ඇයි මට සහාය නොදෙන්නේ?

දේශපාලන

වැටුණු ආර්ථිකය ගොඩනැගීමේ වගකීම පැහැර හැරීමෙන් වළකින ලෙසත්, ඒ සඳහා නිවැරදි උපාය මාර්ගය තමා වෙත දන්වන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහා බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලයි.

“රට ගොදුරු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දෙන්න බැහැ. අප මුහුණ පා ඇත්තේ ගෝලීය අර්බුදයකට. වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල් වන මුල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනයේ වගකීම ඇත්තේ මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට. ලොව ලොකු, කුඩා රටවල මහ බැංකු පවතින අර්බුදය ජය ගැනීමට මෙවලම් සමූහයක් හඳුන්වා දී තිබෙනවා. අපේ මහ බැංකුවෙන් එවැනි යහපත් ප්‍රතිචාරයක් නැහැ. අර්බුදය ජය ගැනීමට කළයුතු දේ කිසිදු ප්‍රමාදයකින් තොරව මට දැනුම් දෙන්නැයි ඔහු ප්‍රකාශ කළේ ය.

ආර්ථික පුනර්ජීවනය සඳහා රජය සිය යෝජනා ඉදිරිපත් කර තිබේ. ඊට මහ බැංකුවේ සහාය මෙතෙක් ලැබී නැත. එසේ කිරීමට හේතුව කුමක්දැයි පැහැදිළි කරන්නැයි ජනාධිපතිවරයා විමසන ලදී.

ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග 16 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී හෙතෙම අදාල ප්‍රකාශය සිදු කළේය.

අමෙරිකාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල මෙන්ම කුඩා රටවල ද මහා බැංකු, එම රටවල ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය ක්‍රමවේද ඉදිරිපත් කර තිබේ. එහෙත් මෙරට මහා බැංකුව ආර්ථික පුනරුත්ථාපනය සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැත. පසුගිය වසර කිහිපය තුළ ආයතන රැසකට ඔවුන් සැපයූ සේවා සහ නිෂ්පාදන වෙනුවෙන් රජය විශාල මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතු ව තිබේ. ඒවා ඇපකර ලෙස තබාගෙන රුපියල් බිලියන 150 ක් මුල්‍ය ප්‍රතිපාදන බැංකු වෙත ලබාදීමට ජනාධිපතිවරයා කළ යෝජනාව මහබැංකුව පැහැර හැර තිබේ. මේ නිසා සිදුවන ආර්ථික පසුබැස්ම පිළිබඳ චෝදනාව රජය මත පැටවෙන බව ජනාධිපතිවරයා පෙන්වා දේ.

මහා බැංකු මුල්‍ය වංචාව සිදු වූ කාලයේ සිටි නිලධාරීහූ තවමත් සිය තනතුරු හොබවති. ඒ මහා වංචාවට සහාය වූ ඔවුන් රට හදන්න සහාය ලබා නොදීම පිළිබඳ ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කළේය. ජනතාව තමාට අතිවිශාල ජනවරමක් දී ඇත්තේ රට වෙනුවෙන් බව පෙන්වා දෙන ඔහු එය ඉටුකිරීමට තමා බැඳී සිටින බව අවධාරණය කළේ ය. සෞඛ්‍ය, ආරක්ෂක සහ බුද්ධි අංශ එක් ව කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීමට විශාල කැපකිරීමක් කළ හ. රට ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමේ කාර්යය භාරය මහා බැංකුව වෙත පැවරී තිබේ. එය ඉටුකරනු වෙනුවට මහ බැංකුව තම යෝජනාවලට ද අවහිර කර ඇතැයි හෙතෙම පවසයි. ගැටළුව අවබෝධ කරගෙන ඉතා ඉක්මණින් මහ බැංකුවේ යෝජනා හෝ තම යෝජනාවට අනුමැතිය හෝ දෙන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. එය වහා සිදු කළ යුතු බවද ඔහු අවධාරණය කළේ ය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, මහා බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් සහ මහබැංකු නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/16/%e0%b6%87%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b6%a7-%e0%b7%83%e0%b7%84%e0%b7%8f%e0%b6%ba-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *