විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රතිසංවිධාන කරන්න!

අධ්‍යාපන දේශපාලන

උපාධිධාරීන්ට රැකියා සපයාගත හැකි අයුරින් උසස් අධ්‍යාපනය ප්‍රතිසංවිධාන කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශ්වවිද්‍යාල බලධාරීන්ට කියයි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳ කුමන අර්ථකථන පැවතිය ද සරසවියෙන් පිටව යන තරුණ තරුණියන්ට රැකියාවක් සොයාගත නොහැකිනම් එය නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් විය නොහැකි බවත්, උපාධිධාරීන් රැකියා ඉල්ලා පෙළපාලි යනු වෙනුවට රැකියා ඔවුන් සොයා එන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය බවත් ඔහු පෙන්වා දේ.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් මැයි 15 වැනි දා පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී හමු වෙමිනි.

විශ්වවිද්‍යාල සහ පාසල් යළි විවෘත කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව බව පෙන්වා දුන් හෙතෙම දැනටමත් හඳුන්වා දී ඇති දුරස්ථ අධ්‍යාපන රටාව වඩා වැඩිදියුණු කිරීමට මේ අවස්ථාව උපයෝගී කරගත යුතු බව පැවසී ය.

ඉදිරියේ දී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගෙන් 30% ක් හෝ online හෙවත් මාර්ගගත අධ්‍යාපනයට යොමු කළ යුතු බව ජනාධිපතිවරයා කියයි.

පිටරට අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් දහස් ගණනක් කොවිඩ් වසංගතය පැතිරයාමත් සමග මෙරටට ගෙන්වා ගැනීමට සිදු වූ බව සිහිපත් කළ හෙතෙම සිසුන් මෙතරම් පිරිසක් විදේශගතවීම යහපත් ලක්ෂණයක් නොවන බව සඳහන් කළේ ය.

“ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් පිට රටට ඇදී යනවා. දරුවන් තමන්ගෙන් ඈත්ව සිටීම දෙමව්පියන්ට පීඩනයක්. මේ තත්වය නතර කිරීමට නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය විවිධාංගීකරණය විය යුතුයි. සන්නිවේදන තාක්ෂණය ඇතුළු නව තාක්ෂණික දැනුම, හෙද වෘත්තීය, සංචාරක ව්‍යාපාරය, ගුරු වෘත්තිය වැනි ක්ෂේත්‍රවල උපාධි පාඨමාලා හඳුන්වාදීම අතිශය වැදගත්” යැයි ඔහු අවධාරණය කරයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කර අඩු වියදම් නව පරිගණක එකලස් කිරීමේ හැකියාව ජනාධිපතිවරයා සරසවි බලධාරීන්ට පෙන්වා දුන්නේ ය. ඉංජිනේරු පීඨ ඇතුළු එවැනි විෂය දැනුම සහිත කණ්ඩායම්වලට ඒ සඳහා සහායවීමට පිළිවන. අනාගතයේ දී විශ්වවිද්‍යාලයට පිවිසෙන සෑම දරුවෙකුටම පරිගණකයක් ලබාගැනීමේ පහසුව සැලසිය යුතු ය. උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලයට පිවිසීමට සුදුසුකම් ලබන සියලුදෙනාට විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට පෙර නිවසේ සිට ඉංග්‍රීසි සහ පරිගණක අධ්‍යාපනය ලබාදීමට සැලසුම් සකස් කළයුතු බව හෙතෙම පෙන්වා දේ.

සරසවි වරම් ලබන ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳ එතුමා කළ විමසුමකට පිළිතුරු දුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මෙවර බඳවා ගන්නා පිරිස 7500 කින් ඉහළ නංවා ඇතැයි සඳහන් කළේ ය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සෙසු සාමාජිකයින් සහ විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් සාකච්ඡාවට එක් ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/16/%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b6%ba/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *