වෙසක් සමයේ විශේෂ බුද්ධි සේවා

පොලීසියෙන්

මැයි 06 වැනි දා රාත්‍රි 08.00 සිට 11 වැනි සඳුදා අළුයම 05.00 දක්වා දින 4 ක් නීරෝධායන ඇඳිරි නීතිය මුළු දිවයින පුරා ම ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

අදාල කාලසීමාව තුළ සියලු දෙනා නිරෝධායන ප්‍රතිපත්ති අනුව ක්‍රියා කරන ලෙස ඔහු දන්වා සිටියේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී මැයි 06 වැනි දා පැවති මාධ්‍ය හමුව අමතමින් ය.

නීරෝධායන ඇඳිරි නීතිය පැනවූ දින සිට මේ දක්වා පුද්ගලයින් 47,500කට ආසන්න පිරිසක් සහ 12,500කට ආසන්න
වාහන ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඉකුත් පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 400 ක් පමණ සහ වාහන 87 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙතෙම පැවසී ය.

ඇඳිරි නීතිය පවතින ඉදිරි දින 4 ක කාලය තුළ පොලිසිය විසින් විශේෂ බුද්ධි සේවා යොදවා ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත
කරන්නන්, ඇඳිරි නීතිය කඩ කරන්නන් හා නීතිවිරෝධී ක්‍රියාවල යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව පැවසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අදාල කාලසීමාව තුළ සතුන් මැරීම, මාංශ වෙළෙඳසැල් පවත්වාගෙන යාම, මත්පැන් විකිණිම හා සියලු නීතිවිරෝධී ක්‍රියා සිදුකිරීම සපුරා තහනම් බව අවධාරණය කරයි.

පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකාව පුරා මාර්ග බාධක 1200 ක් පමණ යොදවා ඇත.

වෙසක් පොහොය කාලය තුළ නිවසට වී ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙසක් උත්සවය සමරනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි. නිවස තුළ වෙසක් සැරසිලි කිරීම කළහැකි වුවත් කණ්ඩායම් වශයෙන් එක් වී කරනු ලබන ක්‍රියා
නීරෝධායන ප්‍රතිපත්තියට පටහැනි වේ.

මැයි 11 වැනි දා සිට විශේෂ තත්ත්ව යටතේ සාමාන්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා ඉදිරියේ දී ආයතන ප්‍රධානීන් සහ ජනතාව, රියදුරන්, වාහන හිමිකරුවන්,රූපලාවන්‍ය ආයතන, හෝටල්, අධ්‍යාපනික ආයතන හා නිෂ්පාදන ආයතන කෙසේ ක්‍රියා කරන්නේද යන්න නිර්ණායක ඉදිරිපත් කරනු ඇතැයි ඔහු පවසයි.

අදාල නිර්ණායක නීතී, රීතී සහ රෙගුලාසි යටතේ සිදු කෙරේ. නිර්ණායක කඩ කරන්නන් සඳහා නීරෝධායන ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව නීතිමය පියවර ගැනීමට පොලීසිය කටයුතු කරයි. සියලු නිර්ණායක තුළ අඩංගු වන්නේ සමාජ දුරස්ථභාවය, දෑත් පිරිසිදු කරගැනීම සහ යම්කිසි රෝගයක් ඇත්නම් නොසඟවා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම යන ප්‍රධාන කරුණු වේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/06/%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%9a%e0%b7%82-%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92-%e0%b7%83/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *