රණවිරු ගරුත්වය නිරන්තරයෙන් රකිනවා!

දේශපාලන

රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් පීඩනයට පත් කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බවට ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිඥා දෙයි.

රටට අසාධාරණයක් වන අන්දමින් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් අඛණ්ඩ ව ක්‍රියා කරන්නේනම් අදාල ආයතනවල සාමාජිකත්වයෙන් ඉවත්වීමට ද පසුබට නොවන බව ඔහු අවධාරණය කළේ ය.

රණවිරු ගරුත්වය සහ අයිතිවාසිකම් හැමවිට ම ආරක්ෂා කරන බවට සහතිකයක් ලබාදෙමින් ඔවුන් පරිත්‍යාගයෙන් රැකගත් රට සියලු දෙනාට අභිමානයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත් දේශයක් බවට පත් කිරීමට උපරිමයෙන් කැප වෙන බව බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අසළ රණවිරු ස්මාරකය අභියස මැයි 19 වැනි දා පස්වරුවේ පැවති
ජාතික රණවිරු සැමරුම් උළෙල අමතමින් හෙතෙම පැවසී ය.

ත්‍රස්තවාදය පරදවා වසර 11ක් සපිරීම නිමිත්තෙන් වීරෝදාර රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පිළිගන්වා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.

ලෝකයේ බලවත් යැයි හඳුන්වන රටවල නායකයින් පවා තමන්ගේ රටේ රණවිරුවන්ට එරෙහි කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කර තිබේ. එවැනි පසුබිමක අප වැනි කුඩා රටක අසීමිත කැපකිරීමක් කළ රණවිරුවන් ආරක්ෂා කිරීමට තමා සැමවිටම කැපවන බව හෙතෙම පෙන්වා දේ.

යුද හමුදාවේ වසර 20 ක් සක්‍රීය සේවයේ නිරත නිලධාරියෙකු, දස වසරක් ආරක්ෂක ලේකම්වරයෙකු සහ පුරවැසියෙකු ලෙස රණවිරුවන් කළ කැපකිරීම් පිළිබඳ තමාට ඉතා හොඳ අවබෝධයක් ඇතැයි ජනාධිපතිවරයා පැවසී ය.

යුද්ධයේ වේදනාව තමා හොඳින් හඳුනන බැවින් විශාල පරිත්‍යාගයක් කළ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට සාමය උදාකර දුන් රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැති කිරීමට ගන්නා උත්සාහයන්ට කිසිදු ඉඩක් නොතබන බව ද ඔහු පවසයි.

ජිවිත පරිත්‍යාගයෙන් රැකගත් රට සියලු පුරවැසියන්ට සාමයෙන් සතුටින් හා අභිමානයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත් දේශයක් බවට පත් කිරීමට උපරිමයෙන් ක්‍රියා කිරීම රණවිරුවන්ට කළ හැකි ඉහළම ගෞරවය බව ද හෙතෙම සඳහන් කළේ ය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් නන්දන සේනාධීර උත්සවයේ පිළිගැනීමේ කතාව සිදු කරන ලදී.

ජනාධිපතිවරයා, අගමැතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු පිරිස රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ අතර ගුවනින් ද පුෂ්පෝපහාර දැක්විණ.

සමස්ත සැමරුම් උළෙල සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් පිළිපදිමින් සිදු කරනු ලදී.

සියම් නිකායේ මල්වතු, අස්ගිරි දෙපාර්ශ්වය ඇතුළු ත්‍රෛනිකාය නියෝජනය කරමින් මහා සංඝරත්නය, කාදිනල් හිමිපාණන් හා සෙසු ආගමික පූජකයන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කැබිනට් අමාත්‍යවරු, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් ප්‍රධාන ත්‍රිවිධ හමුදාපතිවරු, හිටපු නාවුක සහ ගුවන් හමුදාපතිවරු, වැඩ බලන පොලිස්පතිවරයා, සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානි ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් සහ එම දෙමාපියන්, බිරින්දෑවරු සහ දූ දරුවෝ උත්සවයට එක්ව සිටිය හ.

ඡායාරූප සඳහා ලක්දන ෆේස්බුක් පිටුවට පිවිසෙන්න –
https://www.facebook.com/lakdana/

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/19/%e0%b6%bb%e0%b6%ab%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%94-%e0%b6%9c%e0%b6%bb%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b6%ba%e0%b7%99/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *