රැකියා ප්‍රදාන වහා ම

දේශපාලන

මහ මැතිවරණය හේතුවෙන් ඇණහිට තිබූ, පුද්ගලයින් 150,000 ක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කරයි.

පත්වීම් ලබන රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව 50,000 කි. සෙසු රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගනුයේ සමාජයේ පහළ ම ආදායම් ස්ථරයට අයත් පවුල්වලිනි.

ජනාධිපතිවරයා ඉකුත් වසරේ නොවැම්බර් මස සිය ධුරයට පත් ව සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් 50,000ක් සහ අඩු ආදායම්ලාභීන් 100,000ක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කෙරිණ.

උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා සුදුස්සන් තෝරාගැනීම පෙබරවාරි මස මුල් සතියේ ආරම්භ කළ අතර අඩු ආදායම්ලාභී ලක්ෂයක් දෙනා සේවා නියුක්ත කිරීම පිණිස බහුකාර්යය සංවර්ධන කාර්යය සාධක බලකායක් ස්ථාපනය කෙරිණ. ජනාධිපතිවරයාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීම වැඩසටහනේ පරමාර්ථයයි.

2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහන අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නියම කළේ ය. එබැවින් මහ මැතිවරණය අවසන් වූ විගස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 08 වැනි පරිච්ඡේදයේ විධිවිධාන ප්‍රකාර විධායකය ස්ථාපනය කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේ ය.

අභිනව අග්‍රාමාත්‍යවරයා අගෝස්තු 09 වැනි දා ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ලේකම්වරයා පත් කර, අමාත්‍ය මණ්ඩලය ද දිවුරුම් දීමෙන් අනතුරුව නව පාර්ලිමේන්තු සභා වාරය අගෝස්තු 20 වැනි දා ඇරඹේ.

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය 17 වැනි දා රාජ්‍ය සේවා, පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කෙරේ.

තෝරා ගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි එම අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ඔවුන් වෙත යොමු කරනු ලැබේ.

පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 දා තමන්ට ආසන්න ම ප්‍රදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/08/14/%e0%b6%bb%e0%b7%90%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%af%e0%b7%8f%e0%b6%b1-%e0%b7%80%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *