පීසීආර් පරීක්ෂණවලට බාධා රැසක්

සෞඛ්‍යය

දිවයිනේ සිදු කෙරෙන පීසීආර් පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීමට බාධා රැසක් වෙතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් පර්ෂදය කියයි.

එය අත්‍යවශ්‍ය කටයුත්තක් බව අවධාරණය කරන පර්ෂදය, ඇතැම් නිලධාරීන්ගේ වගකීම්විරහිත බව හේතුවෙන් අදාල කටයුතු නිසි පරිදි ඉටු නොවන බව පෙන්වා දේ.

එහි සභාපති රවි කුමුදේශ් අදාල බලධාරීන්ට පිටපත් සහිත ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කළ ලිපියක් මගින් මෙම කරුණු පෙන්වා දී ඇත.

අදාල ලිපිය –

මගේ අංකය: AHP/Gen/2020 (12)
දිනය: 2020.11.03

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01

අත්‍යාවශ්‍ය කොරෝනා පරීක්ෂණ රසායනාගාර ආරම්භ නොකිරීම හරහා PCR පරීක්ෂණ අඩාල කිරීම

පහත අවශ්‍යතාවයන් සියල්ල PCR ධාරිතාව වැඩි කිරීම සඳහා අත්‍යාවශ්‍යෙයන්ම සිදු කල යුතු බව අප විශ්වාස කරන අතර විවිධ තරාතිරම් වල නිළධාරීන්ගේ වගකීම් විරහිත භාවය හේතුවෙන් එම රසායනාගාර කටයුතු තවදුරටත් ප්‍රමාදව පැවතීම ශ්‍රී ලංකාවේ කෝවිඩ් මර්ධන වැඩසටහනට තීරණාත්මක බලපෑමක් සිදු කර ඇත. එනයින් මේ පිළිබඳ තවදුරටත් ප්‍රමාද නොවෙමින් ක්‍රියාකිරීම සඳහා ඔබගේ සෘජු මැදිහත්වීම හා අධීක්ෂණය ලබා දෙන ලෙසත් අවශ්‍ය පහසුකම් තහවුරු කරන ඕනෑම අවස්ථාවක අප වෘත්තිකයන්ගේ කැපවීම සහ සහයෝගය කිසිඳු බාධාවකින් තොරව ඊට ලබා දීමට උනන්දුවෙන් හා උද්යෝගයෙන් යුතුව බලා සිටින බවත් සිහිපත් කරමි.

1. අපට වාර්තා වන පරිදි, කළුතර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා සහ කෑගල්ල මහ රෝහලෙහි ක්ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍යවරයා විසින් එම ආයතන තුල PCR පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබා ගැනීමට විශාල වෙහෙසක් දරන ලද නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිළධාරීන් ඊට ප්‍රතිචාර නොදැක්වීම එම රෝහල්හි කෝවිඩ්19 PCR පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට බාධාවක් වූ බව පෙන්වා දෙමු. මේ වන විට අදාල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ද අනුයුක්ත කර පූර්ව සූදානමක සිටින එම රෝහල් දෙක සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

2. කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි PCR පරීක්ෂණ රසායනගාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ද යොදවා, රසායනාගරයේ ගොඩනැංවීම්ද අවසන් කර ඇත. මීට අමතරව කුරුණෑගල පොල් පර්යේෂණ ආයතනය ඔවුන් විසින් ගෙන්වන ලද නවීන වර්ගයේ PCR යන්ත්‍රයක් අදාල රසායනාගාරයට පවරා දීමක්ද සිදු කරන ලදී. කෙසේ නමුත් මාස දෙකකට ආසන්න කාලයක් එම යන්ත්‍රයෙන් කිසිඳු සේවාවක් ලබා නොගත් අතර යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට අදාල ක්‍රමාංකන (Calibration) ප්‍රතික්‍රීයක ඇතුළු මූලික රසායනාගාර තත්ත්ව සම්පූර්ණ කර ගැනීමට එහි ක්ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍යවරියගේ කිසිඳු උනන්දුවක් නොතිබීම හේතුවෙන් යන්ත්‍රය නැවත පොල් පරියේෂණ ආයතනය වෙත යොමු කර ඇත. මේ පිළිබඳව කඩිවම් අවධානය යොමු කරමින් අදාල යන්ත්‍රය නැවත කුරුණෑගල ශික්ෂණ රෝහල තුල ස්ථාපිත කර පරීක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සඳහා අදාල විශේෂඥ වෛද්‍යවරියට හෝ එය සිදු කිරීමට උනන්දුව දක්වන වෙනත් නිළධාරියෙකුට වගකීම පවරන ලෙස ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු.

3. ශ්‍රී ලංකා ජාතික රෝහල තුල කෝවිඩ් පරීක්ෂණ රසායනාගාර සඳහා ස්ථාන දෙකක් සූදානම් කර තිබියදී, මාස ගණනාවක් තිස්සේ එම රසායනාගාරය ස්ථාපිත කිරීම සපු පසට අදින ලද විශේෂඥ වෛද්‍යවරියටම එම කාර්යය පවරා රසායනාගාරය ස්ථාපිත කිරීමේ කටයුතු අඩපණ කිරීමත්, ගේට්වේ ජාත්‍යන්තර පාසල විසින් ලබා දෙන ලද නවීන PCR යන්ත්‍රය සන්නාම රුචිකත්වයක් හේතුවෙන් හරවා යැවීමත් පිළිබඳව විශේෂ විමර්ශනයක් පවත්වන ලෙසත් එම කාර්යය කඩිනමින් සිදු කිරීමට උනන්දුවක් දක්වන නිළධාරියෙකු වෙත එම වගකීම් පවරා ජාතික රෝහලේ බහුවිධ පරීක්ෂණ ක්‍රම සහිත කොවිඩ් පරීක්ෂණ රසායනාගාරයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.

කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුල දිස්ත්‍රික්කයකට එක බැගින් කෝවිඩ් පරීක්ෂණ රසායනාගාර ස්ථාපිත විය යුතු බවත් කොළඹට තදාසන්නව රසායනාගාර සියල්ල පවත්වා ගැනීමෙන් අනවශ්‍ය අර්බුධයකට මුහුණ දීමට සිදු වන බවත් අප වෘත්තීයවේදී ආයතනය අප්‍රේල් මාසය තුලදී ලබා දී ඇති වාර්තාවෙහි ඉතා පැහැදිලිව සඳහන් කර ඇත. එහිදී ශ්‍රී ලංකා ජාතික රෝහල කුරුණෑගල ශික්ෂණ රෝහල කළුතර මහ රෝහල කෑගල්ල මහ රෝහල පිළිබඳව විශේෂ අවධානයක් යොමු කල යුතු බව දිගින් දිගටම පෙන්වා දෙන ලදී.

නමුත් අප විසින් සිදු කරන ලද එම යෝජනා සැළකිල්ලට ගැනීමක් හෝ අවම වශයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව නොදීම තුල මේ වන විට උක්ත රෝහල් තුලත් අදාල දිස්ත්‍රික්කය තුලත් PCR පරීක්ෂණ සිදු කිරීමේ අර්බුධකාරී වාතාවරණයක් ගොඩනැඟෙමින් තිබෙන බවද ඉතා ඕනෑ කමින් අවධාරනය කර සිටිමු.

ස්තුතියි!

මෙයට, විශ්වාසී

රවී කුමුදේශ් – සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය

පිටපත්:
1. ගරු අග්‍රාමාත්‍යතුමා
2. ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය
3. ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශය
4. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා
5. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා)
6. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – ශ්‍රී ලංකා ජාතික රෝහල
7. අධ්‍යක්ෂ – කළුතර මහ රෝහල
8. අධ්‍යක්ෂ – කෑගල්ල මහ රෝහල
9. අධ්‍යක්ෂ – කුරුණෑගල මහ රෝහල

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/11/04/%e0%b6%b4%e0%b7%93%e0%b7%83%e0%b7%93%e0%b6%86%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%b6%e0%b7%8f%e0%b6%b0%e0%b7%8f/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *