ආගමික ස්ථානවල වැඩි ශබ්ද එපා!

ආගමික

පූජනීය ස්ථානවලින් බාහිර සමාජයට ශබ්ද මුදාහැරීම සීමා කරන්නැයි ඉල්ලීමක් ඉදිරිපත් කෙරේ.

කතෝලික විභාවනය විසින් කතෝලික රදගුරු සංසදයේ සභාපතිතුමන් වෙත අදාල ලිපිය යොමු කර ඇත.

අධික ශබ්ද විවිධ රෝගාබාධයන්ට ලක්වූවන් අපහසුතාවට පත් කරන බව එමගින් පෙන්වා දී තිබේ.

අදාල ලිපිය –

අතිඋතුම් දේවධර්මාචාර්ය වින්ස්ටන් ප‍්‍රනාන්දු රදගුරු හිමිපාණන්,
සභාපති,
කතෝලික රදගුරු සංසදය,
කොළඹ.

අතිගරු රදගුරුතුමනි,
ආගමික ස්ථානවලින් පිටතට ඇසෙන ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සම්බන්ධයෙන්

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ බොහොමයක් පිරිස් ඇඳිරිනීතිය හේතුවෙන් නිවස් තුලට සිරවී සිටී.

යම් ආගමික ස්ථාන මෙම තත්ත්වය හමුවේ හා මෙම තත්ත්වයට පෙර සිට ආගමික ස්ථානවලින් පිටතට ඇසෙන ආකාරයෙන් උදෑසන හා සවස ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් පූජා, ගීතිකා හා යාච්ඤා විකාශනය කිරීමට උනන්දුවක් දක්වයි.

මේ සඳහා භාවිතා කරනා දුර ඇසෙනා ස්පීකර්වල තරංග පරාසය හා ඉන් නිකුත්වන අධික ශබ්දය ඉන් කුමක් විකාශනය කෙරුණ ද, ආගමික ස්ථානය සිට ඈතට මිහිරි විය හැකි නමුත්, එය ආගමික ස්ථානය අසල ජනතාවට දැඩි ලෙස පීඩා කාරී වේ. එවැනි ශබ්ද විකාශනය සෞඛ්‍යට අහිතකර බවට විද්‍යාත්මිකව ඔප්පු කර ඇත.

එමෙන්ම, එවැනි විකාශන හරහා එම ප්‍රදේශයේ ශ්‍රවණ ආබාධවලට ලක්වූ අය, අධික රුධිර පීඩන‍, හෘද රෝග හා වෙනත් රෝගි තත්ත්වයන්ගෙන් පෙලෙන අය ඉමහත් ලෙස පීඩාවට ලක් කරන අතර, එය ඔවුන්ගේ සෞඛ්‍යට අහිතකරයි.

ඇතැම් ප්‍රදේශවල එක් ආගමික ස්ථානයක පිටතට ඇසෙන ශබ්ද විකාශන බලය හා කාලය ඉක්මවා යෑමට තවත් ආගමික ස්ථානයක් කටයුතු කිරීමේ තරගකාරී තත්ත්වය එම ප්‍රදේශයේ ශ්‍රවණ ආබාධවලට ලක්වූ අය, අධික රුධිර පීඩන‍, හෘද රෝග හා වෙනත් රෝගි තත්ත්වයන්ගෙන් පෙලෙන අය ඉමහත් ලෙස පීඩාවට ලක් කරන අතර, එය ඔවුන්ගේ සෞඛ්‍යට අහිතකරයි.

ආගමික ස්ථානවල ශබ්ද විකාශන කිරීම සම්බන්ධයෙන් සියලු කරුණු විමසූ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීරණයක් 2007 වසරේ ප්‍රකාශය පත් කර ඇත (SCFR 38/2005, අමුණා ඇත). ඒ අනුව මූලික ලෙස, තනි පොලිස් බලයට එහා ගිය අදාළ විශේෂ අවසර ක්‍රමවේදයකින් තොරව කිසිදු ආගමික ස්ථානයකට ඒ ආගමික ස්ථානයේ භූමියෙන් පිටතට ඇසෙන ආකාරයෙන් ශබ්ද විකාශන සිදු කිරීම නීති විරෝධී වේ.

අන්තවාදී නොවන ආගමක් ලෙස කතෝලික අපි අන් අයගේ රෝගි තත්ත්වයන්, දුක වේදනාව හා නිශ්ශබ්දව ජීවත් වීමේ මිනිස් අයිතිවාසිකමට ගරු කල යුතුය. ආගම යනු පුද්ගලයෙකුගේ පෞද්ගලික විශ්වාසයක් වන අතර, මේ වන විට යාච්ඤා හා ගීතිකා ඒ ස්ථානයට හෝ පුද්ගලයාට පමණක් ගෙන යෑමට හෝ අවශ්‍ය වේලාවේ ලබා ගැනීමට අවශ්‍ය ඇසි-දිසි තාක්ෂණය බිහිවී ඇත.

ඒ අනුව මේ අවස්ථාවේ මේ කරුණු සම්බන්ධයෙන් සියලුම කතෝලික ආගමික ස්ථාන හා කතෝලික ජනතාව එම නීතියට අනුකූලව කටයුතු කරන ලෙසට දන්වන ලෙස අපි ඉල්ලා සිටිමු. මන්ද, තමන්ගේ ආගම ඇදහීමට හෝ එහි බලය ක්‍රියාත්මක වීමට තව කෙනෙකුට පීඩාවක් කරමින් එය ප්‍රචාරය කිරීම අවශ්‍ය යැයි ආගමක් අදහස් කිරීම/අනුබල දීම තුලින්, එම ආගම එම පුද්ගලයා වෙත ලබා දෙන්නේ අන්තවාදී මූලධර්මයක්/මතවාදයක් වන අතර, ඒ හරහා අප ආගමේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉගැන්වූ මූලධර්ම සමස්ත සමාජයේ ඉදිරියේ බිඳ වැටෙනු ඇත.

එමෙන්ම මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකාවේ කතෝලික රූපවාහිනි නාලිකාවට තම වැඩ සටහන් ගුවනේ විකාශනය කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ ඍජු වගකීමක් ලෙස අපි දකිමු.

මෙයට විශ්වාසී,
චිරන්ත ආර්. ඇන්තනි අමරසිංහ
සභාපති – කතෝලික විභාවනය
Mobile – 0773083479

පිටපත් :-

• කොළඹ අගරදගුරු – අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්

• අධ්‍යක්ෂක ජනරාල් – ශ්‍රී ලංකා විදුලි සංදේශය නියාමන කොමිෂන් සභාව

• පොලිස්පතිවරයා – ශ්‍රී ලංකා පොලිසිය

• ජනාධිපති ලේකම් – ජනාධිපති ලේකම් කාර්යාලය

• ලේකම් – සෞඛ්‍ය අමාත්‍යාංශය

• සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වෙත

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/10/31/%e0%b6%86%e0%b6%9c%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1%e0%b7%80%e0%b6%bd-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92-%e0%b7%81%e0%b6%b6%e0%b7%8a%e0%b6%af-%e0%b6%91/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *