්දෙ වුණත් රටට පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවකයන්ගේ වැටුප්
දෙගුණයකින් වැඩිකළා විතරක් නෙමෙයි කිසිදු අවස්ථාවක කප්පාදු කළේ නැහැ.
 මා මුලින් සඳහන් කරපු වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට ප්‍රතිපාදන ප්‍රමාණවත් නැති බව
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ වරක් ප්‍රකාශ කරලා
තිබුණා. එහෙමනම් ඒවා වැඩි කරගැනීම සඳහා යෝජනා ගේන්න.
 මෙතනදි මා මතුකරන්න ඕන පැහැදිලි කාරණවක් තියෙනවා. ඒ තමයි ආණ්ඩුවේ මේ දෙබිඩි
ප්‍රතිපත්තිය.
 එක අමාත්‍යවරයෙක් වැටුප් ගෙවන්න ප්‍රතිපාදන ප්‍රමාණවත් නෑ කියලා කියද්දි රජය 150,000කට
අලුතින් රැකියා ලබාදීමට ප්‍රකාශ කර කිරීම සහ කටයුතු කිරීම.
 අර වියත්මගද මොකක්ද එක නම් මේකට කියන්නෙ, මැතිවරණය ඉලක්ක කරගෙන මන්ත්‍රීවරු
කරගෙන යන ජනතාව රැවට්ටීමේ හොර මගඩි වැඩක් කියලා.
 දැන් තියෙන ප්‍රශ්නය තමයි ගරු කතානායක තුමනි, මේ අලුතින් රජයට එක්වන 150000ක පිරිසට
වැටුප් ගෙවන්නෙ කොහොමද කියන එක. මොකද අතුරු සම්මත ගිණුමේ මේ සඳහා මුදල් ප්‍රතිපාදන
වෙන්කරලා නෑ.
 මේ පරස්පරතාවය විසඳා ගැනීම සඳහා හැකි ඉක්මණින් මේ ආණ්ඩුව අලුත් අයවැයක් ඉදිපත් කළ යුතුයි කියලා මම යෝජනා කරනවා.

ගරු කතානායකතුමනි,
 අපි 2015 ජනවාරි 09 වෙනිදා ජයග්‍රහණය කළාට පසු එදා ජනවරම ලබා ගැනීමේ දී ජනතාවට
පොරොන්දු වූ ඉටුකිරීමට අපි මාස ගණන් බලා හිටියේ නැහැ. අඩුම මාසයක්වත් කල් ගන්නෙ නැතුව
දින 21ක් ඇතුළත අපගේ පළමු අයවැය ජනවාරි 29 වෙනිදා ඉදිරිපත් කළා.
 ඒ තුළින් රජයේ සේවකයන්ට රුපියල් 10000කින් වැටුප් වැඩි කිරීම, එතෙක් පැවැති දීමනා මූලික වැටුපට එකතු කිරීම, විශ්‍රාම වැටුප වැඩිකිරීම, සමෘද්ධි දීමනාව දෙගුණයක් කිරීම වගේම දින 100
වැඩසටහන ආරම්භ කිරිමත් මාසයක් ඇතුළත ආරම්භ කළා.
 ඒ වගේම ඛනිජ තෙල් මිල පවා අඩු කළා විතරක් නෙවෙයි, 2018 දී මා විසින් හඳුන්වා දුන් මිල සූත්‍රය යටතේ වුවද ඛනිජ තෙල් මිල එදා රාජපක්ෂ ආණ්ඩුවේ 2015ට පෙර පැවති මිලට වඩා අඩුවට
ලබාදෙන්න හැකි වුණා.
 2015දී අපටත් ලැබුණෙ සුළුතර ආණ්ඩුවක් වුවත් එදා පැවැති විරුද්ධ පක්ෂයේ එකඟතාවය ද ලබාගෙන මෙම පොරොන්දු ඉටු කළා.
 එදා බලයට පත්වීම සඳහා ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට විපක්ෂය දඩමීමා
කරගත්තේ නැත. අද වගේ විපක්ෂයට ඇඟිලි දික්කළේ නැහැ.
 එපමණක් නොව මේ ආණ්ඩුවට අයවැයක් ඉදිරිපත් කිරීමට ඕනවටත් වඩා කල් තිබුණා.
 අපි එදා දින 21ක් තුළ අයවැයක් ඉදිරිපත් කළා වගේ මේ ආණ්ඩුවටත් අද වෙන කොට මාස දෙක
හමාරකටත් වඩා කල් තිබුණා. නමුත් ඒක කළේ නැහැ.
 2019 දී මේ වර්ෂය සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන්න මා විසින් තීරණය කළේ
ජනාධිපතිවරණයෙන් පසු පත්වන නව ජනාධිපතිවරයාට ස්වකීය නව ප්‍රතිපත්ති අනුව වාර්ෂික
අයවැයක් සම්පාදනය කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීමටයි.
 අලුතින් පත් වූ රජයට තම සහන මල්ල ද ඇතුළත් නව අයවැයක් ඉදිරිපත් කිරීමට අප්‍රේල් 30 දක්වා
කාලය ලබා දී තිබෙනවා.
 2019 නොවැම්බර් 17 වෙනිදා සිට 2020 අප්‍රේල් 30 දක්වා කිසිදු බාධාවකින් තොරව මෙම රජයට
අලුත් අයවැයක් ඉදිරිපත් කිරීමට පුළුවන.
 එසේ නොකර මෙම රජය පාර්ලිමේන්තුව කල් දමමින් 69 ලක්ෂයක් ජනතාව අපේක්ෂා කළ සහන මල්ල ද ජනතාවට අහිමි කර ඇත.
 විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා සහ අප පක්ෂයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ මහතා
ද මැතිවරණ කාලයේ ඔබ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන බව ද
විවිධ අවස්ථාවල ප්‍රකාශ කළා.
 ඒ වගේම දිනපතා ඉහළ යන සහල්, එළවලු මිල අඩුකර ගැනීමට, ජීවන වියදම පහත හෙළීමට, රට
පුරා ඇතිවෙමින් යන පෝලිම් යුගය අවසන් කර ගැනීමට අවශ්‍ය ඕනෑම සහායක් මේ පාර්ලිමේන්තුවෙදී
ලබාදීමට එක්සත් ජාතික පක්ෂය සූදානම්.
 2020 වර්ෂය සඳහා අයවැයක් පේන තෙක් මානයකවත් නැහැ. අයවැයක් ඉදිරිපත් කිරිමට මේ තරම්
දීර්ඝ කාලයක් බලා සිටින්නේ ඇයි?
 2019 හිඟ බිල්පත් ගෙවීම සඳහා අතිරේක වියදම් රුපියල් බිලියන 130 වෙනුවෙන් යෝජනාවක් මේ
පාර්ලිමේන්තුව ඉදිරියේ තියෙනවා.
 ඔබ දන්නවා දෙසැම්බර් මාසයේ අවසාන සතියේ භාණ්ඩාගාරයට ලැබෙන බිල්පත් දෙසැම්බර් 31
වෙනිදා වන විට සියල්ලම ගෙවා නිමා කරන්න බැරි බව. එය ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක්.
 කෙසේ වුවත් දෙසැම්බර් මාසයේ මැද භාගයට ප්‍රථම රාජ්‍ය ආයතනවලින් ඉදිරිපත් කරන හිඟ බිල්පත්
දෙසැම්බර් මාසයේ අවසාන වන විට ගෙවා නිමා කරන්න පුළුවන්.
 එසේ නම් ගැටලුම මොකක්ද? ගැටලුව තමයි, භාණ්ඩාගාරයේ අරමුදල් නොමැතිකම. භාණ්ඩාගාරයට
එන ආදායම නොමැති වීම. එම ගැටලුව කාගේ නිර්මාණයක් ද? මම පැහැදිලි කරන්නම්.
 මේ රජය පත් වූ වහාම කිසිදු සොයා බැලීමකින් තොරව බදු ප්‍රතිපත්තියේ විශාල වෙනසක් සිදු කළා.
 මම අහන්න කැමැතියි, මේ බදු අඩුකිරීම තුළින් ආර්ථිකයට, භාණ්ඩාගර කළමනාකරණයට වගේම
ආණ්ඩුවේ දෛනික වැඩකටයුතුවලට සිදුවන බලපෑම පිළිබඳ පූර්ණ විශ්ලේෂණයක් කෙරුවද කියලා. මම
දන්න විදිහට එහෙම එකක් නැහැ.
 ඒ නිසා දිගින් දිගටම වැඩිවන ණය සේවාකරණය සඳහා රාජ්‍ය ආදායම තහවුරු කරගන්නෙ නැතුව
ලබාදෙන විකල්ප විසඳුම මොකක්ද?
 ඒ වගේම දැනට කෙටිකාලීන ව, මධ්‍යකාලීනව ණය ගෙවීම සඳහා ඔබලා ක්‍රියාත්මක කරන
වැඩපිළිවෙල මොකක්ද කියලා මේ පාර්ලිමේන්තුවට පැහැදිලි කරන්න.
 බදු ආදායම ශක්තිමත් කිරීමකින් තොරව ණය ගෙවීම් කරන්නේ කොහොමද කියලත් පැහැදිලි කරන්න.
 දෙසැම්බර් මාසයේ මැද භාගයෙන් පසුව රාජ්‍ය ආයතනවලින් ගෙවීම් සඳහා ඉදිරිපත් කරන බිල්පත්වලින්කො ‌කොටසක් ඊළග වසරේ පළමු කාර්තුවේදී ගෙවා දැමීමට සිදුවන බව පොදුවේ දන්නා කාරණාවක්.
 අපගේ රජය එසේ ඉදිරිපත් වූ හිඟ බිල්පත් ඊළඟ වසරේ මුල් කාර්තුවේදී ගෙවා දැමීමට කටයුතු කළා.
උදාහරණයක් විදිහට අර 2018 දින 52 ඊනියා ආණ්ඩුව විසින් ඉතුරු කරලා ගිය රුපියල් බිලියන 99ක්
තරම් විශාල හිඟ බිල්පත් ප්‍රමාණයක් 2019 පළමු කාර්තුවේදී අප ගෙවීමට කටයුතු කළා.
 මේ වන විට ඉදිරිපත් කර ඇති රුපියල් බිලියන 130ක හිඟ බිල්පත් මේ තරම් ප්‍රමාණයක් ඉතිරි වුණේ ඇයි කියන කාරණය ගැටලුවක්. රජයේ අදායම 2019 අග වන තෙක් නිසි කළමනාකරණයකින් යුතුව පවත්වාගෙන ආවේ නම් මේ තරම් හිඟ බිල්පත් ඉතිරි වෙන්න විදිහක් නැහැ. මේ තරම් විශාල හිඟතාවයක් නිර්මාණය වෙලා තියෙන්නෙ මේ රජයේ මූල්‍ය කළමනාකරණයේ නොහැකියාව නිසා.
 2015 දී අප රජය පිහිටුවන විට රජයේ සෑම ආයතනයකම අවුරුදු ගණනාවක් තිස්සේ හිඟ බිල්පත් රුපියල් ගණනින් ගොඩගැසී තිබුණා. සමහර ඒවා අවුරුදු 4-5ක් පරණයි. සමහර බිල්පත් තහවුරු
කරගන්න පවා නොහැකි මට්ටමේ ඒවා.
 අපේ රජය විවිධ කොමිටි පත්කර මෙම හිඟ බිල්පත් ගෙවීමට නිර්දේශ ලබාගත්තා. ඒ අනුව ආසන්න වශයෙන් රුපියල් බිලියන 140ක තරම් විශාල මුදල් ප්‍රමාණයක් මේ බිල්පත් සඳහා ගෙව්වා.
 අපිටත් තිබුණා එදා විපක්ෂයේ වැරදි කිය කියා මේවා නොගෙවා ඉන්න. අපි එහෙම කළේ නෑ. අපි ඒවානොගෙවා මගහැරියා නම් මහනුවර අධිවේගී මාර්ගය සම්පූර්ණ කරන්න පුළුවන්කම තිබුණා.
 ඒ මිනිස්සු මේ හිඟ මුදල් ලබා ගැනීම වෙනුවෙන් විඳපු දුක අපි දැක්කා. ඒ නිසාම රජයේ ප්‍රමුඛ කාර්යයක් ‌යැයි සලකා අපි ඒ මුදල් ගෙවා දැම්මා.
 මේ හිඟ බිල්පත් සම්බන්ධ තවත් කාරණාවක් මේ සභාවට කියන්න ඕන. 2015 වනවිට අර්ධ රාජ්‍ය
ආයතන රාශියක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් වගේම විශ්‍රාම දීමනා කාලයක්
තිස්සෙ ගෙවා තිබුණෙ නැහැ.
 එවකට ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා මේ කාරණය ගැන හොඳට
දන්නවා. 2015ට පෙර අවුරුදු 5ක පමණ සේවකයින්ට හිමි අරමුදල් නොගෙවීම නිසා ගමනාගමන
මණ්ඩලය පවත්වා ගැනීම පවා අසීරු වෙලා තිබුණා. නිමල් සිරිපාල ඇමතිතුමා ඒ ගැන දන්නවා.
 එම ආයතනය විසින් සේවකයන්ට එම මුදල් ගෙවා තිබුණෙ නැහැ. අපේ රජයට ඒ සඳහා මැදිහත් වෙන්න සිදුවුණා. මේ කාරණය නිසා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජියන්ට පවා උසාවි ගානේ රස්තියාදු වෙන්න සිදුවුණා.
 සේවකයන්ගේ දායකත්වයෙන් තමයි එම අරමුදල් නිර්මාණය වෙන්නෙ. EPF,ETF ගෙවීම අධ්‍යක්ෂ
මණ්ඩලවල වගකීමක්. ඒවත් නොගෙවා පැහැර හැරපු යුගයක් 2015 පෙර තිබුණා.
 මම අහන්න කැමතියි මේ අලුත් ආණ්ඩුවත් ඒ පරණ මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්තියම ද
ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියලා.
 2015 ජනවාරි 08 වෙනිදා අප රජය භාරගන්නා විට මේ රටේ ආර්ථිකය තිබුණේ දැඩි සත්කාර ඒකකයේ අවසන් හුස්ම හෙළන රෝගියකුගේ තත්ත්වයට පත්කරලා.
 මහා ණය කන්දක් සමග අප රජය භාරගත්තා.
 රජයේ ආදායම් මට්ටම දිගින් දිගටම පහළ බසිමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රය 90
ගණන්වල මුල සිට දැඩි පීඩනයකට ලක්වෙලා තිබුණා.
 දළ දේශීය නිෂ්පාදනයට අනුව බදු ආදයම් අනුපාතය 90 ගණන්වල මැද භාගයේ 20%ක්ව පැවැති අතර 2014 වනවිට 10% දක්වා සීග්‍රයෙන් පහළ බැස තිබුණා.
 ආදායම් නැංවීමේ විකල්ප ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට දිගින් දිගටම වැඩිවන වියදම් පියවා ගැනීමට
දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ණය ලබාගෙන අයවැය හිඟය පියවා ගැනීමට කටයුතු කර තිබුණා.
 ඒ අනුව සමහර වර්ෂයන්වල ණය සේවාකරණය සඳහා එම වර්ෂයේ සමස්ත රාජ්‍ය ආදායම
ප්‍රමාණවත් නොවූ අවස්ථා ද තිබුණා.
 ඒ කියන්නේ, ණය සේවාකරණය සඳහා අවශ්‍ය වන ණය මුදල් ප්‍රමාණය රාජ්‍ය ආදායමෙන් 100%ක්
ඉක්මවා ගියා.

ගරු කතානායකතුමනි,
 2015 බලයට පැමිණි අප රජය රාජ්‍ය මූල්‍ය අංශයේ පවත්නා දැඩි අර්බුදය මැනවින් අවබෝධ
කරගෙන විශේෂයෙන් ණය කළමනාකරණය පිළිබඳව පැවති අභියෝග ගැඹුරින් අවබෝධ කරගෙන, ඒ
වගේම එය තවදුරටත් කල් දැමිය නොහැකි බරපතල කරුණක් බව වටහාගෙන ඊට දිගු කාලීන හා
කල් පවත්නා විසඳුම් සකස් කළා.
 මේ සඳහා විශේෂයෙන් අංශ දෙකකින් සමන්විත ක්‍රමෝපායන් අප රජය අනුගමනය කරන්නට
යෙදුනා.
1. අදාල නිසි පියවර මගින් රාජ්‍ය ආදායම වර්ධනය කිරිම. (බදු නීති පැනවීම, බදු යාන්ත්‍රණය
ප්‍රතිසංස්කරණය කිරීම, අදායම් හා මූල්‍ය කළමනාකරණය පිළිබඳ පසුවිපරම් කිරීම)
2. ණය ලබාගැනීමේ දී සැලකිල්ලට බඳුන් වෙන රටේ සමස්ත අවධානම් හා අවිනිශ්චිත තත්ත්වය අවම
කර ගැනීමට කටයුතු කිරීම. මේ සඳහා විවිධ කාර්යයන් රාශියක් එකවර සිදුකළ යුතුව තිබුණා.
(රටේ ජාත්‍යන්තර සබඳතා නව ආකාරයකට පෙළගැස්වීම හා ශක්තිමත් කිරීම, ද්වී පාර්ශවීය හා
බහු පාර්ශවීය ණය දෙන ආයතන හරහා අඩු පිරිවැය යටතේ ණය ලබාගැනීමට කටයුතු
කිරීම,විදේශීය ආධාර දෙන ආයතන සමග යහපත් සබඳතා පවත්වා ගැනීම. පුද්ගලික අංශය
කේන්ද්‍රකරගත් ආර්ථික වර්ධනයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය කිරිම හා ක්‍රියාත්මක කිරීම
ඉන් කිහිපයකි.)
1. පළමු කාරණය රාජ්‍ය ආදායම වර්ධනය කිරිමට කටයුතු කිරීම.
 2015ට පෙර වසර 5ක පමණ කාලය තුළ රටේ ආදායම රුපියල් බිලියන 60-70තරම් ප්‍රමාණයකින්
වාර්ෂිකව වැඩි වුණා. නමුත් වැඩිවන රාජ්‍ය වියදම කළමනාකරණය කිරීමට ඒ අදායම ප්‍රමාණවත්
වුණේ නැහැ.
 ඒ නිසා 2015 බලයට පැමිණි අප රජය විසින් කඩිනමින් රාජ්‍ය ආදායම නැංවීමට අදාළ වැදගත්
පියවර රාශියක් අනුගමනය කළා.
 ඒ අනුව 2019 වන විට සමස්ත බදු ආදායම 2014ට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ නංවා ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ නිසාම වාර්ෂිකව රුපියල් බිලියන 200ක පමණ අතිරේඛ ආදායමක්
භාණ්ඩාගාරයට ලැබුණා. ඒ සඳහා නව ආදායම් පනත වගේම VAT බදු සංශෝධනය ද ආධාර වුණා.
 විශේෂයෙන් සුරාබදු ආදායම ද සීග්‍රයෙන් ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබුණා. ඒ ප්‍රමාණය
2014දී රුපියල් බිලියන 60-65ක තරමේ සිට දෙගුණයක් දක්වා වර්ධනය වුණා.
2. ඊළඟට අවධානම සහ අවිනිශ්චිතභාවය කළමනාකරණය කිරිමට කටයුතු කිරිම.
 මේ සඳහා අප රජය ජාත්‍යන්තර ණය ලබාදෙන ආයතන අතර විශ්වාසය තහවුරු කරගැනීම වෙනුවෙන් කටයුතු කළා. එහි එක් පියවරක් වශයෙන් 2016 මැද භාගයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම් සඳහා එකඟතාවයකට පැමිණියා. ඒ වැඩපිළිවෙළ 2020 මැදභාගයේදී අවසන් වීමට නියමිතයි.
 මේ වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය නැංවීම සඳහා ආදායම් නැංවීමේ කටයුතු
ශක්තිමත් කරන ලදී.
 ඒ අනුව 2017 වන විට රාජ්‍ය මූල්‍ය ගිණුම්වල ප්‍රාථමික ගිණුමේ ශේෂයේ කුඩා අතිරික්තයක් වාර්තා
කිරිමට හැකියාව ලැබුණා. එම පියවර ඉදිරියට යාම නිසාම 2018 වර්ෂයේ අග භාගය වන විට
ප්‍රාථමික ගිනුමේ අතිරික්තය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6%ක් දක්වා වර්ධන කරගැනීමට හැකියාව
ලැබුණා.
 මේ රාජ්‍ය මූල්‍ය ආදායමේ වැඩිවීම දශක 6කට පසුව ලැබූ විශිට ජයග්‍රහණයක්.
 ප්‍රාථමික ගිණුමේ අතිරික්තය යනු රාජ්‍ය ආදායමෙන් ණය පොලී ගෙවීමේ කොටස හැර අනෙකුත්
සියලු වියදම් අඩුකළ පසු ලැබෙන අතිරික්තයයි.
 රටේ රාජ්‍ය මූල්‍ය අංශය නිසි අයුරින් කළමනාකරණය කරගැනීම සඳහා ප්‍රාථමික ගිනුමේ
අතිරික්තය අත්‍යවශ්‍ය සාධකයකි.
 ප්‍රාථමික ගිණුමේ අතිරික්තියකින් පෙන්නුම් කරන්නේ, රාජ්‍ය ණය සේවාකරණයට රජයේ අයවැය
අරමුදල් දායක විය හැකි ප්‍රමාණයයි. ඒ තුළින් රාජ්‍ය ණය සේවාකරණය සඳහා තවදුරටත්
කොපමණ ප්‍රමාණයක් ණය ලබාගත යුතු ද යන කාරණය පැහැදිලි වෙනවා.
 එවකට පැවැති විපක්ෂය මෙම ක්‍රමෝපායන් සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල කළා. නමුත් අප
කියන්න ඕන, ඉදිරි දශකයක් පුරාවට ගෙවීමට තිබූ ණය කන්දරාව දෙස බලන විට අප අනුගමනය කළ
ක්‍රමවේදයන්, ප්‍රවේශයන් හැර වෙනත් සාධනීය විකල්ප ප්‍රවේශයන් දේශීය වශයෙන් නොමැති
බව.
 අප අනුගමනය කළ සාධනීය ක්‍රමවේද හරහා සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට රටක් ලෙස අප
සමත් වූ බවත් 2018 හා 2019 වර්ෂවල ඇතිවූ සංරෝධක දෙකක් නිසා මෙම පියවරයන් අඛණ්ඩව
ඉදිරියට ගෙනයාමට බාධා ඇති වූ බව පැහැදිලිව කිව යුතුයි.
 ඒ තමයි, 2018 ඔක්තෝබර් 26 පැවැති රජය බලහත්කාරයෙන් පෙරළා දැමීම. අනිත් කාරණය 2019
අප්‍රේල් සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.
 කෙසේ නමුත් 2018 බලහත්කාරී රාජ්‍ය කුමන්ත්‍රණය දින 52කට පසු නැවත යථාතත්ත්වය පත්කර
ගැනීමට හැකි වුණා පමණක් නොව ඒ ගෙවුණු කෙටි කාලය තුළ අවුල් කර තිබූ රාජ්‍ය මූල්‍ය 2019
පළමු කාර්තුවේදී නිරවුල් කර නැවත සක්‍රීය තලයට ඔසවා තැබීමට අපට රජයක් ලෙස හැකියාව
ලැබුණා.
 නමුත් 2019 අප්‍රේ් පාස්කු ත්‍රස්ත ප්‍රහාරය තුළින් ඇතිකළ ආර්ථික ගැටලු රාජ්‍ය ආදායම නංවාලීම
අඩපණ කළා.
 කෙසේ නමුත් මේ සියලු බාධක හමුවේ අප අනුගමනය කළ නිවැරදි ක්‍රමවේද හරහා රටේ ආර්ථිකය
කඩා වැටීමට ඉඩ නොදී නිසි කළමනාකරණයකින් යුතුව ඉදිරියට පවත්වා ගැනීමට කටයුතු කළා.
 ඒ අනුව හිටපු මුදල් ඇමති වශයෙන් මා වඩාත් ආඩම්බර වන්නේ අප රටේ ආර්ථික ක්ෂේත්‍රය තුළට
මූල්‍යමය විනයක් හඳුන්වා දීමටත්, විවිධ බාධක මැද ඒ මූල්‍ය විනය පවත්වාගෙන ඒමට හැකිවීම
ගැනයි.
 ඒ නිසා ඔබ මීට මාස තුනකට පෙර භාරගත්තේ දැඩි සත්කාරයේ සිටින අසාධ්‍ය රෝගියකු වෙනුවට
නිසි ප්‍රතිකාර ලබමින් ක්‍රමයෙන් නිරෝගී තත්ත්වයට පත්වෙමින් තිබූ සුවය ලබමින් සිටි ආර්ථිකයකි.
 ඒ නිසා මේ සුවය ලබමින් තිබෙන ආර්ථිකය යළි වතාවක් අසාධ්‍ය රෝගියකුගේ තත්ත්වයට පත්
නොකරන්නට නම් ඒ මූල්‍ය විනය නිසි ආකරයෙන් ඉදිරියට පවත්වාගෙන යා යුතුයි.
 හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ හිටපු මුදල් ඇමතිවරු වශයෙන්
මමත් රවී කරුණානායක මහතාත් හඳුන්වා දෙන ලද ඒ මාර්ගය ඉදිරියට ගෙන යා යුතු බව නැවත
මතක් කර සිටිනවා.
 ගෝඨාභය රාජපක්ෂ මහතාව මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ජනතාව පත්කර ගත්තේ, ඔහුට
නිවැරදි තීන්දු ගැනීමට හැකියාව ඇති බව ඔවුන් හිතපු නිසාය.
 ඒ අනුව ජනාධිපතිවරයාටත් මුදල් ඇමතිවරයා ලෙස අග්‍රාමාත්‍යවරයාටත් රටේ ආර්ථික ශක්තිමත්
කිරීම වෙනුවෙන් දේශපාලනිකව අමිහිරි වුවද නිවැරදි තින්දු තීරණ ගැනීමට සිදුවනු ඇත.
 ඒ අනුව තමන්ගේ නොහැකියාව වසාගන්න අනුන්ට වැරදි කිය කියා මාධ්‍ය සංදර්ශන තියන බන්දුල
ගුණවර්ධන වගේ නොවී මේ රටේ ආර්ථිකයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් අප හඳුන්වා දුන් සාධනීය
ක්‍රම වේදයන් ඉදිරියට පවත්වාගෙන යාම හැර වෙන විකල්පයක් නොමැති බව අවසාන වශයෙන්
ප්‍රකාශ කරනවා.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/07/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b8%e0%b6%ba%e0%b6%b8%e0%b6%ba%e0%b7%92-%e0%b7%84%e0%b6%bb%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *