කෝ හදන්න ආපු විනය?

දේශපාලන

ආණ්ඩුව බලයට පත් ව මාස හයකින් මෙරට නීතියේ ආධිපත්‍යය බිඳවැටී ඇතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක, නීතිඥ සුනිල් වටගල කියයි.

ජාතික ජන බලවේගයේ නීතිඥයෝ මැයෙන් ජුනි 14 වැනි දා බත්තරමුල්ල අවකාශ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ඔහු ඒ බව පැවසී ය.

මාධ්‍ය හමුවේ පළ වූ අදහස් –

වර්තමාන ආණ්ඩුව බලයට පත්වෙලා මාස හයක් ඉක්මවා යන අවස්ථාවේ රටේ නීතිය හා ආධිපත්‍යයට අදාලව බරපතළ බිඳවැටීම් ගණනාවක්ම තියෙනවා. ඊට සෘජුවම හෝ අනියම්ව ආණ්ඩුව වගකිව යුතුයි කියන ස්ථාවරයේ අපි සිටිනවා.
පහුගිය දවස්වල ඇතිවූ සිද්ධීන්වලට විධායකය සෘජුව හෝ අනියම්ව වගකිව යුතුයි. මිනී මැරුම්, අපරාධ සියල්ලටම වගකිව යුතු ආණ්ඩුවක් ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ලීසිං සමාගමකට අදාළව නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. ලීසිං සමාගම්වලට අදාළව ඇතිවී තිබෙන ප්‍රශ්න කතාකරන්න ගිය සංවිධානයක සභාපතිවරයෙක් ඝාතනය කළා. ලීසිං අරන් තිබෙන අය බොහෝ දෙනක් අසරණ වෙලා. ලීසිං පනත මගින් යැයි කියමින් සංවිධානාත්මක මංකොල්ල කල්ලි වාහන පැහැරගෙන යනවා. ලීසිං සමාගම් පනත යටතේ එවැනි ආකාරයෙන් වාහන පැහැර ගෙන යන්න කිසිම නීතිමය හැකියාවක් නැහැ. පොලිස්ථානයක් වෙත පැමිණිල්ලක් කරලා වාහනයක් රැගෙන යන්න හැකි බවට නීතියේ සඳහන් යැයි අනියමින් ඇඟවීම් කර පැහැර ගෙන යාමට කිසිසේත්ම හැකියාවක් නැහැ. එවැනි පැමිණිල්ලක් පොලීසියට කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් නිසි ලෙස අදාල පරීක්‍ෂණ පවත්වා නීතිමය ක්‍රියාදාමයකට යටත්කර අදාල වාහනය සමාගම වෙත ලබාගැනීමයි නිසි ක්‍රමවේදය. නමුත් පොලීසියේ පැමිණිල්ලක් දාලා වාහනයක් රැගෙන යන කල්ලි බිහිවී තිබීම නීතිමය තත්වයක් නෙවෙයි.

අද ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරන්න ගිය සංවිධානයක නායකයෙක් ඝාතනයට ලක්වෙන තැනට වර්ධනය වෙලා. මේක තනිකරම නීතිය වල් වැදුනු තත්වයක්. ඒ වගේම වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනතට අදාළව ඊට අදාළ අධිකාරිය වත්මන් ආණ්ඩුව යටතේ බලාත්මක කර නැහැ. එහි අධ්‍යක්‍ෂ මණ්ඩලය පත්කර නැහැ. මේ නිසා වින්දිතයන් ආරක්‍ෂා කිරීමට අදාල පනත තිබුණාට එහි ක්‍රියාකාරිත්වයක් නැහැ. මේ නිසා පැමිණිලිකරුවන්ට සහ සාක්‍ෂිකරුවන්ට බරපතළ තර්ජනයක් ඇතිවෙලා. ඒ නිසා වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනතට අදාළ ක්‍රියාමාර්ග වහාම බලාත්මක කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. අද වනවිට සමාජයේ අපරාධ ක්‍රියාවන් දවසෙන් දවස වර්ධනය වීම නිසා මේ සම්බන්ධ අවශ්‍යතාවය වඩාත් වැඩියෙන් ඇතිවී තිබෙනවා.

මැරයෝ වගේ පහර දෙන්න පොලීසියට අධිකරණ නියෝගයක් දීලා නැහැ…
නීතිඥ ජගත් අබේනායක

අද රටතුළ ප්‍රසිද්ධියේ අපරාධ සිදුවෙනවා. ඒ සම්බන්බධයෙන් හැමදේකටම දේශපාලන ඇඟිල්ල දිගු කරන්න බැහැ. නමුත් පවතින දේශපාලන තත්වය වක්‍ර ලෙස අපරාධ සිදුවීමට උත්තේජනයක් වී තිබෙනවා. උදාහරණයක් විදිහට රටේ පාර්ලිමේන්තුවක් නැති නිසා මේ ගැන කතා වෙන්න තැනක් නැහැ. මේ නිසා මේ වෙලාවේ ඕනෑ දෙයක් වෙන්න පුළුවන්. ජාතික ආරක්‍ෂාව අංක එකට තියාගෙන ආපු රජයක් මේ තියෙන්නේ. උද්ඝෝෂකයන්ට විතරක් නෙවෙයි තමන්ගේ වෘත්තීයමය ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න යන පුද්ගලයෙකුට පවා ප්‍රසිද්ධියේ පහර දෙන මට්ටමට තත්වයන් වර්ධනය වෙලා. මේ ගැන කතා කරන්න වේදිකාවක් නැති වුණාම විශාල පීඩනයක් ජනතාවට දැනෙනවා. මෑතකදී සිදුවුණු උද්ඝෝෂණ සම්බන්ධයෙන් පොලීසිය හැසිරුණු ආකාරය විසංවාදී අදහස් ඉවසාගන්න බැරිවුණාම පාලකයන් මර්දන යාන්ත්‍රණය මුදාහරිනවා. මම මේ සම්බන්ධයෙන් දකින්නේ ඒකාධිපතිත්වය දිහාට අඩියක් තැබීමක් ලෙසයි. මිනිස්සුන්ට දේශපාලන අදහස් ඕනෑ තරම් තියෙන්න පුළුවන්. ඒ අදහස්වලට කැමති වෙන්නත් පුළුවන්. අකැමැති වෙන්නත් පුළුවන්. නමුත් ඒ අදහස් මේ විදිහට මර්දනය කරන්න කටයුතු කිරීම නරක පෙර නිම්ත්තක්. උද්ඝෝෂණ ස්ථානයට ගිය නීතිඥවරුන්ට පවා බලපෑම් කරන තත්වයක් තියෙන්නේ.

මේක කිසිසේත්ම ඉවසාගෙන බලා ඉන්න හොඳ කාරණයක් නෙවෙයි. පළමු අවස්ථාවේදීම විරෝධය දැක්වූයේ නැත්නම් මර්දනයේ ගල්රෝල ඉස්සරහට තල්ලු වෙන එක නවත්වන්න බැහැ. විනයක් හදන්න නම් ඉස්සෙල්ලාම විනය තියෙන්න ඕනෑ රටේ පාලකයන් මෙහෙයවන පොලීසියට. දේශපාලන වේදිකාවේ තොරොම්බල් කරපු දෙයක් විතරයි විනය ගොඩනගනවා කියන එක. මර්දනයට විනයක් නැහැ. මේ සිදුවීමෙන් පේන්න තියෙන්නේ ඒක. කාන්තාවක් උස්සලා වීසිකළාම අපරාධ නීතිය යටතේ ගැනෙන විශාල අපරාධයක්. පොලීසිය රාජකාරියක් කළා කියලා මේ අපරාධය නැතිවෙන්නේ නැහැ. පොලීසිය පාලනය කරන නීතිරීති තියෙන්නේ මේ වැඩවලට නෙවෙයි. මේ අපරාධ ගැන සමාජයට කොයි තරම් අවබෝධයක් වෙලාද කියන එක ප්‍රශ්නයක්. පොලීසිය තියෙන්නේ අපේ අතේ කියලා හිතන කෙනෙක් මිනී මරන්න පැකිළෙන්නේ නැහැ. පුද්ගලයාගේ ආරක්‍ෂාව නැති වෙනවා කියන්නේ සමාජයේ ආරක්‍ෂාව තහවුරු කරගන්න තියෙන යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. පොලීසිය කියන්නේ සාමාන්‍ය ජන ජීවිතය රැක දෙන්න ඕනෑ පිරිසක්. නමුත් දැන් පොලීසිය නාම පුවරුවක් බවට පත්වෙලා තියෙන්නේ. අධිකරණ නියෝගයක් කඩ කළාය කියලා නිදහසට කරුණු කියන්න බැහැ. මැරයෝ වගේ ගිහිල්ලා මිනිස්සුන්ට පහරදෙන්න අධිකරණය නියෝගයක් දීලා නැහැ. හදන්න ආපු විනය කෝ? ඉස්සෙල්ලා විනයවත් වෙන්න ඕනෑ ආරක්‍ෂක අංශ සහ පොලීසිය. ඒකට නැති විනයක් රටේ හදන්න බැහැ. රටේ අපරාධ ඉතිහාසයක් තියෙන පුද්ගලයන් නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවට පත්කර නොයවා ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන තිබෙන අපේක්‍ෂකයන් පාර්ලිමේන්තුවට යවන්න ජනතාව පෙළ ගැහෙන්න කියලා ඉල්ලා සිටිනවා.


බහුතරය හැම වෙලාවේම නිවැරදි නැහැ – නීතිඥ නිරූපා සේරසිංහ

ශිෂ්ඨසම්පන් සමාජයක විරෝධතා දැක්වීමත් විරෝධතා බාරගැනීමත් නිවැරදි දෙයක්. යම් පාර්ශ්වයක් මේ තත්වය කඩනවා නම් ඒක ශිෂ්ඨ සම්පන්න සමාජයක් වෙන්නේ නැහැ. පාලක පක්‍ෂය විසින් පසුගියදා ඔප්පු කළේ විරෝධතාවයන් බාරගැනීම ප්‍රතික්‍ෂේප කරන බවයි. ඒක ඉතාම බරපතල තත්වයක්. මුළු ලෝකයම ඇමරිකාවේ සිදුකළ ඝාතනය ගැන කතා කරනවා. නමුත් අපේ රට ඇතුළේ කාන්තාවක් උස්සලා වාහනයක් ඇතුළට විසිකිරීම සම්බන්ධයෙන් තිබෙන විරෝධය ඉතාමත් අඩුයි. රටක් විදිහට ඉතාමත් ලැජ්ජා වෙන්න ඕනෑ. විරෝධතාවලට පහර දෙනවා වගේම අපරාධ රැල්ල මර්දනය කිරීම ඉස්සරහට දාලා. වර්තමාන පාලකයන්ම මීට කලින් බලයේ සිටි අවස්ථාවේදී ක්‍රියා කළ හැටි අපි දැක්කා. අවුරුදු 72ක් පුරා මේ අය කරගෙන ආපු දේවල් තව දුරටත් ඔළුව නමාගෙන, කට වහගෙන, දරාගෙන ඉඳියි කියලා පාලකයින් විශ්වාස කරනවා. නමුත් බහුතරය හැම තිස්සෙම නිවැරදි නැහැ. සුළුතරය වන අපි ප්‍රගතිශීලීත්වයෙන්, දැනුමෙන්, ආකල්පවලින් ඉස්සරහින් ඉන්නවා. ඔවුන්ගේ බලය යොදලා දිගටම මර්දනය පවත්වාගෙන යන්න පාලක පක්‍ෂය හිතනවා නම් ඒකට වැඩි ආයුෂ නැහැ. ප්‍රගතිශීලී මිනිසුන් මේ රටේ තාමත් ඉන්නවා. ඒ කඳවුර නියෝජනය කරන්න අපි සූදානම්. ඒ නිසා මේ දේවල් මේ විදිහට බලාගෙන ඉඳීමෙන් රටක් විදිහට තව දුරටත් ඉස්සරහට යන්න බැහැ.

පෙරටුගාමී පක්‍ෂය විසින් පැවැත්වූ විරෝධතාවයට පහරදීම මෑත කාලයේ වෙච්ච සිද්ධිත් එක්ක ගත්තහම ප්‍රභූවරුන්ගේ මළ ගෙවල්වලට එක නීතියකුත් විරෝධතාවයට තව නීතියකුත් ක්‍රියාත්මකවීමක්. ඔය විරෝධතාවයම රතු කොඩිය නැතිව කඳුකරයේ ආණ්ඩුවට හිතවත් වෘත්තීය සංගමයක් දැක්වූවා නම් ප්‍රතිචාරය මීට වඩා වෙනස් වෙනවා. ජාතික ජන බලවේගයේ අපි නීතිය වෙනස්ව ක්‍රියාත්මක කිරීම හෙළාදකිනවා.

ආණ්ඩුවට ජනතාවගේ ප්‍රශ්න පුරෝකථනය කිරීමේ හැකියාව තිබිය යුතුයි!
– ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක, නීතිඥ චරිත් ගල්හේන

අපේ මේ හමුව පහුගිය දවස්වල වාර්තා වුණු මළ මිණී කර තියාගෙන යන්න නෙවෙයි. ඒ දේශපාලනය අපේ න්‍යාය පත්‍රය නෙවෙයි කියන එක අවධාරණය කරනවා. 1994 ඉඳලා මේ දක්වා බලයට පත්වුණු කිසිම ආණ්ඩුවක් මළමිනී කරතියාගෙන ගිහින් සාධාරණයක් ඉෂ්ඨකර නැහැ. අපි උත්සාහ කරන්නේ මේ සිද්ධිදාමය විසින් මතු කරන සමාජයීය අර්බුදය සාකච්ඡා කරන්න.

රටේ සමස්ත ආර්ථිකය මාස 3ක පමණ කාලයක් වැහිලා තියෙනකොට ඇතිවන ප්‍රශ්න ගැන පුරෝකථනය කළ යුතු සහ පුරෝකථනය කළ හැකියි. නමුත් පුරෝකථනය කළ හැකි දේවල් පවා පුරෝකථනය නොකිරීම නිසා ඇතිවන බරපතළ ප්‍රශ්න අපි දැන් දකිනවා. රජයක මූලික වගකීම පැහැර හැරලා. රට වහලා තිබෙන කාලයේදී හමුදාව යොදවලා රට ගෙනියන්න පුළුවන් වගේ මතයක් සමාජ මාධ්‍ය ජාලා හරහා හදලා තිබුණා. රට සාමාන්‍ය තත්වයට පත්වෙමින් තිබෙන අවස්ථාවක හමුදාවට කරන්න පුළුවන් කාරණා සීමිතයි. නිරෝධායන පනත යටතේ අතිවිශාල බලතල ප්‍රමාණයක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පැවරී තිබෙනවා. රට වහලා තිබුණු කාලය ඇතුළතදී ඊට අදාළ ආයතන විසින් විශාල කාර්යභාරයක් ඉටු කළා. නමුත් රට තිබෙන්නේ පුළුල් පරාසයක තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කළ යුතු වටපිටාවක. ලීසිං පහසුකම් ගත්ත මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙනවා කියන එක, ලීසිං සමාගම්වලට ලීසිං වාරික අහිමි වෙනවා කියන එක ආණ්ඩුවට පුරෝකථනය කළ හැකියි. ඇඳිරි නීිතිය යටතේ අත් අඩංගුවට ගන්නේ ලීසිං වාරික ගෙවමින් තිබෙන වාහන බව ආණ්ඩුව පුරෝකථනය කළ යුතුයි. වාහනයෙන් උපයන ආදායම මත ලීසිං වාරික ගෙවන මිනිස්සුන්ගේ ජීවිත ගැන ආණ්ඩුව පුරෝකථනය කළ යුතුයි. 225ම එපා කියලා පහුගිය කාලයේ මිනිස්සු කීවාට රටේ පාර්ලිමේන්තුවක් තියෙන්න ඕනෑ මේ වගේ තත්වයන්ට මුහුණ දෙන්න.

රටේ විවිධ ප්‍රදේශවල ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න, විවිධ වෘත්තීන්වල නියැලී ඉන්න අයගේ ප්‍රශ්න එකිනෙකාගෙන් වෙනස්. ඒ හැමෝම නියෝජනය කරන්නයි පාර්ලිමේන්තුව තියෙන්නේ. ගැසට් නිවේදනයක් නිකුත් කරලා මේ සියලුම ප්‍රශ්න එක් මනුස්සයෙකුට විසඳන්න බැහැ කියන එක සමාජය තේරුම් ගන්න ඕනෑ. මළමිනී විකුණමින් රට පාලනය කරන්න බැහැ කියන සාකච්ඡාව ඇතිවෙන්න ඕනෑ. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තියෙන අවස්ථාවකදී පවා හදිසි තත්වයක් තුළ පාර්ලිමේන්තුව රැස්කිරීමේ බලයත් ජනාධිපතිවරයාට තියෙන බව ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් පහුගිය කාලයේ අවධාරණය කළා. හදිසි තත්වය වෙනුවෙන් අවශ්‍ය නීති සම්පාදනය කරන්න යළි පාර්ලිමේන්තුව රැස් කරන්න පුළුවන්. එහෙනම් ජනාධිපතිවරයා කරන්න තිබුණේ රට විවෘත කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුව කැඳවා හෝ අධිකරණයේ මතය විමසලා රටට අවශ්‍ය නීති හදාගන්න එකයි. ලිසිං ප්‍රශ්න වෙනුවෙන්, බැංකු ණය වගේ ප්‍රශ්න වෙනුවෙන් වගේම ජනතාවගේ අනෙක් ප්‍රශ්න වෙනුවෙන් උත්තර හොයන්න නීති හදාගන්න පුළුවන්. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට දේශපාලන කර්තව්‍යයක් කරන්න තියෙනවා. ඒ කර්තව්‍යය හමුදාව හෝ පොලීසිය හෝ තමන් නියෝජනය කරන පොදු ජන පෙරමුණ නියෝජනය කිරීම නෙවෙයි රටේ සමස්ත ජනතාව නියෝජනය කිරීමයි.
අවුරුදු 5කට බලයදී තිබෙන ජනාධිපතිවරයාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ශක්තිමත් පාර්ලිමේන්තුවක් කියන්නේ 2/3වත්, 5/6ක්වත් ලබාගැනීම නෙවෙයි. 5/6ක පාර්ලිමේන්තුව තමයි මේ රටේ උතුරේ යුද්ධය ඇතුලු සියලුම සිවිල් යුද්ධයන් නිර්මාණය කළේ. ඒ වගේම ඉන්දියාව ඇතුලු විදේශීය රාජ්‍යයන්ට මෙරටට අත තැබීමේ බලය නිර්මාණය කළෙත් ඒ පාර්ලිමේන්තුව. අපි යෝජනා කරන්නේ ඒ වැනි ශක්තිමත් පාර්ලිමේන්තුවක් නෙවෙයි. ජනතාවගේ මතය ශක්තිමත්ව සාකච්ඡා කිරීමේ පාර්ලිමේන්තුවක්. පොලීසිය තමන්ගේ බලය ඉක්මවා ගිහිල්ලා කටයුතු කරන අවස්ථාවක ප්‍රශ්න කිරීමේ බලයත් ඕනෑම සාමාන්‍ය මිනිසෙකුටත් තිබෙනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරලා ජනතාවගේ අයිතීන් රකින්න කටයුතු කරනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්..

නීතිඥ සුනිල් වටගල මහතා…

ලීසිං සම්බන්ධ ගිවිසුම්වල කිසිදු ලියවිල්ලක් සිංහලෙන් නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. එවැනි තත්වයක් තුළ “තේරුම් කර දුන්නා” යැයි කියන පදනමින් අත්සන් විශාල සංඛ්‍යාවක් ලබා ගන්නවා. ඒක ඇත්තටම ප්‍රශ්නයක්. නමුත් මූලික ගැටලුව ලීසිං ඇරියස් වුණු වාහනයක් ගන්න පොලීසියේ පැමිණිල්ලක් කළා යැයි කියන පදනමින් කිසි කෙනෙකුට වාහනයක් පැහැර ගන්න බැහැ. ඒ තැනකදී අපරාධමය අයිතිවාසිකම් සහ සිවිල් අයිතිවාසිකම් කඩ වෙනවා. වාහනයක් ගන්න යනකොට ලීසිං සමාගමක් පොලිසියේ පැමිණිල්ලක් දාලා නඩු භාණ්ඩයක් විදිහට ඒ අදාල වාහනය අධිකරණයට ගෙන යා යුතුයි. ඒ හැර පොලීසියේ පැමිණිල්ලක් දාලා කොල්ලකාරයෙකුට ඇවිල්ලා වාහනයක් අරන් යන්න කිසිම පදනමක් නැහැ. නමුත් සමාජගතවෙලා තියෙන්නේ පොලීසියේ පැමිණිල්ලක් කරලා වාහනයක් අරන් යන්න පුළුවන් කියලයි. ඒක බරපතල වැරදි තත්වයක්. වගකිව යුතු සංගමයක් හැටියට මෙවැනි දේවල් ගැන සමාජය දැනුවත් කරන්න අපි ඉදිරියේදී ක්‍රියා කරනවා.

නීතිඥ උපුල් කුමරප්පෙරුම

එක්සත් ජාතීන්ගේ සිවිල් සහ සමාජීය අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයන්වලදී දේපළක් දැරීමේ අයිතිවාසකම් ජනතාවට තියෙනවා. ලීසිං කියන්නේ අපි මාසිකව කුලියක් ගෙවලා ආයතනයකින් වාහනයක් ගැනීම වගේ සරල දෙයක්. අපි කුලී ගෙවන්නැත්නම් ආයතනයෙන් ඇවිත් වාහනය අරන් යනවා. වාහනයක් කවදා හරි අයිතිකර ගැනීමේ ක්‍රියාවලියේ කොටසක් හැටියට වාරික වශයෙන් අදාල කොම්පැණියට අපි කුලිය ගෙවාගෙන යනවා. නමුත් ලීසිං නීතිය සම්පූර්ණයෙන්ම සැකසිලා තියෙන්නේ සමාගම්වලට වාසිදායක තත්වයකින්. මේක පුරවැසියන්ට වාසිදායක විදිහට අනිවාර්යයෙන්ම සංශෝධනය කරන්න ඕනෑ. ලීසිං කොම්පැණිවලට සීසර්ලා දාලා වාහන උස්සන්න අයිතිය ලැබිලා තියෙන්නේ මේ සංශෝධනය නැති නිසයි. ඒ වගේම ඒ සමාගම්වලට එන පාරිභෝගිකයන්ගෙන් විවිධ අත්සන් අරගෙන පස්සේ නීතිමය තර්ක ඇතිකරන්නේ මේ වගේ තත්වයක් නිසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ රටේ රාජ්‍ය භාෂාව සිංහල සහ දෙමළ. ඉංග්‍රීසි කියන්නෙ සම්බන්ධීකරණ භාෂාව. ලීසිං සම්බන්ධයෙන් සිදුවූ ඝාතනයත් එක්ක ලීසිං කොම්පැණිවලින් ඉංග්‍රීසි භාෂාවෙන් දෙන ලියවිල්ලම සිංහල දෙමළ භාෂාවෙන් දෙන ලියවිලි බවට පත්කර ගැනීමට ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් මාධ්‍යයටත් තියෙනවා. ලීසිං ගෙවන්න බැරිවෙලා උසාවි එන්නේ ලොකු මුදලාලිලා නෙවෙයි. ත්‍රීවීල් එකක් ගත්ත අය, බස් එකක් ගත්ත අය වගේ ජීවනෝපාය ආදායම් සම්බන්ධ කරගත්ත අය. ඒ අයගේ අසරණකම නිසා ඕනෑම ලියවිල්ලකට අත්සන් කරලා ඊට පස්සේ තමයි අධිකරණ මැදිහත්වීම්වලදී ඇත්ත තත්වය තේරුම් යන්නේ. අධිකරණයට ගෙන එන නඩු භාණ්ඩයක් සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් හිමිකම් කියනවා නම් ලබාදිය යුත්තේ කාටද කියලා අධිකරණය තීරණයක් ගන්නවා.

නීිතිඥ මංජුල බාලසූරිය

ලීසිං සම්බන්ධයෙන් අපේ රටේ බලපැවැත්වෙන්නේ 2000 අංක 56 දරන පනත. මේ යටතේ ඇතිවෙන්නේ ගිවිසුමක්. ගිවිසුමකදී ඉන්න පාර්ශ්ව දෙක සමාන තත්වයන් යටතේ ඉන්න බව පිළිගන්නවා. නමුත් ලීසිංවලදී එක පාර්ශ්වයක් ඉහළින් සහ අනෙක් පාර්ශ්වය පහළින්. ගිවිසුම් තියෙන්නේ ඉංග්‍රීසියෙන්. මේ නිසා පටන් ගැනීමේදීම සමාන පාර්ශ්වයන් කියන කොන්දේසිය ගිළිහිලා. ලීසිං ක්‍රියාවලියේ මුදල් නොගෙවීමකදී ක්‍රියාකළ හැකි මූලික ආකාර දෙකක් තියෙනවා. උසාවි මාර්ගයෙන් වාහනයේ සන්තකය අත්කර ගැනීම සහ හිඟ මුදල් ගැන අදාල ගිවිසුම්කරුට දන්වා ඉන් සතියකට පසු ගිවිසුම අවලංගු කර වාහනය අත්කර ගැනීම යන ක්‍රම දෙකයි. දෙවැනි අවස්ථාව ක්‍රියාත්ක කිරීමේදී පොලීසියේ පැමිණිලි කර පොලිස් නිලධාරී මහත්මයෙකුගේ සහයෝගය ලබාගන්න ඕනෑ. එහෙම ලබාගෙනත් අදාල සිද්ධිය නිසා සාමය කඩ වෙනවා නම් කොහොමවත්ම වාහනය ලබාගන්න බැහැ.

මේ ආයතන නියාමනය කරන්න රජය මැදිහත් වෙන්න ඕනෑ මේ වගේ තත්වයන් නිසයි. ත්‍රීරෝද රථ සංගමයේ සුනිල් ජයවර්ධන මහතාගේ මරණය සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරන් සුදු කොඩියක් දාලා ශෝකය ප්‍රකාශ නොකළේ ඇයි කියන ප්‍රශ්නය මතුවෙනවා. කළු කොඩියක් දාලා විරෝධය පාන්න නොපෙළඹුනේ ඇයි කියන ප්‍රශ්නයත් මතුවෙනවා. හේතුව තමන්ට නොවන ප්‍රශ්නයක් ගැන ඉදිරිපත් නොවීමයි. අවුරුදු 70ක් මේ රට පාලනය කරලා තියෙන්නේ මේ ක්‍රමයටමයි. කෞටිල්‍යගේ අර්ථ සාස්ත්‍රය අනුව රට භේද කරලා රට පාලනය කිරීමයි අද දක්වාව සිදුවෙන්නේ. ඊට අමතරව දණ්ඩණය තියෙනවා. මේ භේද කිරීම නිසා අනෙක් කෙනාගේ ප්‍රශ්නයක් වෙනුවෙන් තව කෙනෙක් නැගී හිටින්නේ නැහැ.
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා
පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම මොකක්ද කියලා ජනතාව දන්නේ නැහැ. ජන ජීවිතවලට බලපාන ප්‍රධාන අන පනත් නිසි ලෙස සම්පාදනය කිරීම, ඒ වගේම මහජනතාවගෙන් ලබාගන්නා බදු මුදල් නිසි ලෙස වියදම් කරනවාද කියන කාරණාව පිළිබඳ වගකීමත් පාර්ලිමේන්තුවට තියෙනවා. නමුත් ජනතාව දන්නේ පාලම් බෝක්කු විවෘත කිරීම විතරයි. මේ තත්වය වෙනස් කරන්න ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයන් සියලු දෙනාම පෙළ ගැහී ඉන්නවා. පාර්ලිමේන්තු කාර්යභාරය මොකක්ද කියන අවබෝධය සහිත කොටසක් පාර්ලිමේන්තුවට යැවීම වගේම මානවවාදීන් පිරිසක් යැවීමේ හැකියාවත් අපිට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තීන්දුව ජනතාව ගත යුතුයි.

සාමකාමී උද්ඝෝෂන අපේ ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන අයිතියක්. ඒ නිසා කිසිදු අධිකරණයකට, කිසිදු ගැසට් පත්‍රයකට හෝ කිසිදු රජයේ නිලධාරියෙකුට සාමකාමී උද්ඝෝෂණ තහනම් කරන්න කියලා නියෝගයක් නිකුත් කරන්න බැහැ. අධිකරණයත් එහෙම කරන්නෙත් නැහැ. උද්ඝෝෂණය කිරීම හරහා රටේ නීතියක් කඩවෙනවා නම් එවැනි අවස්ථාවක ඒ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙනවා. ඇමරිකානු තානාපති කාර්යාලය ඉස්සරහා නිරෝධායන නීති කඩවූ බවයි ප්‍රකාශ කර තිබුණේ. නමුත් පසුව හෙළි වුණේ ඒ නීති කඩ නොකළ බව. වැඩි දෙනෙක් අත්අඩංගුවට ගත්තේ ටවුන් හෝල් එකේදී. විනයගරුක රටක් හදන්න නම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයට අපි කියන්නේ තමන්ගේ පොලීසිය හදාගන්න කියලා.

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුසන්ත දොඩාවත්ත මහතා
ඝාතනයට මුල් වුණේ ලීසිං සමාගමක් නෙවෙයි. ණය දෙන ආයතනයක්. අපේ රටේ මහජනතාව අත්සන් කරන ගිවිසුම ගැන අවබෝධයකින් තොරවයි අත්සන් ගන්නේ. මේ තත්වය වෙනස් කිරීම ගැන සමාජය තුළ වෙනම කතිකාවක් ඇතිවෙන්න ඕනෑ. සුනිල් මහත්මයා ඝාතනය වුණේ පුද්ගලිකව ඔහුගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් නෙවෙයි. ඒ නිසා සමස්ත ජනතාවම හෙළා දැකිය යුතු සමස්ත ත්‍රී රෝද රථ දරන්නන්ගේ ප්‍රශ්නයක්. ඒක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රටේ ජනතාවට ලීසිං පහසුකමක් ලබාගන්න ගියාම අදාල සමාගම්වල නීත්‍යානුකූලබව ගැන අවබෝධයක් නැහැ. ව්‍යවහාරයේම තියෙනවා “ගොඩ ලීසිං” කියලා. ඒව නිකම්ම නිකං මූල්‍ය සමාගම්. මේවා නීති විරෝධියි. ඒ සම්බන්ධයෙන් මැදිහත්වීම පවතින රජයේ වගකීමක්. රජයෙන් මේ වගකීම ඉටු නොවන නිසා මහජනතාව දැනුවත් කරන්න මාධ්‍යයට විශාල වගකීමක් තියෙනවා. තමන්ගේ අයිතිවාසිකම් සම්බන්දයෙන් ජනතාව දැනුවත් වෙලා ඉන්නවා නම් මේ සම්බන්ධ ප්‍රශ්න අවම වෙනවා.

වර්තමානයේ ඇතිවී තිබෙන්නේ ලියාපදිංචිවී තිබෙන ලීසිං සමාගම් පවා බංකොළොත් වීමයි. මහබැංකුව තමන්ගේ වගකීම ඉෂ්ඨ කරනවා නම් මේ විදිහට බංකොළොත් වෙනවාද? මහබැංකුව කරලා තියෙන්නේ මේ සමාගම් ලයිස්තුගත කිරීම විතරයි. ඊට එහා වගකීමක් දරපු බව මහ බැංකුවෙන් පෙනෙන්නේ නැහැ. මිනිසුන් ලියාපදිංචි කළ සමාගම්වලිනුත් අසරණ වෙලා. ලියාපදිංචි නොකාළ සමාගම්වලිනුත් අසරණවෙලා. එනිසා මේ සම්බන්ධයෙන් පැහැදිලිවම වගකිවයුතු ආයතන මෙහෙයවන ආණ්ඩුව වගකියන්න ඕනෑ.

නීතිඥ නිමලා සිරිවර්ධන – ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ

සාමාන්‍ය ව්‍යවහාරයේ කල් බදු කියලා කියන ණය පහසුකමට අදාලව කොටස් දෙකක් තියෙනවා. කුලී සින්නකර ගිවිසුම සහ කල් බදු ගිවිසුම කියලා. හුඟක් වෙලාවට කල්බදු ගිවිසුමකට එන්නේ අලුත් වාහනයක් සම්බන්ධයෙන් පමණයි. නමුත් තවත් කෙනෙකුගෙන් ලබාගන්න වාහනයක් සම්බන්ධයෙන් හුඟක් වෙලාවට කරන්නේ කුලී සින්නකර ගිවිසුමක් මත ලබාගැනීමයි. මේ ගිවිසුමකදී තියෙන්නේ ලබාගන්නා පුද්ගලයා මාසිකව අදාල මුදලින් 75%ක් ගෙවලා තියෙනවා නම් ඊට පස්සේ ඔහුට ඒ වාහනය සම්බන්ධයෙන් ලබාගැනීමේ අයිතිය තිබෙනවා. මේ වගේ අවස්ථාවක මූල්‍ය සමාගමට වාහනයක් උස්සාගෙන යන්න බැහැ. ඒ සම්බන්ධ පැමිණිලි කරන්න වෙන්නේ පාරිභෝගික අධිකාරියට. නමුත් කල්බදු ලීසිං සම්බන්ධයෙන් 2000 අංක 56 පනත මගින් ලබාදී තිබෙන්නේ ඒ සමාගම් මහබැංකුව යටතේ නියාමනය කිරීමයි. ඒ වෙනුවෙන් මහබැංකුවේ ලියාපදිංචි වෙන්න ඕනෑ. ඒ ලියාපදිංචි වෙනකොට අනිවාර්යයෙන් තියෙන කොන්දේසියක් පාරිභෝගිකයන් වන ගිවිසුම් භාෂා 3න්ම ඉදිරිපත් කිරීම. හැබැයි මේ ආයතන ගිවිසුම් අත්සන් කරන්නේ ඉංග්‍රීසියෙන් පමණයි. සමහර ආයතන මූලික කරුණු සම්බන්ධයෙන් විතරක් සිංහල පිටපතක් දෙනවා. නමුත් මේ හැම දේම සම්බන්ධයෙන් සෙයා බැලීමේ මූලික වගකීමක් රජයට තියෙනවා.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/14/%e0%b6%9a%e0%b7%9d-%e0%b7%84%e0%b6%af%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%86%e0%b6%b4%e0%b7%94-%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b6%ba/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *