සැලැස්මක් නැති ආණ්ඩුවක්

දේශපාලන

ආණ්ඩුව ඉන්ධන මගින් අධික ලාභයක් ලබමින් මුදල් නැති බව පවසා රාජ්‍ය සේවක වැටුප් කපාගන්නා බවත්, අධිවේගී මාර්ග තැනීමට රුපියල් කෝටි 3100 ක් වෙන් කිරීමට සැරසෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ කියයි.

එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් 15 වැනි දා බත්තරමුල්ල, පැලවත්තේ පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය අමතමින් ඒ බව පැවසී ය.

ඔහු එහි දී ඉදිරිපත් කළ අදහස් –

මාර්තු මාසයේ 02 වැනි දා විසුරුවා හැරි පාර්ලිමේන්තුව මාස 3 ක් ඇතුළත නැවත කැඳවිය යුතුයි. අභිනව පාර්ලිමේන්තුව මැයි 14 වැනිදා කැඳවිය යුතු බවට ජනාධිපතිවරයා ගැසට් කළා. නමුත් කැඳවූයේ නැහැ. ගැසට් නිවේදනය අවලංගු කරලත් නැහැ. නැවත කැඳවන දිනය සඳහන් කර අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කළෙත් නැහැ. සැලැස්මක් නැති ආණ්ඩුවක්.

කොරෝනා වසංගතයට කලින් ඉඳලාම ආර්ථිකයේ බරපතල ගැටලු මතුවෙමින් තිබුණා. ලෝක වෙළඳපොළේ තෙල් මිල සීග්‍රයෙන් පහළ බසිමින් තිබෙන බව කවුරුත් දන්නවා. ලෝක වෙළඳපොළේ තෙල් බැරල් එකක් ඩොලර් 133 සිට සීග්‍රයෙන් පහත බැහැලා. වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ඇතුලු ප්‍රබල අමාත්‍යවරු එදා පාපැදියෙන් පාර්ලිමේන්තුවට ඇවිත් තෙල් මිල අඩු කරන්න පැවැති ආණ්ඩුවට බලකළා. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විපක්‍ෂයේ සිටියදී රු. කෝටි 30,000ක අමතර ලාබයක් ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීමේ වාසිය තුළින් ගන්න පුළුවන් කිව්වා. එම මුදල් විවිධ ආර්ථික ක්‍රියාකාරකම්වලට වෙන්කළ හැකි බව පෙන්වා දුන්නා. නමුත් වත්මන් ආණ්ඩුව ලෝක වෙළඳපොළේ කොතරම් තෙල්මිල අඩු වුණත් අවුරුද්දක් යන තුරු මිල අඩු නොකරන බවට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා.

රටේ ජනාධිපතිවරයා කොරෝනා වසංගත තත්වය පිළිබඳව ජාතිය අමතලා කිව්ව එකම දේ සැමන් ටින් එක රු. 100ටත් පරිප්පු කිලෝ එක රු. 65ටත් දෙනවා කියලා. තෙල් මිලේ වාසිය සැමන්, පරිප්පුවලින් දෙන බව කිව්වා. සාමාන්‍ය වෙළඳපොළේ ඒ මිලට සැමන්, පරිප්පු තිබුණේ නැහැ. සතොස තිබුණු ටිකත් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරුන් ඇතුළු දේශපාලනඥයන් තොග පිටින් අරගෙන යටිමඩි ගහපු හැටි හෙළිවුනා. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සැමන් ටින් එක ආපහු රු. 230ටත් පරිප්පු කිලෝවක් රු. 170ටත් වැඩිකර තිබෙනවා. සැමන්, පරිප්පු දේශපාලනයට තෙල් මිල යට කළා මිස ඇත්ත ආර්ථික වාසියක් ජනතාවට අත්වුණේ නැහැ. ලෝක වෙළඳපොළේ තෙල් මිල පහුගිය දවස්වල සෘණ අගයන්ට වැටුණා. නමුත් අපේ රටේ තවමත් මිල අඩුකළේ නැහැ. අද විවෘත වෙළඳපොළේ තෙල් මිල 2019 ජනවාරි සිට 2020 ජනවාරි වනවිට සීග්‍රයෙන් පහත වැටුණා. අද බොරතෙල් බැරල් එකක් ලෝක වෙළඳපොළේ ඩොලර් 28ක් පමණ වෙනවා. විවෘත වෙළඳපොළේ ඩොලර් 28ක් වුණාට රාජ්‍යයන් අතර විවිධ ගිවිසුම් මගින් ගන්නකොට ඩොලර් 10ට ගන්න පුළුවන්.
ජනවාරි මාසයේ ඉඳලා මැයි මාසය වෙනකොට විවෘත වෙළඳපොළේ බොරතෙල් බැරල් එකක් 60%කින් මිල අඩුවෙලා. ජනතාවට මේ සහනය වහාම ලබාදිය යුතුයි. අද රු.104 තිබෙන ඩීසල් ලීටරය රු. 42ට දෙන්න පුළුවන්. රු.137ට තියෙන පෙට්‍රල් ලීටරයක් රු.55ට දෙන්න පුළුවන්. භූමිතෙල් ලීටරයක් රු.70 ඉඳලා රු.28ට අඩු කරන්න පුළුවන්. මිල සහනය නොදීම නිසා ඉන්දීය අයි.ඕ.සී. සමාගම විශාල ලාභයක් උපයමින් තිබුණා. අපි ඊට විරුද්ධව දැඩිලෙස විවේචනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට බද්දක් අය කරන්න පටන් ගත්තා. ඒ නිසා ආණ්ඩුවට සල්ලි නැහැ කියන්න කිසිම අයිතියක් නැහැ. රු.5,000 දීමනාව ජනතාවට දෙන්න රු. කෝටි 2572ක් වැයකළ බව ආණ්ඩුව කියනවා. ඉන්ධන මිල අඩුවීම නිසා අතිරේකව කොපමණ මුදලක් උපයාගෙන තියෙනවාද කියලා ආණ්ඩුව කියන්නේ නැහැ. මේ වාසියේ තරම රටේ ජනතාවට කියන්න කියලා අපි බන්දුල ගුණවර්ධන ඇමතිවරයාට අභියෝග කරනවා. ඉන්ධන මත බදු හෝ වෙනත් ගාස්තු කිසිවක් අඩු කරලා නැහැ. එදා රු. කෝටි 30,000ක අමතර ආදායමක් උපයන බව කිවු බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මේ තොරතුරු ජනතාවට හෙළිකළ යුතුයි.

පී.බී. ජයසුන්දර මහතා රජයේ සේවකයන්ගේ පඩි කපාගන්න ලියුම් ගහනවා. ඒ අතරේ අගමැතිවරයාගේ ආර්ථික උපදේශක කබ්‍රාල් මහත්තයා අර්ථසාධක අරමුදලෙන් 20% ක් මුදා හරින්න යෝජනා කරනවා. සල්ලි නැහැ කියන ආණ්ඩුව මධ්‍යම අධිවේගී මාර්ගයට රු. කෝටි 3100ක් වෙන් කරන්න ණය ගන්නවා. මේ කොන්ත්‍රාත් ලබාදෙන සමාගම් නියෝජනය කරන රටවල්වලින්ම 6% ට 7% ට වූ ඉහළ පොලියකට මේ ණය ගන්නේ. ඒක ආර්ථිකයේ ප්‍රමුඛතාවය නෙවෙයි. කොරෝනා වසංගතය නිසා විශාල පිරිසකට රැකියාව අහිමිවීමේ අවධානමක් තියෙනවා. ස්වයං රැකියාවල ඉඳලා මහා පරිමාණ ව්‍යපාර ආයතන පවා වැටිලා ඉන්නේ. සේවකයන් 50% කින් කප්පාදු කරන්න හදන්නේ. මධ්‍යම අධිවේගී මාර්ගයට රු. කෝටි 3100 ක් වෙන් කරන ආණ්ඩුව රු.5,000 දෙන්න වෙන්කරලා තියෙන්නේ රු. කෝටි 2572යි.

පහුගිය සියලු ආණ්ඩු ගත්ත ණය නිසා අද ජනතාව රු. 650,000 ක ඒක පුද්ගල ණය බරකින් පෙළෙනවා. 2019 මහබැංකු වාර්තාවෙන් තව දුරටත් හෙළි වෙන්නේ රු. 80,000ක බදු බරක් සෑම පුරවැසියෙක් මතම පැටවෙලා තිබෙන බවයි. මේ වගේ ආර්ථික බරකින් ජනතාව මිරිකී ඉන්න වෙලාවක ලෝක වෙළඳපොළේ තෙල්මිල අඩුවීමේ වාසිය ජනතාවට දෙන්න කියලා අපි බල කරනවා. නිෂ්පාදකයන්ට ඔවුන්ගේ කර්මාන්ත ශාලා ඇතුළු ව්‍යාපාර නැවත යථා තත්වයට ගන්න නම් ඔවුන්ටත් තෙල් මිල සහනය ලබාදෙන්න ඕනෑ. අපේ රටේ විදුලිය නිෂ්පාදනය සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්ධන මත යැපෙන්නේ. කැළණිතිස්ස බලාගාරය වගේම පෞද්ගලික බලාගාරත් ඉන්ධන මත යැපෙන්නේ. ඒ නිසා ඉහළ විදුලි බිලක් නියම වෙලා තියෙනවා. ආර්ථිකය යථා තත්වයට ගන්න නම් නිෂ්පාදනවල පිරිවැය අඩු කරගන්න ඉන්ධන මිල සහයන තුලින් විදුලි බිල අඩු කරන්න ඕනෑ. මේ පහසුකම් සැලසුවොත් අපේ රටේ වැටිච්ච ආර්ථිකය වේගයෙන් ගොඩ ගන්න හැකියාව ලැබෙනවා. ආණ්ඩුව කළ යුත්තේ ඒකයි. ජනතාව තුළ මුදල් සංසරණය වෙන්න, නිෂ්පාදන වැඩි කරන්න දායක වෙන්න තෙල් මිල සහනය ලබාදිය යුතුව තිබෙනවා.

ඉන්ධන මිල සහනය යට ගහන්න මාතෘකා ගෙනෙමින් තිබෙනවා. ටොම් ඇන්ඞ් ජෙරී රඟපෑම් ඉස්සරහට ගෙනත් තිබෙනවා. පසුගිය ආණ්ඩුව කාලයේ අත්අඩංගුවට ගැනීම් ජවනිකා වගේම මේ ආණ්ඩුවත් ඒ ජවනිකා පටන් අරන් තියෙනවා. ගහෙන් වැටුණු මිනිහට ගොණා ඇන්නා වගේ ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ජනතාවගේ එදිනෙදා ප්‍රවාහන වියදම් ඇතුලු වියදම් අඩු කිරීමට පියවර ගන්නා ලෙස අපි බල කරනවා. භූමිතෙල් සහනය හරහා ධීවරයන්ට විශාල ශක්තියක් දෙන්න පුලුවන්. ඒ තුළින් මීට වඩා ලාභයකට පාරිභෝගිකයාට මාළු මිලදී ගන්න පුළුවන්. ආර්ථිකය තුළ ජනතාවට සහන දීලා, නිෂ්පාදකයන්ට සහන දීලා ඒ හරහා ආර්ථිකය ප්‍රසාරණය කරලා ආර්ථිකය යථා තත්වයට පත් කරන්න රජයක් විසින් ගත යුතු දූරදර්ශී ක්‍රියාමාර්ග මේවා. අපේ රටේ වැටිච්ච ආර්ථිකය නැවත ගොඩ ගන්න නිෂ්පාදකයන්ටත් ජනතාවටත් සහනාධාර දෙන්න අවශ්‍ය මැදිහත්වීම් කරන්න කියලා, ඒ වෙනුවෙන් වහාම තීන්දු, තීරණ ගන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.

මාධ්‍යවේදීන් එවා තිබූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් –

විදේශගත ශිෂ්‍යයන් ඇතුලු ශ්‍රී ලාංකිකයන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමේ ගැටලු සම්බන්ධයෙන්…
ලංකාවට නැවත ගෙන්වා ගැනීමේදී ප්‍රමුඛතාවය දිය යුතුව තිබෙන්නේ ශිෂ්‍යයන්, දුෂ්කරතාවයට පත්වී සිටින ගැබිනි මව්වරුන් සහ සෞඛ්‍යමය කරුණු මත ප්‍රතිකාර ගැනීමට ගිය අයට. තානාපති කාර්යාල නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ලැයිස්තු සකස්කර තිබුණා. සමහර රජයේ උසස් නිලධාරීන් කිහිප දෙනෙක් වගේම දේශපාලඥයින් මැදිහත් වී තමන්ගේ දරුවන්ව, ඥාතීන්, හිතවතුන්ගේ දරුවන්ව ගෙන්වා ගන්න බලපෑමක් කර තිබුණා. ඒ නිසා තානාපති කාර්යාල නිලධාරීන් දැඩි අසීරුතාවයකට පත්වෙලා. මේ අනවශ්‍ය මැදිහත්වීම් නතර කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. ප්‍රමුඛතාවය අනුව ලැයිස්තුගත කරලා ලංකාවට ගෙන්වා ගන්න තානාපති කාර්යාලවලට ඉඩ දෙන්න කියලා අපි අවධාරණය කරනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සම්බන්ධ ගැටලුව…
පාර්ලිමේන්තුව සතු මූල්‍යමය බලය මුදල් ලේකම්වරයා පාවිච්චි කරනවා කියන විශාල ආන්දෝලයක් ඇතිවී තිබුණා. ඒ සම්බන්ධයෙන් නිශ්චිත කරුණු හෙළිවී තිබෙනවා. අපේ රටේ ණය ගැනීමේ සීමාව සම්මත කරන්නේ පාර්ලිමේන්තුව. හැබැයි මධ්‍යම අධිවේගී මාර්ගයට අලුතින් ණය ගන්නකොට ඒ සීමාව ඉක්මවා යනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැහැ. මුදල් ලේකම්වරයා මෙවැනි තීන්දුවක් සම්බන්ධයෙන් සෘජුවම වගකීමට ලක් වෙනවා. ඒ වගේම මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ තත්වයක් තුළ මුදල් ලේකම්වරයා මාර්තු 06 වැනිදා අතුරු සම්මත ගිණුමක් සම්මත වුණා සේ සලකා චක්‍රලේඛයක් නිකුත්කර තිබුණා. මේ චක්‍රලේඛණය මුළුමනින්ම වැරදියි. මුදල් ලේකම්වරයා සෘජුව වගකිව යුතුයි කියන චෝදනාවක් එල්ල වුණා. මේ නිසා ඔහු හදිසියේ රෝහල්ගත වෙන්න පෙළඹුනාද කියන ප්‍රශ්නාර්ථය තිබෙනවා.

ජාතික රූපවාහිනිය මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයාගේ මුණුබුරා සම්බන්ධයෙන් ප්‍රචාර කළ වාර්තා වැඩසටහන ගැන…
රජයේ මාධ්‍ය නාලිකා පවුලේ නාලිකා කරගෙන මේ වගේ වාර්තා වැඩටසටහන් ප්‍රචාරය කරන තැනට රජයේ මාධ්‍ය වට්ටවා තිබීම ගැන කණගාටුයි. මේවා වෙනස් කළ යුතු දේවල් බව අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. ඒ වගේම ඡන්දයකදී මේ වැනි වැඩසටහන්වලින් සිදු කරන බලපෑම් පිළිබඳව අපි අධ්‍යයනයක ඉන්නවා.

මොණරාගල දිස්ත්‍රික්කයේ පිටි බෙදාහැරීම සම්බන්ධව…
කොරෝනා වසංගතයක් එක්ක ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් විශාල පිටි තොගයක් චමල් රාජපක්‍ෂ ඇමතිවරයා යටතේ තිබුණු කෘෂිකර්ම අමාත්‍යාංශයට ලැබුණා. එතුමාගේ පුතා ශෂේන්ද්‍ර රාජපක්‍ෂ ඡන්දය ඉල්ලන මොණරාගල දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශීය දේශපාලඥයන් මැදිහත් කර ගනිමින් ජනතාවට බෙදා දීමේ වැඩපිළිවෙළක් පටන් ගෙන තිබෙනවා. ශෂේන්ද්‍ර රාජපක්‍ෂ මහත්තයා තමන්ගේ වියදමෙන් බෙදා දෙන පිටි හැටියට කරගෙන යන මේ ක්‍රියාවලිය ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.

එම්.සී.සී. ගිවිසුම ගැන…
බලයට එන්න කලින් මේ ගිවිසුම රටට හතුරු නිසා මුළුමනින්ම කුණු බක්කියට දාන බව කිව්වා. නමුත් බලයට පත්වුණාට පස්සේ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා විසින්ම මේ ගැන සොයා බැලීම සඳහා වෙනම කමිටුවක් පත්කළා. ඒ කමිටුවෙන් වාර්තාවක් බාර දී තිබෙනවා. විවිධ ඇමතිවරුන්, විවිධ දේවල් තැන් තැන් වලදී කීවා මිස මේ ගිවිසුමට අදාල ක්‍රියාවලිය තවම නතර කර නැහැ. ඇමරිකාවත් එක්ක අත්සන් කරන්න ලැහැස්ති වුණු මේ ගිමිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ වත්මන් ස්ථාවරය ජනතාවට හෙලිකළ යුතුයි. ඇමරිකන් තානාපතිවරයා එක්ක සිදුකළ සාකච්ඡාවලදී මේ ගිවිසුම සම්බන්ධයෙන් ගන්නා ලද තීරණ රටේ ජනතාවට හෙළිදරව් කළ යුතුයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/16/%e0%b7%83%e0%b7%90%e0%b6%bd%e0%b7%90%e0%b7%83%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *