පුද්ගලික වෙද විදුහල් එපා!

අධ්‍යාපන අනාවරණ දේශපාලන

නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් බිළිගන්නා වෛද්‍ය උපාධි ආයතන අනවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

ජුනි 08 වැනි දා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පක්ෂය ඒ බව පෙන්වා දේ.

අදාල නිවේදනය –

1977 විවෘත ආරථිකය මෙරටට හඳුන්වාදීමෙන් පසු බලයට පැමිණි සෑම ආණ්ඩුවක්ම පාහේ රටේ සම්පත්, රජය සතු සම්පත් පමණක් නොව ජනතාවගේ අයිතියක් වූ අධ්‍යාපනය සහ සෞඛ්‍යය ආදී ක්‍ෂේත්‍ර පවා මුදලට විකිණීමේ සැලසුම් ක්‍රියාවට නංවන ලදී. එවැනි ජනතාවිරෝධී ක්‍රියාකාරකම් නිසා රටට, ජනතාවට මෑතකාලීන ව විඳින්නට සිදුවු අමිහිරි අත්දැකීම් අමතක වන්නටත් පෙර තවත් එවැනිම වැඩපිලිවෙළවල් ක්‍රියාවට නැගීමට පාලකයින් උත්සාහ කිරීම කණගාටුවට කරුණකි.

මෙරට පවතින නිදහස් අධ්‍යාපනයේත් නිදහස් සෞඛ්‍යයෙත් වටිනාකම වත්මන් කොවිඞ්-19 වසංගතය හමුවේ ද තව තවත් තහවුරු වී ඇත. රට තුල රෝග ව්‍යාප්තිය සැලකිය යුතු ලෙස පාලනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අංශයන් සතුවූ දක්ෂතාවයත්, මුදල් අයකිරීමකින් තොරව ප්‍රතිකාර ලබාගතහැකි සෞඛ්‍ය සේවයක් පැවතීමත් බෙහෙවින් ඉවහල් වූ බව අප කාටත් නොරහසකි. පුද්ගලීකරණය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පාර්ශවයන් පෙන්වා සිටි පරමාදර්ශයන් දිනෙන් දින කඩාවැටෙද්දී සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අපට අද දවසේ මෙම වසංගතය පාලනය කිරීම සඳහා ප්‍රමුඛතම වැඩ කොටසක් ඉටුකරන ලද්දේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යයයි.

ලාංකේය ශිෂ්‍ය ප්‍රජාවගේ, ජනතාවගේ අයිතිවාසිකම් පමණක් නොව රටේ මූලික නීතියට පවා පිටුපා යමින් පිහිටවු සයිටම් නම් වංචනික පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පොදු ජන විරෝධතා හමුවේ අහෝසි කර තවමත් ගතව ඇත්තේ වසර කිහිපයකි. එහෙත් එක් පසෙකින් සයිටම් අහෝසි වෙද්දී අනෙක් පසින් තවත් එවැනිම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමේ සැලසුම් පසුගිය එජාප ආණ්ඩු සමය තුලදීම සකස් කර තිබිණි. ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ යැයි කියමින් මෙරට ආසිරි හෙල්ත් ආයතනය විසින් 2018 වසරේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් සඳහා අනුමැතිය ලබාගන්නේ ඒ ඇසුරිණි.

මෙතෙක් ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ අවසරය හෝ ලබා නොමැති මෙම පාඨමාලාවේ පළමු වසර 3 ස්කොට්ලන්තයේත්, ඉතිරි වසර 2 මෙරට තුලදීත් හැදෑරීම සඳහා ඔවුන් අපේක්‍ෂා කරන මුදල රු. කෝටි 3.6ක් පමණ වේ. සයිටම් පමණක් නොව ඉන් පෙරත් විවිධාකාර ලෙස මෙරට කරලියට පැමිණ පසුකාලීනව අහෝසි වූ අනෙකුත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල සිය ආරම්භය සටහන් කළ ආකාරයටම මෙම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයද සිය ප්‍රථම පියවර තබා ඇත. ජනගහණයෙන් 40%කට වැඩි පිරිසක් දිනකට ඩොලර් 2කට අඩු ආදායමක් උපයන රටකට මෙවන් මුදලකට වෛද්‍ය උපාධි විකිණීම සඳහා පාලකයින් කටයුතු කිරීමෙන් නැවත නැවතත් පැහැදිලිවන්නේ ඔවුන් තවදුරටත් පෙනී සිටින්නේ පොදු ජනතාව වෙනුවෙන් නොව තම දේශපාලන හිතවාදී කළු කඩ ජාවාරම්කරුවන් වෙනුවෙන් පමණක් බවය.

මෙම ආයතනය ආරම්භයේ පටන් සිසු ජන විරෝධතා ගොඩනැගුනද වත්මන් රාජපක්ෂ පාලනයද ඒවා නොතකමින් මෙම වංචනික ආයතනයට තවදුරටත් සිසුන් සහ දෙමාපියන් මුලාකිරීමේ වටපිටාව සකසාදෙමින් ඇත. මෙරට අධ්‍යාපන හෝ සෞඛ්‍ය අංශවල නිසි අනුමැතියකින් හෝ තොරව මෙම ආයතනය විසින් සිය දෙවන කණ්ඩායම බඳවා ගැනීමේ කටයුතු මේ වනවිට අරඹා ඇත්තේ ඒ අනුවය.

නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි රාජපක්‍ෂ ආණ්ඩුව එයට පයින් ගසමින් නැවතත් සිය සුපුරුදු ගමන් මාර්ගයට එළඹ ඇති බවට අද මෙය හොඳම නිදසුනක් වී ඇත. පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම වෙනුවෙන් පසුගිය සියලු ආණ්ඩු මැතිරූ ‘මෙරට මුදල් පිටරට යෑමෙන් ආරක්‍ෂා කිරීම සඳහා’ යන ව්‍යාජ පාඨය නැවතත් මතුරමින් පසුගිය දිනෙක ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන් සිදුකළ ප්‍රකාශය පිටුපස තිබුණේ ද මෙම වුවමනාව බව පැහැදිලිය. එහෙයින් පෙර රාජපක්‍ෂ ආණ්ඩුව ඇරඹි සයිටම් ආයතනය එජාප ආණ්ඩුව විසින් පවත්වාගෙන ගියාක් මෙන්ම, එජාප ආණ්ඩු සමයේ ඇරඹි මෙම ආයතනය අද වත්මන් රාජපක්ෂ ආණ්ඩුව විසින්ද එලෙසම පවත්වාගෙන යමින් ඇත.

මෙරට නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් බිල්ලට ගැනීමට එරෙහිව, අනාගත පරපුර උදෙසා ඒවා ආරක්ෂා කරදීම වෙනුවෙන් නැගී සිටීමට අද අප සැමට සිදුවී ඇත. ඒ වෙනුවෙන් එකාවන්ව එක්ව පෙළගැසෙන ලෙස සියලු ප්‍රගතිශිලී සංවිධානවලට සහ ජනතාවට සමාජවාදී ශිෂ්‍ය සංගමය ලෙස අපි ආරාධනා කර සිටිමු. එසේම දුන් පොරොන්දුවලට ගරුකරමින් වහාම මෙම ක්‍රියාවලිය නවතා දැමීමට පියවර ගන්නා ලෙසට අපි ආණ්ඩුවට බලකර සිටිමු.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/08/%e0%b6%b4%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%99%e0%b6%af-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b7%84%e0%b6%bd%e0%b7%8a-%e0%b6%91%e0%b6%b4%e0%b7%8f/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *