ජනතාවට අවශ්‍ය මිලිටරිකරණය නෙවෙයි.

දේශපාලන

ජනාධිපති කාර්යයසාධක බලකා මගින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය මඟහැර යාමේ අනතුරක් වෙතැයි ජාතික ජන බලවේගය අනතුරු අඟවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෑත දී පත්කළ ජනාධිපති කාර්යය සාධක බලකා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් සිය බලවත් කණස්සල්ල පළ කර සිටී.

කාර්යය සාධක බලකායක් පත්කිරීමට ජනාධිපතිවරයෙකුට හැකියාව වෙතත් මෙතෙක් එවැනි බලකා පත්කිරීම් කර ඇත්තේ විශේෂිත ගැටළු සඳහා බව එමගින් පෙන්වා දේ.

තම කණස්සල්ලට හේතුව ලෙස ජාතික ජන බලවේගය පෙන්වා දෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කාර්යයසාධක බලකා පත්කරනුයේ අමාත්‍යාංශ තුළින් කරනු ලබන ආණ්ඩුවේ කාර්යයට පරිබාහිර ව සහ එයට සමාන්තර ආයතන ලෙස වීම ය.

මේ වනවිට විවිධ කාර්යයන් සඳහා කාර්යයසාධක බලකා 05 ක් පත්කරනු ලැබ තිබේ. මෙයින් පෙනෙනුයේ ජනාධිපතිවරයාට තම අගමැති හා අමාත්‍ය මණ්ඩලයේ පාලනය යටතේ පවතින ස්ථාපිත වූ ආයතන මඟහැර තමන් යටතේ පවතින ආයතන සමුහයක් ගොඩනැගීමට ඇති බල වුවමනාව බව අදාල නිවේදනයේ සඳහන් ව තිබේ. මෙය ශ්‍රී ලංකාවේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාව බලවත් තර්ජනයකට යොමු කරවනු ඇති බව එහි සඳහන් ය.

රාජ්‍ය අංශයේ දැනට පවතින පද්ධතිවල බරපතල දුර්වලතා ඇති බව සහ ඒවා අකාර්යක්ෂම ආයතන බව පිළිගන්නා අතර අවශ්‍ය වනුයේ රාජ්‍ය ආයතන වඩාත් කාර්යක්ෂම, වග කියන ආයතන බවට පත්කර ඒවායේ ඇති දූෂණ මුලිනුපුටා දැමීමයි. මෙම ආයතන මඟහැර යාම හෝ නොසලකා හැරිම ප්‍රශ්නයට පිළිතුර නොවන බව බලවේගය කියයි.

Covid-19 වසංගත තත්වයේදීත් පෙන්නුම් කර ඇත්තේ ජනතාවට සහනාධාර බෙදීමේ දී පවා දැනට ස්ථාපිත රාජ්‍ය ආයතන සහ නිලධාරීන් මඟහැර යාම බරපතල ගැටළු ඇතිකරන බවය. එම ආයතන අදාල නීති රෙගුලාසිවලට අනුව ක්‍රියාත්මක වීමට වගබලාගැනීමෙන් රාජ්‍යය සතු එම ආයතන මගින් ජනතාවට වඩා හොඳ සේවයක් ලබාදීමට හැකිවන අතර අදාල ආයතනවලට නිදහසේ කටයුතු කරගෙන යාමට ඉඩ හැරීමෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබිය හැකි බව සෞඛ්‍ය සේවා පවත්වාගෙන යන ආයතනවල සාර්ථකත්වය මගින් මනාව පෙන්නුම් කරයි.

මෙම කාර්යය සාධක බලකාවලට පවරා ඇති කාර්යයන් අපැහැදිලි වන අතර ඒවායේ සංයුතිය වැඩිපුර හමුදා, පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත වේ. සමහර විශේෂ ප්‍රදේශීය බලකාවල නියෝජනය සඳහා එම පළාතේ ජිවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රජාවේ නියෝජනයක් නොමැතිවීම බරපතළ අඩුපාඩුවකි. මෙය වර්තමාන ආණ්ඩුවේ අරමුණුවල භයානක දිශානතිය පෙන්නුම් කරන අතර එයින් රටට අනිසි ප්‍රතිඵල අත්කර දෙනු ඇත.

ජනාධිපතිවරණයේ දී බලයට පත්වීමට මෙම පාලකයින් භාවිත කළ විනය හා කාර්යක්ෂමතාව පිළිබඳ ජනතා බලාපොරොත්තු කාලයක් තිස්සේ මේ රට පාලනය කළ ආණ්ඩුවල දේශපාලන සංස්කෘතිය නිසාම ඇති වූවක් වන අතර සිවිල් ආයතන මිලිටරිකරණය කිරීම එයට පිළියමක් නොවේ.

මිලිටරිකරණය ජනතාවගේ වුවමනාවක් නොවූ බව ජාතික ජන බලවේගය අවධාරණය කරයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට ඇති ජනතා කැමැත්ත දිගු කාලයක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහභාගිවීමෙන් ශ්‍රී ලාංකික ජනතාව විසින් ප්‍රදර්ශනය කරනු ලැබ ඇත. ඔවුන්ගේ අභිලාශය වූයේ රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම මිස මිලිටරිකරණය නොවේ. අදාල කාර්යය සාධක බලකා තුළ සුළු ජන කොටස්වල නියෝජනයක් නොතිබීම, ඔවුන්ගේ මත නොසලකා හැර මහ ජාතියේ අධිකාරී බලය ඔවුන් වෙත මුදාහැර ඇති බව පිළිබිඹු වන අතර එය අප සමාජයේ බහු ජන පදනම නොසලකා හැර ඇති බවද ප්‍රදර්ශනය කරයි.

Covid-19 වසංගතය තරමක් දුරට හෝ පාලනය කර මැතිවරණය සඳහා සුදානම් වන මේ මොහොතේ අප ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ රජයේ මෙම කූට අරමුණු අවබෝධ කරගන්නා ලෙසත් ඉහත කරුණු පිළිබඳ අවධානය යොමු කරන ලෙසත්ය. මෑතදී රට තුළ සිදුවුණු සිද්ධීන්ගෙන් පෙන්නුම් කරන්නේද විනය විරෝධීව ක්‍රියාකරන්නෙත්, නීති කඩකරන්නේත් පාලකයන්ම බවය. අප රටේ වැඩි පිරිසක් නීතියට ගරු කරන්නන් වන අතර එසේ නොවුණානම් Covid-19 වසංගතය අපට මේ තරම්වත් පාලනය කරගැනීමට නොහැකි වනු ඇත.

එබැවින් මෙලෙස දිගු කාලයක් ස්ථාපිත රාජ්‍ය ආයතන මඟහැර යාමත්, නීතිමය සහ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව නොසලකා හැරීමත්, මෙම කාර්යසාධක බලකා පත්කිරීමේදී සුළු ජන කොටස් නියෝජනය නොසලකා හැරීමත් මෙම ක්‍ෂේත්‍රවල ප්‍රධාන විද්වතුන් නොසලකා හැරීමත් පිළිබඳ ජාතික ජන බලවේගයේ බලවත් විරෝධය පළකරන අතර මේ සඳහා තමන් සමග එකතු වන ලෙස ඔවුන් සියලු ශ්‍රී ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/18/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%85%e0%b7%80%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%a7%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *