දෙමව්පියන් ලෙස සිතන්න!

දේශපාලන

පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළ ගැන අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් වළකින්නැයි අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඉල්ලයි.

තමාගේ දේශපාලන පක්ෂය, වෘත්තීය සමිතිය කවරත් වුවත් මේ මොහොතේ දරුවන් උදෙසා මව්පියන් සේ සංවේදී වන මෙන් ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් බලධාරීන් සහ ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු වගකිවයුකු සියලු පාර්ශව සමග එක් ව ක්‍රියාවට නංවමින් සිටින ජාතික වැඩපිළිවෙළ ගැන නිසියාකාර ව විමසා නොබලා, ඇතැම් පිරිස් විසින් සමාජය නොමග යවන සුළු අසත්‍ය ප්‍රචාර ගෙනයාම ඔහු හෙළා දකියි.

එබැවින් මේ අවස්ථාවේ විමසිලිමත් ව හා නිවැරදි ව කටයුතු කරන ලෙස කොරෝනා හදිසි තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 22 වැනි දා පැවති හමුවකට එක්වෙමින් ඔහු පැවසී ය.

Covid 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටම අභියෝගයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේ රජය පාසල් දරුවන් හෝ ඔවුන්ගේ දෙමව්පියන් අපහසුතාවට ලක් කිරීමට කිසිසේත් කටයුතු නොකරන බවත්, පාසල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ස්ථාපනයේ දී දෙමව්පියන්ට අනවශ්‍ය බරක් පැටවීමට පියවර ගෙන ඇති බවට ඇතැම් වෘත්තීය සමිති නියෝජිතයන් විසින් ගෙන යන වැරදි මත අතිශයින් ම සාවද්‍ය බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

නැවත පාසල් ආරම්භ කිරීමට තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් ඒ සඳහා සුදුසු පසුබිමක් රට තුළ ගොඩ නැගී ඇති බවට ලබාදෙන පූර්ණ තහවුරුවකින් පසුව පමණක් බව වැඩිදුරටත් සඳහන් කළ අමාත්‍යවරයා, සෑම පාසලකට ම ශරීර උෂ්ණත්ව මැන බැලීමේ උපකරණ, අත් සේදීමේ සින්ක්, ගිලන් කාමරයක් බැගින් ලබාදීමට රජය පියවර ගන්නා බවත්, ඒ සඳහා දෙමව්පියන්ගෙන් කිසිදු මුදලක් ලබා නොගන්නා බවත් පැවසී ය.

මේ සඳහා සිසු දරුවන් 200 ට අඩු සෑම පාසලකට ම රුපියල් 30,000/-ක් බැගින් ලබා දීමට පියවර ගන්නා බවත්, දිවයින පුරා සියලු පාසල් වෙත මෙම සෞඛ්‍යාරක්ෂණ පහසුකම් සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 680 ක් ඇස්තමේන්තුගත කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් දිසාපති, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මාතර දිස්ත්‍රික් ලේකම්, ප්‍රදේශීය ලේකම්වරුන්, ප්‍රදේශීය සභාපතිවරුන්, පළාත් පාලන නිලධාරීන්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/22/%e0%b6%af%e0%b7%99%e0%b6%b8%e0%b7%80%e0%b7%8a%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%99%e0%b7%83-%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *