සමීරට සහ සචිරට හමුදාධිපතිගෙන් යතුරුපැදි

ක්‍රීඩා හමුදා තොරතුරු

මෙරට යතුරු පැදි ධාවන ඉසව් හි ප්‍රමුඛ ධාවකයින් 02 දෙනෙකුට යතුරුපැදි ප්‍රදානය කෙරේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන්
යුද්ධ හමුදා මූලස්ථානයේ දී 19 වැනි දා ප්‍රදානය සිදු කෙරිණ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව විසින් සංවිධාන කර තිබූ මෙම ඉසව්වේ දී විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් සමීර ප්‍රේමරත්න සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සෙබළ සචිර රාජකරුණා වෙත යතුරු පැදි ප්‍රදානය කරන ලදී.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් සමීර ප්‍රේමරත්න 2019 වර්ෂයේ රේසිං 125 සීසී ධාවන පැදි
ඉසව්වේ ජාතික ශ්‍රේණිගත කිරීම් අතර පළමු ස්ථානයත් රේසිං 250 සීසී ධාවන පැදි ඉසව්වෙහි යුද හමුදාව තුළ පළමු ස්ථානයක් දිනා ගත්තේ ය.
2018 වසරේ රේසිං 125 සීසී ධාවන පැදි ඉසව්වෙහි ජාතික ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය දිනාගත් සමීර, 2017 රේසිං 125 සීසී ධාවන පැදි ඉසව්වෙහි ජාතික ශ්‍රේණිගත කිරීම් අතර දෙවැනි ස්ථානයත්, යුද්ධ හමුදාව තුළ ප්‍රථම ස්ථානයත් දිනාගන්නා ලදී.

සමීර සිය අදහස් දක්වමින්,
මම 2011 දි තමයි බයිසිකල් ධාවන තරඟ සඳහා යොමුවුණේ. කුරුණෑගල වැල්ලව මධ්‍යමහා විද්‍යාලයේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ. මම 2008 දි යුද්ධ හමුදාවට බැඳුණට පස්සේ තමයි බයිසිකල් ධාවන තරගවලට යොමු වුණේ. මුලින්ම මෝටර් ක්‍රොස් ධාවන පථයක තරගයකට මුහුණ දුන්නෙ 2010 දී. ඒ බෝයගනේ මෝටර්ක්‍රොස් ට්‍රැක් එකේදී. මට මෝටර්ක්‍රොස් ධාවන තරගවලට මුහුණ දෙන්න අවස්ථාව දුන්නු අපේ රෙජිමේන්තුවට ස්තූතිවන්ත වෙනවා. අපි භාරව හිටපු කර්නල් ඒකනායක සර්ගේ ගුරුහරුකම් නිසා තමයි මේ තරම් දුර ආවේ. යුද්ධ හමුදාවට එන්න පොඩිකාලේ ඉඳලාම අසාවක් තිබුණා. මගේ අම්මාගේ පවුලේ සියලුදෙනාම යුද්ධ හමුදාවේ තමයි සේවය කලේ. මාත් යුද්ධ හමුදාවට ඊට පස්සේ තමයි බැඳෙන්න තීරණය කළේ. මම 2017 බෝයගනේ දී පැවැත්වුණු මෝටර්ක්‍රොස් අභියෝගතා ශූරතාව දිනා ගනු ලැබුවා. මගේ ඊළඟ බලාපොරොත්තුව ජාතික මට්ටමේ අංක එකේ යතුරුපැදි ධාවන ශූරයා වීමයි. පහුගිය අවුරුදු දෙකතුනේදී මම ලංකාවේ දෙවැනි,තුන්වැනි ස්ථාන දිනාගත්තා. ජෙනරල් සමරතුංග සර්ගේ කාලේ තමයි අපිට බයිසිකල් අරන් දීලා අපිව දිරිමත් කළේ . අපි වගේ අයට මෙහෙම සහයෝගයක් දෙන්න යුද්ධ හමුදාපතිතුමා කටයුතු කිරීම
ගැන ස්තූතිවන්ත වෙනවා. මට හිතෙන්නේ ඉස්සර අපි මේ ක්‍රීඩාව වෙනුවෙන් වෙච්චි මහන්සිය සහ කරපු කැපකිරීම්වලට ලැබුණු අගයකිරීමක් තමයි මේක කියලා. ඉස්සර අපි බයිසිකල් ටයර් එක එක්කෙනාගෙන් ඉල්ල ඉල්ල තමයි තරඟවලට ගියේ. අනාගතයේදී අපිට පුළුවන් අපි ලබපු ජයග්‍රහණවලට වඩා ලොකු ජයග්‍රහණ ලබාගන්න මේ දේවල් නිසා අපිට අවස්ථාව ලැබෙනවා. සාමාන්‍යයෙන් අවුද්දට තරග‍ෙවලි දහයක් විතර තියෙනවා. ඒ හැම එකකින්ම ජාතික ශූරතාව දිනා ගැනීම තමා ලොකුම බලාපොරොත්තුව.

සචිර රාජකරුණා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව නියෝජනය කරමින් සුපර් මෝඩාට් අංශයෙන් තරග වදින ක්‍රීඩකයෙකි. ඔහු 2019 සුපර් මෝඩාට් 250සීසී ධාවන පැදි ඉසව්වේ ජාතික ශ්‍රේණිගතකිරීම් අතර 4 වැනි ස්ථානය හා ත්‍රිවිධ හමුදාවේ පළමු ස්ථානයත් දිනාගත් ක්‍රීඩකයෙකි. එසේම 2018 සුපර්මෝඩාට් 250 සීසී ධාවන පැදි ඉසව්වේ ජාතික ශ්‍රේණිගත කිරීම් අතර තුන්වන ස්ථානය හා ත්‍රිවිධ හමුදාව තුළ ප්‍රථම ස්ථානයත්, 2017 සුපර් මෝඩාට් 250 සීසී ධාවන පැදි ඉසව්වෙහි ශ්‍රේණිගත කිරීම් අතර දෙවැනි ස්ථානය සහ ත්‍රිවිධහමුදාව තුළ ප්‍රථම ස්ථානයත් දිනාගන්නා ලදී.

සචිරගේ අදහස්
මම බයිසිකල් පදින්න පටන් ගත්තේ 2010 විතර ඉඳන්. ඉස්කෝලේ ගිහින් ඉවරඋණාට පස්සේ තමයි මම ඒ සඳහා යොමුවුණේ. මම නුවර කිංස්වුඩ් විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ. මගේ අප්පච්චි තමයි මාව ක්‍රීඩාවට යොමුකළේ. 2017 තමයි මම ලංකාවට ආවේ විදේශගතව ඉඳලා. ඊට පස්සේ බ්‍රිගේඩියර් සමරකෝන් සරුයි ,කර්නල් රංජිත් ජයසිංහ සරුයි තමයි මට කිව්වේ ආයේ රේස් පදින්න කැමතියිනම් ආයේ දුවමු කියලා. ඊට පස්සේ තමයි මම යුද්ධ හමුදාවට බැදුණේ. මම 2015/2017 ජාතික ශූරතා අභියෝගතාවයේදී දෙවැනි ස්ථානය දිනාගත්තා. මගේ ඊළඟ බලාපොරොත්තුව තමයි ජාතික ශූරතාවලියක් ජයග්‍රහණය කරලා අන්තර්ජාතික තරගවලට සහභාගීවීම. ඒ වෙනුවෙන් හමුදාවෙන් අපිට ලොකූ සහයෝගයක් ලැබෙනවා. මුල් කාලේ අප්පච්චි තමයි මගේ හැමදේම බැලුවේ. ඒත් අද වෙද්දි හමුදාවෙන් මට බයිසිකලයකුත් ලැබෙනවා. මට මේ ලබාදීලා තියෙන බයිසිකලය හොඳම තත්ත්වයේ බයිසිකලයක්. මට ලංකාවේ තියෙන අභියෝගය ඉමල් මංචනායක. ඔහු පරාජය කිරීම මගේ ලොකූ හීනයක්.

දිලංක ගුණතිලක

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/20/%e0%b7%83%e0%b6%b8%e0%b7%93%e0%b6%bb%e0%b6%a7-%e0%b7%83%e0%b7%84-%e0%b7%83%e0%b6%a0%e0%b7%92%e0%b6%bb%e0%b6%a7-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *