මේ දේශපාලන ධාරාවක ඡන්ද ප්‍රතිඵලයක්

දේශපාලන

තම වැඩපිළිවෙළ පෙරට ගෙනයාමට මැතිවරණ ප්‍රතිඵලය බාධාවක් නොවෙතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර දිසානායක පවසයි.

අ‍ගෝස්තු 07 වැනි දා පෙරවරුවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ඒ බැව් ප්‍රකාශ කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා –

මෙය දීර්ඝ කාලයක් පමාවෙමින් තිබුණු මහා මැතිවරණයක්. ඇති වී තිබුණු කොවිඞ් වසංගත තත්වය හේතුකොටගෙන අප්‍රේල් මාසයේ 25 වැනි දා පැවැත්වීමට නියමිතව තිබුණු මැතිවරණය ජූනි මස 20 දක්වාත් නැවත අගෝස්තු 05 දක්වාත් කල් ගියා. මේ මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට 4,45,000කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබෙනවා. මෙවැනි අසීරු තත්වයකදී අපි ගැන විශ්වාසය තබමින් ඡන්දය ලබාදීමෙන් සහ සහයෝගය ලබාදුන් සියලුම දෙනාට අපි කෘතඥතාවය පළ කරනවා.

මේ මැතිවරණය අප්‍රේල් 2 5වැනිදා පැවැත්වූවා නම් වෙනත් ව්‍යසනකාරී තත්වයන් ඇතිවිය හැකිව තිබුණා. නමුත් මැතිවරණ කොමිසම ඡන්දයට වඩා, බලයට වඩා මිනිස් ජීවිත වැදගත් යැයි කල්පනා කරමින්, කොවිඞ් වසංගතය යම් පාලිත තත්වයක් එන තෙක් කල් දැම්මා. ඒ වගේම මැතිවරණය වෙනුවෙන් සැලකිය යුතු සාධාරණත්වයක් ඉටු කිරීම වෙනුවෙන් මැතිවරණ කොමිසමට ස්තුතිවන්ත වෙනවා. ජාතික ජන බලවේගයේ නායක මණ්ඩලයේ සිට සාමාජිකයන් දක්වා සියලු දෙනාම ඉතා වෙහෙසකර, ධෛර්යසම්පන්න මැතිවරණ ව්‍යාපාරයක යෙදුණා. ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා.

ප්‍රතිඵල ලෙස බැලුවොත් යම් පසුබෑමක් අපිට ලැබී තිබෙනවා. 2015 මහ මැතිවරණයත් එක්ක සංසන්දනය කරන විට විශාල ඡන්ද ප්‍රමාණයක් අඩු නොවුණත් මන්ත්‍රීවරු සංඛ්‍යාව 6දෙනාගේ සිට 03දෙනා දක්වා අඩුවී තිබෙනවා. පසුගිය ජනාධිතිවරණය හා සංසන්දනය කරන විට ඡන්ද ප්‍රමාණයේ යම් වැඩිවීමක් තිබුණත් එය කිසිසේත්ම මහ මැතිවරණයකදී අපි අපේක්‍ෂා කරන ලද ප්‍රතිඵලයක් නෙවෙයි. ප්‍රතිඵලය ගැන අප සෑහීමකට පත් නොවුණත් ජනතාව අප කෙරෙහි ඡන්දයේදී තබා තිබුණු විශ්වාසය මෙය ලෙස අපි පිළිගන්නවා. ජාතික ජන බලවේගයේ අපිට විශාල අරමුණක් තිබෙනවා. විනාශකාරීත්වය කරා කැඳවාගෙන යන අපේ රටත් අතිශය පීඩාකාරිත්වයට පත්කර තිබෙන ජනතාවත් එයින් ගලවා ගනිමින් ඔවුන්ට අවශ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය හා එහි ප්‍රතිලාභ ලබාදීම සඳහා වූ දැක්ම සහ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා මේ ප්‍රතිඵලය බාධාවක් කරගන්නේ නැහැ.

කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීම සහ යහපත් දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීම, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ශක්තිමත් කොට පවත්වාගෙන යෑම යන අරමුණු කේන්ද්‍රගත කරගෙන ප්‍රතිපත්ති සමුදායක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළා. ඒ ප්‍රතිපත්ති ගැන විශාල සංවාදයක් ජනතාවත් සමග කළා. ඊට ඇහුම්කන් දුන් බොහෝ දෙනෙකු අපි වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර නැහැ. නමුත් පවතින අර්බුදයන්ගෙන් රටත් ජනතාවත් මුදා ගැනීමේ ඒකායන වැඩපිළිවෙළ තිබෙන්නේ අපේ ප්‍රතිපත්ති සහ අරමුණු මත බව අපි විශ්වාස කරනවා.

පසුගිය නොවැම්බර් 16 වැනිදා බලයට පත්වුණු ආණ්ඩුව මාස 9කට ආසන්න කාලයක් විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම, පොහොර හිඟයක් ඇතිකිරීම, වැනි කරුණුවලදී ඉදිරිපත් කළ ප්‍රධාන තර්කය වූයේ මේ ගැටලුවලට විසඳුම් දීම සඳහා වූ බලයක් නොමැති බවයි.

ජනාධිපතිවරණයේදී දෙන ලද එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට 2/3ක බලයක් අවශ්‍ය බවට ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාවට ජනතාව බලයක් ලබා දී තිබෙනවා. මේ නිසා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාට හෝ පත්වීමට නියමිත අගමැති මහින්ද රාජපක්‍ෂ මහත්මයාට හෝ බලය නැති නිසා ජනතාවට වුණු පොරොන්දු ඉටුකළ නොහැකි වූ බවට අඳෝනා නගන්න හැකියාවක් නැහැ. ජනතාවට දෙන ලද පොරොන්දු ඉදිරියේදී ඉටු කිරීම ආණ්ඩුවේ වගකීම බව අපි අවධාරණය කරනවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව ඔවුන් අදහසක් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් කොතැනකවත් එහි අඩංගුව පිළිබඳව කරුණු කිසිවක් ඉදිරිපත් කර නැහැ. 1978 ව්‍යවස්ථාව යල්පැන ගිය ව්‍යවස්ථාවක් බව අපිත් විශ්වාස කරනවා. ඒකට සංශෝධන 19ක් ඇතිකිරීම තුළම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඉදිරිපත් කළ සංශෝධන දෙකක් හැර ඒ මොහොතේ පාලකයන් තුළ තිබුණු බල වුවමනාව ගැබ්වී තිබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන, මානව හිමිකම් ශක්තිමත් කරන, පුරවැසියන්ගේ නිදහස ශක්තිමත් කරන දිශාවට ගමන් කරන ව්‍යවස්ථාවක් ගැන සලකා බැලීමට අපි සූදානම්. ඒ වගේම ආර්ථික ක්‍ෂේත්‍රය තුළ එතෙක් පැවති අර්බුදවලට අමතරව කොවිඞ් වසංගතය හේතුකොටගෙන විශේෂ ගැටලු ගණනාවක් නිර්මාණය කළා. රැකියා අහිමි කිරීම, රාජ්‍ය සේවයේ අතිකාල කපා හැරීම, අලුතින් රැකියා උත්පාදනය කිරීමේ ගැටලුව වැනි ආර්ථිකයේ කඩාවැටීම් ජනතාව මත පැටවීම වෙනුවට සහන සැලසීමේ දිශාවට ගමන් කරන බව ජනාධිපතිවරණයේදී වගේම මහ මැතිවරණයේදී ප්‍රකාශ කර තිබෙනවා. මේ පොරොන්දු ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සියලු ජනතාවට සාධාරණව ක්‍රියාත්මක වන නීතියක් ක්‍රියාත්මක කෙරෙන රාජ්‍යයක් නිර්මාණය කිරීමේ පොරොන්දුව ඉටු කරාවි කියලා අපි පලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ජාතික ජන බලවේගයේ ක්‍රියාමාර්ග පිළිබඳව සමාලෝචනය කර අධිෂ්ඨානශීලීව මේ රට ආරක්‍ෂා කරමින් ගොඩගත හැකි ක්‍රියාමාර්ගවලට යොමුවන බව අපි අවධාරණය කරනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

ආණ්ඩුවේ පහුගිය මාස 9ක කාල පරිච්ඡේදය පිළිබඳ අපි ඉදිරිපත් කළ විවේචන සැලකිය යුතු ප්‍රමාණයකට සමාජගත වී තිබෙනවා. නමුත් තෝරාපත් කරගන්නා ලද ජනාධිපතිවරයා ජනතාවට ලබාදී තිබෙන එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් බලයක් අවශ්‍ය බවට ඉදිරිපත් කළ කරුණු අපේ විවේචනයන්ට වඩා ජනතාව විසින් පිළිගෙන තිබෙනවා.

මෙය යම් දේශපාලන ධාරාවක ප්‍රතිඵලයක්. ඒ හැරුණුකොට සංවේදීභාවයන් මේ ඡන්ද ප්‍රතිඵලයට විශාල වශයෙන් බලපාන්න ඇති කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. රට හමුවේ තිබෙන ප්‍රශ්නවලට අපට දෙන්න තිබෙන එකම උත්තරය අපි මේ ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති තවත් ශක්තිමත් ලෙස සමාජය වෙත ගෙන යාමයි. ජාතික ජන බලවේගයේ පැතිරුණු ශක්තිමත් නායක මණ්ඩලයක් ගොඩනගාගෙන තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ලැයිස්තුව ගත්තොත් එක නිදර්ශනයක්. මේ සියලු දෙනාම හෙට සිට මේ දේශපාලන මතය තහවුරු කිරීමේ ප්‍රවේශයට අවතීර්ණ වෙනවා.

අලුත් මුහුණු ගොඩක් ඇවිත් තිබෙන්නේ පැරණි අය ගිහින් නෙවෙයි. පැරණි අයත් සිටිමින් සංඛ්‍යාව වැඩිවෙනකොට අලුත් අය එන්න ඕනෑ. ඒ හැරුණුකොට පැරණි අය ප්‍රතික්‍ෂේප වෙලා තියෙන්නේ එක්කෝ පරාජිත කඳවුරේ, ඉතිරි වී තිබෙන්නේ පරාජිත කඳවුරේ අය. පසුගිය පාර්ලිමේන්තුවේදී රාජපක්‍ෂ මහත්මයාගේ කඳවුර නියෝජනය කළ 96 දෙනාගෙන් විශාල පිරිසක් මේ පාර්ලිමේන්තුවටත් තේරී පත්වී ඇති බව පේනවා. පසුගිය අවුරුදු 5ක කාලයේ ආණ්ඩුවේ අසාර්ථකත්වයේ ප්‍රතිඵලයක් හැටියට රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වුණේවත් නැහැ.

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ කාර්යභාරයට වඩා ප්‍රබල කාර්යභාරයක් ජනතාවත් සමග ඉටුකළ හැකිව තිබෙනවා. කෘෂිකර්මාන්තයේ ගොවිජනතාව මුහුණ දී සිටින ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් පාර්ලිමේන්තුවෙන් පිටත අපිට විශාල කාර්යභාරයක් තිබෙනවා. රැකියා අහිමි වන අයට විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඔවුන් එක්කත් විශාල කාර්යභාරයක් තිබෙනවා. පරිසර විනාශය වැළැක්වීම සඳහාද විශාල කාර්යභාරයක් තිබෙනවා. විපක්‍ෂයේ කාර්යභාරය ලෙස අපි සලකන්නේ සාම්ප්‍රදායිකව සිදුකරන කාර්යභාරයන් නෙවෙයි. එයින් එළියේ විශාල කාර්යභාරයක් ඉටුකිරීමට තිබෙනවා. මම මේ කියන්නේ විපක්‍ෂයේ භූමිකාව මුළුමනින්ම තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළ පමණක් නොවන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ 2/3ක සම්මතය පමණක් ප්‍රමාණවත් නැහැ. අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යා යුතුයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව අපේ යෝජනා හැමදාමත් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, ජනතාවගේ මූලික අවශ්‍යතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්‍ෂා කළ යුතු බව අපි විශ්වාස කරනවා. ඒ වගේම රටේ ස්ථාවරභාවය ආරක්‍ෂා කිරීමත් අවශ්‍යයි.

රනිල් වික්‍රමසිංහට හෝ එක්සත් ජාතික පක්‍ෂයට සෘජුව හෝ වක්‍රව සහාය පළ කිරීමේ ක්‍රියාමාර්ග අපි අරගෙන නැහැ. අපි ගන්නා හැම ක්‍රියාමාර්ගයක්ම රටත්, ජනතාවත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් මූලික කරගෙන තීන්දු කරලා තිබෙනවා. ඒ ගන්නා තීන්දු දේශපාලන කණ්ඩායම් දෙකෙන් එකකට වාසිසහගත වීම වළක්වන්න බැහැ. නමුත් පසුගිය දේශපාලන බෙදීම් තුළ එක කණ්ඩායමකට හැකිවුණා, හැම ක්‍ෂෙත්‍රයකම ප්‍රබන්ධ නිර්මාණය කරන්න. ඔවුන්ට හැකිවුණා, අපි සහ එක්සත් ජාතික පක්‍ෂය අතර අනියම් ගනුදෙනුවක් තිබෙන බවට ප්‍රබන්ධයක් ගොඩනගන්න. අපි මේ බව පැහැදිලි කරන්න රූපවාහිනී සංවාද ඇතුළු සියලු අවස්ථාවලදී වෙහෙස නොබලා කටයුතු කර තිබෙනවා. අපි නොමැති වේදිකාවලදී ඔවුන් ඔය ප්‍රබන්ධය සමාජගත කරන්න සැලකිය යුතු ප්‍රමාණයකින් සමත් වුණා.

සංශෝධනවලින් එහා යන අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ තර්කය ආණ්ඩුව දිගටම ඉදිරිපත් කළා. අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවා නම් ඊට අපි එක්කළ කරුණු තිබෙනවා. ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එනවා නම් ඒ සංශෝධනවලට අදාළව අපේ ස්ථාවරයන් සකස් වෙනවා. කා ගැනවත් පුරෝකථන දෙන්න ඉක්මන් විය යුතු නැහැ. සමහර දේවල් ජනතාව විසින්ම තේරුම් ගන්න බව පැහැදිලියි. තනි තනි පුද්ගලයන් දෙස බලනවාට වඩා මේ දේශපාලන ධාරාව තේරුම් ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා.

ජාතික ජන බලවේගය ගොඩනගා දැන් අවුරුද්දකට ආසන්න කාලයක් වෙනවා. ඒ කාලය තුළ ජනාධිපතිවරණය සහ මේ මහ මැතිවරණය ආවා. ජාතික ජන බලවේගය ලෙස මැතිවරණයෙන් එහා යන දේශපාලනයකට පුරවැසියන් සමඟ අවතීර්ණ වීමට හැකියාව ලැබුණේ නැහැ. නමුත් මැතිවරණ වේදීකාවේදී ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි හිටි සීමාකාරී රාමුව ඉක්මවා යාමට සමත්වී තිබෙනවා. මේ රට වෙනස් කළ හැක්කේ පුළුල්තම බලවේගය අපට හදන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. දේශපාලනයේදී කුඩා සුළි වගේම සුනාමිත් එනවා. හැබැයි ඒ රළ ඒ වේගයෙන්ම ආපසු ගසා ගෙන යන බව අපි විශ්වාස කරනවා. ඊට ඔරොත්තු දෙන දේශපාලන ව්‍යාපාරයක් අපිට ඕනෑ. ඒ නිසා ජනතාවට අපි සහතික වෙන්නේ ඔබ අප කෙරෙහි තබන විශ්වාසය සෑම අතින්ම ආරක්‍ෂා කරන බවයි. අපිට ලබා දෙන ලද හැම ඡන්දයකම ගෞරවයත් අපි රකිනවා. ඒ පදනමේ සිට මේ බලවේගය ඉදිරියට පෝෂණය කරමින් ගම් නියම් ගම් කරා යනවා. සංදර්ශන දැම්මාට ජනතාවගේ පීඩනය නිදහස් වෙන්නේ නැහැ. ඒ නිසා ජයග්‍රාහී ලෙස මේ දේශපාලන ගමන අපි යනවා.

ජාතික ජන බලවේගයට ඡන්දය දීමට තීන්දු කළ කෙනෙකුට ඡන්ද ලකුණ පැටලිලා යෑමේ හැකියාවක් නැහැ. ඔබ කතිරය ගසා තිබෙන්නේ මොන ආකාරයටද, ඊට අදාළ ප්‍රතිඵලය ලැබී තිබෙනවා. නමුත් කතිරය ගැසීමට බලපාන්නේ මොන කරුණුද යන්න විවිධාකාර බව පැහැදිලියි. ඡන්ද පාවිච්චියේ විශාල අඩුවීමක් නැහැ. ජනාධිපතිවරණයත් එක්ක සංසන්දනය කළොත් යම් අඩුවීමක් තිබෙනවා. මහ මැතිවරණත් එක්ක සංසන්දනය කළොත් ආසන්න තත්වයක් තිබෙනවා.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/08/07/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b6%b0%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b6%9a-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%b4%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *