රට වට බැඳි රන් වැට.. අප ඔබේ සවියයි!

අඬහැරය

මේ ඉතා අවාසනාවන්ත සමයකි. සොබාදහම මෙතෙක් තමාට කළ සියලු ආරෝවන්ට මිනිසාගෙන් පලිගන්නා සෙයකි. දේශගුණය පවා වෙනස් වී ඇත. පරම්පරා ගණනකට ඉහත අප විසින් ම කෙලෙසූ සොබා දහම, උමතු වී සියල්ල උඩු යටිකුරු කර ඇත.

නින්දට, කෑමට පමණක් නොව නිවැසියන් සමග වචනයක් කතා නොකිරීමට තරම් කාර්යයබහුල වූ මිනිසුන් සති ගණනක පටන් එක තැන ය. ලැබෙන යමක් කති. බලා හිඳිති. නිදති. කාලය ගෙවී යයි.

සාමාන්‍ය ජනතාව එසේ වුව, සෞඛ්‍ය කාර්යය මණ්ඩල, ත්‍රිවිධ හමුදා, පොලීසිය, රාජ්‍ය නිලධාරීන් සේවයේ ය. අත්‍යවශ්‍ය රාජකාරි සිය කාර්යක්ෂමතාව දෙගුණ කර ඇත. රැකියාව පිණිස සේවයට එක්වුවත්, කාලය, දීපය සහ දේශය ඔවුන්ට සිය පුද්ගලිකත්වයට වැඩියෙන් රාජකාරියට බල කර සිටී.

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ වැලිසර කඳවුරේ නාවුකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව ප්‍රසිද්ධ වන්නේ අප්‍රේල් 23 වැනි දා පස්වරුවේ ය. රාත්‍රිය වනවිට එහි 30 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි සවන වැකේ.

තොරතුර සනාථ කරගැන්මට ශ්‍රී ලංකා නාවුක හමුදා මාධ්‍ය ඒකකය ඇමතීමි. ඒ මහා රෑ ඔව් අක්කේ.. යනුවෙන් දුරකතනය එහා කොණෙන් පෙරදා වූ ජවය අහිමි හඬක් පිළිතුරු දුන්නේ ය.

මෙතැන් පටන් මම නාවුක හමුදාව පිළිබඳ ලියමි.

හමුදාව යැයි කියූ සැණින් අප මතකයට එක්වරම එන්නේ යුද හමුදාවයි. මඳක් ගිය තැන නාවුක හමුදාවත්, ඊටත් එහාට ගිය කල ගුවන් හමුදාවත් සාමාන්‍ය ජනතාවගේ මතකය අවුරා සිටී. මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදය හමුවේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසල් මෙහෙවරක් ඉටු කළත් යුද හමුදාව පොදු ජනතාව අතර විරුවෝ වූ හ.

මා ලක්දන අරඹා එහි කටයුතු සිදු කරමින් යන කල ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අප වෙත ලැබිණි. එවක එහි මාධ්‍ය කේන්ද්‍රයේ රාජකාරි කළ මා හිතවත් සහෘද කමාන්ඩර් දිනේෂ් කරුණාරත්න, එවක නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශකධුරය ඉසිලූ අක්‍රම් අලෙවි හට පුද්ගලික ව මා හඳුන්වා දුන්නේ එක් නිදහස් සමරු උළෙලක් අවසානයේ කොළඹ ප්‍රදීපාගාරය අසල දී ය. එතැන් පටන් නාවුක හමුදාවේ සියලු නිල පුවත් ලක්දන වෙත ලැබීම ඇරඹිණි.

දිනෙන් දින ලැබෙන පුවත් හමුවේ මම විමතියට පත් වීමි. නෞකා, මහ සයුර, ගංවතුර, වෙරළාරක්ෂක සේවාවන්ට පමණක් සීමා වී ඇතැයි සිතා හුන් නාවුක හමුදාවේ ක්‍රියාවලිය සැබැවින් ම මා බොහෝ පුදුමයට පත් කළේ ය. ඒ අතර, නාවුක හමුදාවේ මාධ්‍ය ආවරණ, නිලධාරීන්ගේ විසිරයාම්, කච්චතිව් දෙවොලේ වාර්ෂික මංගල්‍යය වැනි අවස්ථාවන්ට එක් වනවිට නාවුක හමුදාව පිළිබඳ දැවැන්ත ගරුත්වයක් මසිතේ නිදන්ගත වී අවසන් ය.

මේ වසරේ මුල් මාස 04 ඇතුළත රුපියල් කෝටි 600 කට අධික වීදි වටිනාකමකින් යුත් මත්කුඩු තොග පිටින් වටලා අත්අඩංගුවට ගත්තේ නාවුක හමුදාව ය. වකුගඩු රෝගීන් වෙනුවෙන් ගමක් ගමක් පාසා ප්‍රතිආශ්‍රැතකරණ ජල පිරිපහදු යන්ත්‍ර පිහිටවූයේ නාවුක හමුදාවයි. රට වටා බැඳි එරන් වැට සේ සයුරින් සිරිලක දිවා රෑ රැකගත්තේ නාවුක හමුදාවයි.
නීතිවිරෝධී ජාවාරම්, අනවසර ධීවරයින් හඹායමින් අවිනිශ්චිත මහ සයුර පීරා උකුසු ඇස් මෙහෙයවූයේ නාවුක හමුදාවයි.
පුපුරන ද්‍රව්‍ය යොදා මසුන් මැරීම, අනවසර දැල්, සුළු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය, සාගර සම්පත් නීතිවිරෝධී ව විනාශ කිරීමට එරෙහි අවි අමෝරා සිටින්නේ නාවුක හමුදාවයි. දිනෙන් දින වඳ වී යන කැස්බෑ සම්පත රැකගැන්මට කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය, කඩොලාන ඇතුළු ජලජ ශාක සහ පරිසර පද්ධති රැකගැනීමට සද්සිතින් පෙළගැසුණේ නාවුක හමුදාවයි.

ගංවතුර, නායයාම්, නියං, වසංගත කාලවල දී යුද සහ ගුවන් හමුදා සමග ම ඔවුහු පෙරට ආ හ. ඒ රාජකාරියේ ස්වභාවයයි.

වසර 2020 උදා වූයේ මුළු ලොවට ම මින් පෙර නොවූ විරූ ඛේදවාචකයක අඳුරු වළා සමගිනි. කොවිඩ් 19 මුළු ලොව ආක්‍රමණය කරන්නට මහා කාලයක් ගත වූයේ නැත. ජාත්‍යන්තරය සේ ම ශ්‍රී ලංකාවට ද ඊට නතුවීමට සිදු වූ අතර, රජය, සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ එය පරදන්නට පෙරට ආ හ.

යුද හමුදාධිපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හට කොවිඩ් 19 ට එරෙහි සටනේ නායකත්වය හිමි විය. නාවුක සහ ගුවන් හමුදාවන්ට ඔහුට සහාය ලබාදීම පැවරිණි.

එතැන් පටන් මගේ කතානායක නාවුකයෝ සිය වගකීම් යළිත් තමන්ට හිමි පරාසයටත් එහාට ගෙන ගිය හ. වෛරසය ආසාදිත යැයි සැක සහිත පුද්ගලයින් නිරෝධායනය සඳහා ත්‍රිවිධ හමුදා කඳවුරු මධ්‍යස්ථාන බවට පත් විය. ඔවුන්ගේ දැනුමින්, සවියෙන්, ශ්‍රමයෙන් තාවකාලික රෝගී වාට්ටු ඉදි විය.

නාවුක හමුදාව විෂබීජහරණය ඇරඹුවේ සෞඛ්‍යාරක්ෂිතව ය. රට පුරා ඇඳිරිනීතිය පනවා ජනීජනයා ගැවසෙන ජනාකීර්ණ ස්ථාන පාළුවට ගොස් තිබිය දී ඔවුන් කවදා හෝ ජනයා වෙනුවෙන් විවෘත වන එම ස්ථාන විෂබීජහරණය කළ හ. බස් නැවතුම්පොල, දුම්රිය ස්ථානය, සති පොල, රාජ්‍ය ආයතන ඔවුනට වෙනසක් නොවී ය.

ඒ සියල්ල අතර, ආසාදිතයන් සහ රෝගීන් මතු නොව සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල ද ආරක්ෂාව වෙනුවෙන් නවීන තාක්ෂණය සහ එක් වූ නව නිර්මාණ නාවුකයින් අතින් බිහිවූයේ මසක් වැනි කෙටි කලක් තුළ ය. ඒ සියල්ල ඉතා සාර්ථක ව අත්හදා බලා අදාල කාර්යයන්ට පවරා නිම වී තිබේ.

ඒ අතරේ ඇඳිරිනීතිය හේතුවෙන් කුසගින්නේ දැවෙන ජනතාවට ඔවුහු ආහාරපාන ලබා දුන් හ. අඩු ආදායම්ලාභීන්ට පමණක් නොව තිරිසන් සතුන්ට පවා ආහාරපාන දුන් අන්දම අප දැක තිබේ.

කිසිදු රටකින් භාර නොගත් නෞකාවල ගමන් ගත් රෝගීන් මෙන් ම මෘතදේහ පවා නාවුක හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ඍජු තීරණ මත කොළඹ වරායට ළඟා විය. විෂබීජහරණයෙන් පසු නිසි හා නියමිත සෞඛ්‍ය උපදෙස් මත අදාල කටයුතු සිදු කෙරිණි. රෝගීන් රෝහල්ගත කෙරිණි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සොයා නොයෙකුත් පරිසර තත්ත්ව හමුවේ වුව ද ඔවුන් ගමන්ගත්තේ රාජකාරිය සහ මනුෂ්‍යත්වය රෝග බියට දෙවැනි කරමිනි.

ඒ සියල්ල අතර කොරෝනා වෛරස ව්‍යප්තිය හමුවේ සංක්‍රමණිකයන් දිවයිනට ළඟා වේ දැයි විමසුමට විශේෂ මුර සංචාර ක්‍රියාත්මක විය. විමසුම් ඇස් තියුණු විය.

මේ ඔවුන්ගේ මෙහෙවර කිහිපයක් පමණි. අප්‍රේල් 22 වැනි දා නාවුක හමුදා සාමාජිකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී යැයි දැනගත් මොහොත දීර්ඝ තත්ත්පරයක් විය. ජීවිතයේ කෙදිනකවත් මින් පෙර අසා නොමැති කොරෝනා වෛරසය ආසාදිත යැයි ඔහු දැන නොසිටින්නට ඇතුවාට සැක නැත. ඔහුට එය ආසාදනය වූයේ රස්තියාදුවේ ගොස් හෝ නීතිවිරෝධී ලෙස නොවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යාවත්කාලීන වන උපදෙස් අනුව ආරක්ෂිත ව සැරසී තවත් ජීවිත බේරාගැනීමට පෙරට යාමෙනි.

රෝගය ආසාදිත පිරිසක් හඹා ගොස් ඔවුන්ගෙන් තවත් විශාල පිරිසක් බේරාගැනීමේ මානුෂික ක්‍රියාන්විතයට දායක වීම හේතුවෙනි.

සත්තකින් ම මේ කෙටි සටහන ලිවීමට මා පෙළඹවූ හේතුව එයයි. මිනිසත්කම යනු විපතක් වූ කල කොන් කිරීම හෝ ඔවුන් එතෙක් කළ සියල්ල ඇසිල්ලෙන් අමතක කර දැමීම නොවේ. රටවැසියන් කොරෝනා සාපයෙන් මුදාගැනීමට කටයුතු කළ ඔවුන් 4000 ක් පමණ අද වැලිසර හුදෙකලා කඳවුරු බිමේ ය. ඔවුන් ඇසුරු කළ පිරිස් සහ නිවාඩු ලබා ගිය නාවුකයින්ගේ පවුල් අද නිරෝධායනයට ලක්වෙමින් සිටිති.

අප වෙනුවෙන් කටයුතු කිරීමට උර දුන් ඔවුන් හුදෙකලා වන කල, ඒ අඩුව පුරවන්නට හැකි වනුයේ කාට ද? මාරාන්තික කොවිඩ් 19 රකුසා නොපෙනෙනා වේශයෙන් විවිධ අවතාර මවාගෙන පැමිණේ. ඒ අභියෝගයට මුහුණ දිය යුතු වන්නේ ඒ පිළිබඳ කිසිදු අත්දැකීමක් නොමැති අයවළුන්ට ම ය.

වෛද්‍ය වාර්තා පෙන්වා දෙන අන්දමට වෛරසය පිළිබඳ පූර්ව අනාවැකි පළ කළ නොහැක. එබැවින් තම ආරක්ෂාව තමන් අත ය.

රටවැසියා වෙනුවෙන් කැප වූ නාවුක හමුදා සාමාජිකයින් කොන් කිරීමට, බොරු බියක් මවාගෙන පිළිකෙව් කිරීමට මේ සමාජය කටයුතු කරනු පෙනේ. අනවශ්‍ය සහ නොවටිනා බාල අදහස් ඔවුන්ගේ සේවාව අවතක්සේරු කරමින් සමාජ ජාල හරහා සැරිසරනු පෙනේ. මිනිස්කම නොමිනිස්කමක් බවට පත්වන්නට යන්නේ තත්ත්පර ගණනක් පමණි.

නාවුක හමුදාධිපතිතුමන් ප්‍රමුඛ සියලු නාවුක හමුදා නිලධාරීන්ට සහ සෙසු නාවුක පුද්ගලයින්ට අපි ආචාර කරමු! ඔවුන්ගෙන් සිදු වූ අමිල මෙහෙවර යළි යළි සිහි කරමු!
දැනට වෛරසය ආසාදිත සහ ආසාදනය වී ඇතැයි සැක සහිත නාවුක හමුදා සොයුරන්ට, පුතුන්ට විශ්වයේ සියලු යහපත් ශක්තීන්ගේ ආශිර්වාදය පතමු! රුදුරු කොරෝනා වෛරසය පරදා හෙට දවසේ සිනාසීමට අපි ඔබ එනතුරු බලා සිටිමු!
රට වටා බැඳි රන්වැටට මුවා වන්නට නොව, ඒ රන්වැට රකිනා ගල්කුලක් සේ අපි ඔබ සමග ම සිටිමු!

– තිළිණි අතුකෝරල

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/04/24/%e0%b6%bb%e0%b6%a7-%e0%b7%80%e0%b6%a7-%e0%b6%b6%e0%b7%90%e0%b6%b3%e0%b7%92-%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%a7-%e0%b6%85%e0%b6%b4-%e0%b6%94%e0%b6%b6%e0%b7%9a-%e0%b7%83%e0%b7%80/
Twitter

2 thoughts on “රට වට බැඳි රන් වැට.. අප ඔබේ සවියයි!

    1. සැබෑව නිරාවරණය අපගේ යුතුකමයි. එදා ඔබ දැක් වූ සහයෝගය මත අද අපගේ උපරිමය ඉටු කරමු. මේ විශ්වයේ පවතින සියලු යහ බලවේගයන්ගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනා නිදුක්, නිරෝගී වෙත්වා!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *