ක්‍රීඩාවට කැපවෙන පිරිසක් ඕනෑ..

ක්‍රීඩා

මහත්වරුන්ගේ ක්‍රීඩාවක් වූ ක්‍රිකට් ක්‍රීඩාවේ පරමාදර්ශ නව පරපුරට කියා දිය යුතු බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස සැලකෙන්නේ ඒ තුළ පවත්නා ශ්‍රේෂ්ඨ පරමාදර්ශ රැසක් හේතුවෙන් බවත්, වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව දෙස බලන විට එහි යම්කිසි ආත්මීය කඩාවැටීමක් පෙන්නුම් කරන බවත් ඔහු පෙන්වා දේ.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන් මග සකස් විය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කිරිම, කොවිඩ් 19 උවදුර නිසා ආර්ථික අපහසුවට පත් පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 132 දෙනෙකුට රුපියල් 20,000 බැගින් වන මුල්‍ය දීමනාවක් ලබා දීම, පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රියාත්මක හඳුනාගත් අවශ්‍යතා සහිත පාසල් 24 කට අත් ට්‍රැක්ටර්, තණකොල කපන යන්ත්‍ර ලබාදීම ඇතුළු පියවර රැසක් වෙනුවෙන් ජුනි 02 වැනි දා ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන් මග වඩාත් යහපත් කිරීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයත්,අධ්‍යාපන අමාත්‍යාංශයත් එකම අමාත්‍යවරයෙකු යටතේ පැවතීම වඩා විද්‍යානුකූල හා ප්‍රායෝගික බවත්, ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය, පුහුණුකරුවන්ට පුහුණුව, නිවැරදි තාක්ෂණික දැනුම ලබාදීම ඇතුළු ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට තමා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් සූදානම් බවත්, විශේෂයෙන්ම ක්‍රීඩා ආර්ථිකයක් පිළිබඳ තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කතා කරන පළමු රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් හා අනුග්‍රහයෙන් ඒ සඳහා ශක්තිමත් පිටුබලයක් නිරන්තරයෙන් සැලසෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ ය.

ඕනෑම රටක ජාතික ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පසුබිම සකස් කරන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව බවත්, පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍ය වන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, අභියෝග හඳුනාගනිමින්, අභියෝග ජයගැනීමේ අවංක වුවමනාවෙන් ක්‍රීඩාව සංවර්ධනය වෙනුවෙන් කැපවෙන පිරිසක් ඒ සඳහා නිර්මාණය විය යුතු බව ද අවධාරණය කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ඉදිරියේදී සියලු ක්‍රීඩා පුහුණුකරුවන්ට දීමනාවක් ලබාදීමට යෝජනා වී තිබීම හොඳ ආරම්භයක් බවත්, භෞතික සහ යටිතල පහසුකම් සංවර්ධනය කරන අතර, මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව විනයගරුක හා වඩාත් ශිෂ්ට සම්පන්න සංස්කෘතික හරයන්ගෙන් ශක්තිමත් වූ ක්ෂේත්‍රයක් ලෙස දියුණුවිය යුතු බවද කියා සිටියේය.

මෙරට ඉතිහාසය තුළ කීර්තිමත් විනිසුරුවන් , කීර්තිමත් ක්‍රීඩකයන් ජාත්‍යන්තර වශයෙන් අදටත් පිළිගැනීමට පත්ව සිටින්නේ අතීතයේ එවන් ක්‍රීඩා සංස්කෘතියක් මෙරට පැවති නිසා බවත් පෙන්වා දුන්නේය. පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුළ කාන්තා පාසල් ක්‍රිකට් සංවර්ධනය කිරීම වෙනුවෙන් ද ඉදිරියේදී අවධානය යොමුකරන බව අමාත්‍යවරයා පැවසී ය. පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මේ වනවිටත් විශේෂ පියවර රැසක් ගෙන ඇති බවද, ඉදිරියේ දී ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන ආයතනයත්, පාසල් ක්‍රිකට් සංගම් නියෝජිතයින් ඇතුළු පාර්ශව කිහිපයක් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය වී ඇති බවද ප්‍රකාශ කළේ ය.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති ඇතුළු ක්‍රීඩා පුහුණුකරුවන් හා විදුහල්පතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/04/%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%9a%e0%b7%90%e0%b6%b4%e0%b7%80%e0%b7%99%e0%b6%b1-%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *