සියලු ණය සඳහා සහන දෙන්න!

ව්‍යාපාරික

පවතින අයහපත් ‍‍සෞඛ්‍යමය වාතාවරණය මත සාමාන්‍ය ණයහිමියන් වෙත ද යම් සහනයක් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් ‍කේන්ද්‍රය අවධාරණය කරයි.

එහි විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ සඳහන් කරන්නේ පසුගිය දා ජනාධිපතිවරයා ජාතිය අමතමින් ව්‍යාපාරික ණය අය කරගැනීම මාස 06 කට අත්හිටවූ බවයි.

නමුත් සාමාන්‍ය ජනතාව ලබාගෙන ඇති නිවාස ණය, පුද්ගලික ණය, වාහන ලීසිං, ණය කාඩ්පත් සහ ක්ෂුද්‍ර මුල්‍ය ණය සඳහා ද යම් සහනයක් හිමිවිය යුතු බව ඇය පෙන්වා දේ.

මාස 06 ක තරම් කාල සීමාවක් නොවුන ද අවම වශයෙන් මාස 03 ක කාලයක් වත් මෙම සෙසු ණය සඳහා සහන කාලයක් ලබාදීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කෙන්ද්‍රය අවධාරණය කරයි.

පවතින වාතාවරණය මත බෙහෝ ආදායම් මාර්ග බිඳවැටීම හේතුවෙන් මේ වනවිට ජනතාව අසීරුතාවකට පත් ව සිටිති.

බස් රථ, ලොරි රථ, ත්‍රිරෝද රථ සහ අනිකුත් කුලී රථවලින් ලබන ආදායම මේ වනවිට අවහිර වී ඇති බව පෙන්වා දෙන ඇය ඉල්ලා සිටින්නේ අදාල ලීසිං පහසුකම් සඳහා යම් සහන කාලයක් හිමිවිය යුතු බවයි.

එමෙන්ම දෛනික ආදායම් ලබන වඩු කර්මාන්තය, මේසන් වැඩ, කම්කරු, රියදුරු වැනි වෘත්තින් වල නිරත බොහෝ පිරිසක් ක්ෂුද්‍ර මුල්‍ය සමාගම්වලින් ණය ලබාගෙන ඇති බවත් එම ණය සඳහා ද යම් සහන කාලයක් හිමිවිය යුතු බවත් ඇය සඳහන් කළා ය.

ඉදිරි සතියක කාලය තුළ නිවෙස්වල සිට සේවය කිරීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මුළුමනින්ම ගමනාගමන, හෝටල්, ආපන ශාලා, ආදී සියලු අංශවල නිරතවූවන් දැඩි අසීරුතාවකට ලක් ව සිටිති.

රජය විසින් ප්‍රකාශයට පත් කළ ව්‍යාපාරික ණය සහනයෙන් එම ව්‍යාපාරිකයාට යම් සහනයක් ලැබුණ ද එම ව්‍යාපාරවල සේවයේ නිරත අය ලබාගෙන ඇති පුද්ගලික ණය, ක්ෂුද්‍ර මුල්‍ය ආදී අනිකුත් ණය වාරික ගෙවා දැමීම දැඩි අර්බුදයක් ව පවතී.

අලෙවි ආදී අංශවල සේවයේ නිරතවූවන්ට අවම වූ මූලික වැටුපක් සහ ඔවුන් අලෙවි කරන ප්‍රමාණයට සරිලන කොමිස් මුදලක් ලැබෙයි. නමුත් පවතින අර්බුදකාරී වටපිටාව තුළ අත්‍යවශ්‍ය ආහාර ආදියෙහි හැර සෑම ක්ෂේත්‍රයකම අලෙවිය පහත වැටී තිබේ. මේ නිසා එවැනි ක්ෂේත්‍ර වල සේවයේ නිරතවූවන් පවා සිය ණය කාඩ්පත් පියවීම සහ අනිකුත් ණය වාරික ගෙවා දැමීම හමුවේ අසරණව සිටින බව ඇය පෙන්වා දේ.

මේ හේතුවෙන් නිවාස ණය, පුද්ගලික ණය, වාහන ලීසිං, ණය කාඩ්පත් සහ ක්ෂුද්‍ර මුල්‍ය ණය වාරික ආදී අනිකුත් ණය සඳහා අවම වශයෙන් මාස 3ක වත් සහනයක් ලබා දීමට සුදුසු වැඩපිලිවෙළක් රජය විසින් සැකසිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය දැඩිව අවධාරණය කර සිටියි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/03/20/%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%bd%e0%b7%94-%e0%b6%ab%e0%b6%ba-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b7%83%e0%b7%84%e0%b6%b1-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *