ඖෂධ අඛණ්ඩ ව සපයන්න!

දේශපාලන සෞඛ්‍යය

අතරමැදියන් ඉවත් කර ඖෂධ සැපයුම විධිමත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාල බලධාරීන්ට උපදෙස්

ජනාධිපතිවරයා 21 වැනි දා කොළඹ ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරුන් සමග ඖෂධ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳ විමර්ශනයක නිරත විය.

රට තුළ ඖෂධ සැපයුම සකස් වී ඇත්තේ කෙසේදැයි ජනාධිපතිවරයා කළ විමසුමකට පිළිතුරු දුන් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඖෂධ සැපයුම ක්‍රම 03 කට සිදුවන බව පවසයි. ඒ රාජ්‍ය අංශයේ නිෂ්පාදන, පෞද්ගලික අංශයේ නිෂ්පාදන සහ දෙඅංශයම කරන ආනයන වශයෙනි.

රට තුළ ඖෂධ වර්ග 750 ක් පමණ භාවිත වන බවත්, ආනයනයේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස කිහිපයක් ගත වන බැවින් ඇතැම්විට හිඟයක් ඇති වන බවත් සභාපතිවරයා පෙන්වා දේ.

ඖෂධ සැපයුමේ කිසිදු හිඟයකට ඉඩ නොතබන්නැයි උපදෙස් දුන් ජනාධිපතිවරයා කළින් වසරේ ඉල්ලුම් රටාව අධ්‍යයනය කර ඊළග වසරේ ඖෂධ අවශ්‍යතාව තීරණය කළයුතු බව පැවසී ය. අතරමැදියන් කිහිපදෙනෙකුගේ ලාභය නොව ජනතාවගේ පාර්ශ්වයෙන් බලා ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම විධිමත් කළයුතු ය. ඖෂධ ආනයනය සහ සැපයුම සඳහා සරල ක්‍රමයක් සකස් කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවකි. සියලු ඖෂධ ඉහළම ප්‍රමිතියෙන් තිබිය යුතු බව අවධාරණය කළ ඔහු ගුණාත්මක අගයෙන් බාල ඖෂධ නිෂ්පාදනයට හෝ ආනයනයට හෝ ඉඩ නොතබන ලෙස උපදෙස් දුන්නේ ය.

හිඟයක් ඇතිවීම වළක්වනු පිණිස ආරක්ෂිත තොග පවත්වාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ හෙතෙම ඖෂධ කල් ඉකුත්වීමේ දින ගණනය කොට ඇණවුම් කළයුතු බව පෙන්වා දුන්නේ ය.

රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ග 80 ක් තම ආයතනය නිෂ්පාදනය කරන බව සඳහන් කළ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ සේලයින් ඇතුළු තවත් බොහෝ වෛද්‍ය සැපයුම් දේශියව නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව පැවසී ය. එමගින් වසරකට රුපියල් කෝටි 130 ක් පමණ ඉතිරි කර ගැනීමට හැකි වෙතැයි සභාපතිවරයා කියයි.

සේවක අර්ථ සාධක අරමුදල සහ සමෘද්ධි ව්‍යාපාරය සතු මුදල් ඖෂධ නිෂ්පාදන කර්මාන්තයෙහි ආයෝජනය කිරීමේ ඉඩ කඩ ද සාකච්ඡාවේ දි විමර්ශනය කෙරිණ. එවැනි ක්‍රමයක් සකස් කළහොත් මේ අරමුදල් දෙකට ස්ථීර ආදායමක් විවෘත වනු ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ සහ භාණ්ඩාගාර නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/21/%e0%b6%96%e0%b7%82%e0%b6%b0-%e0%b6%85%e0%b6%9b%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9-%e0%b7%80-%e0%b7%83%e0%b6%b4%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *