ක්‍රිස් නෝනිස් තේ මුදල් වංචාවක?

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය තුළ මහත් කම්පනයක් ඇති කරමින් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා සහ ඔහුගේ නීතිඥ සහෝදරිය වන ශේලෙන්ද්‍රා නෝනිස් රණවීර මහත්මිය APL Tea (Pvt ) Ltd නමින් අරම්භ කරන ලද ඔවුන්ගේ පුද්ගලික සමාගම මගින් Agalawatte Plantations PLC (APL) ලැයිස්තුගත සමාගමේ කොටස්කරුවන්ට හොර රහසේ රුපියල් බිලියන 1.134 (ඇමරිකානු ඩොලර් මිලියන 7.7) සොරා ගෙන ඇතැයි වතු සේවකයන් චෝදනා නගා ඇති බව වාර්තා වේ.

මෙසේ සොරාගෙන ඇත්තේ අහිංසක වතු කම්කරුවන්ගේ රුපියල් මිලියන 300 වන EPF / ETF (සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ) වංචාකාරී ලෙස නොගෙවා කොටස්කරුවන් හා Mackwoods සමුහයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය නොමගයැවීමෙනි.

APL Tea (Pvt )Ltdහි සමඅයිතිකරුවන් වන නෝනිස් - රණවීර (සහෝදර සහෝදරි යුවල ) විසින් ඉතාම සූක්ෂම සහ සැලසුම්සහගතව කර ඇති මෙම වංචාව, මීට ප්‍රථම ඇමෙරිකාවේ ‘එන්රෝන්’ සමාගමේ සිදුවූ මහා වංචාවට නොදෙවෙනි වේ. මෙම අති විශාල මුදල් වංචාව (රු. බිලියන 1.134) වසර සියයකට අධික තේ ඉතිහාසයේ වූ විශාලතම වංචාව බව​ වතු සේවකයන්ගේ අදහසයි.

පසුගිය මාසයේ නීතිමය පියවර ආරම්හ කරන තාක් ක්‍රිස් - ශලෙන්ද්‍රා යුවල විසින් ඉතාම කූට ලෙස සියලු සේවකයන්ගේ හා කොටස්කරුවන්ගේ ඇස්වලට වැලිගසමින් APL Tea (Pvt ) Ltd හි සැබෑ අයිතිකරුවන් තමන් බව වසන් කර එය අගලවත්ත වැවිලි සමාගමේ හවුල් සමාගමක් ලෙස හුවාදක්වමින් කම්කරුවන් හා අධ්‍යක්‍ෂ මණ්ඩලය නොමගයැවීමට කටයුතු කර ඇත. තවද මෙම කූට යුවල විසින් APL යන සන්නාමය ද සොරාගත් බව පැහැදිලි බව වතු සේවකයෝ පවසති.

දැනට අගලවත්ත වැවිලි සමාගමෙහි, ජ්‍යෙෂ්ඨ සේවකයන්ට අනුව ක්‍රිස් - ශලෙන්ද්‍රා යුවල විසින් 2005 සිට 2015 වසර දක්වා අගලවත්ත වැවිලි සමාගම සතු රු. බිලියන 1.134 ක මුදලක් අලෙවි සහ ප්‍රවර්ධන වියදම් ලෙස හුවාදක්වමින් APL Tea (Pvt ) Ltd විසින් ඩැහැගෙන ඇත බව වතු සේවකයෝ පවසති. එනමුත් ඊට අදාලව අගලවත්ත වැවිලි සමාගමේ ආදායම ඉහල ගොස් නැත. තවද APL Tea (Pvt ) Ltd මගින් අගලවත්ත වැවිලි සමාගමට ලැබිය යුතු මුදලින් ඉහත සඳහන් සේවාව සඳහා අයකල මුදල අඩුකර ඇත.

අගලවත්ත වැවිලි සමගමේ වාර්ෂික වාර්තා කණපිට හරවමින් APL Tea (Pvt )Ltd හි සැබෑ හිමිකරුවන් පිළිබඳ සඳහන් නොකර වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා සහ ශලෙන්ද්‍රා මහත්මිය රු. බිලියන 1.134ක් අන්තර්ජාතික අලෙවිකරණ හා ප්‍රවර්ධන වියදම් මුවාවෙන් එක්සත් රාජධානිය වෙත යවා ඇත. බ්‍රිතාන්‍ය පුරවැසියන් වන වෛද්‍ය ක්‍රිස් සහ ඔහුගේ නැගණිය ශලෙන්ද්‍රා විසින් එක්සත් රාජධානිය තුළ මෙසේ සොරාගත් මුදල් ආයෝජනය කර බ්‍රිතාන්‍ය පවුම් මිලියන ගණනක් වත්කම් ඇති සමාගම් ගණනාවක් ස්ථාපිත කර ඇත.

මෑතකදී හෙලිවූ තවත් වංචාවක් වන්නේ එක රැයින් වෙනස්වූ Taprospa Resorts (Pvt) Ltd. හි අයිතියයි. මුල දී මෙහි අයිතිය හිමිවී ඇත්තේ අගලවත්ත වැවිලි සමාගමටය. නමුත් වෛද්‍ය නෝනිස් අගලවත්ත වැවිලි සමාගමට අයත් කොටස්වලින් 60% ක් සම්පුර්ණයෙන්ම තමාට අයත් පුද්ගලික සමාගමක්වූ Taprospa Holdings (Pvt) Ltd වෙත මාරුකර ඇත. Taprospa යනු අගලවත්ත වැවිලි සමාගමෙහි සත්කාරක සේවා ශාඛාවයි. අගලවත්ත වැවිලි සමාගමට අයත් රු. බිලියන ගණනක වත්කම ඇති බේරුවල පිහිටි Taprospa Foot Print හෝටලය සඳහා අයෝජනය කර ඇති බව​ වතු සේවකයො පවසති. මෙයින් පැහැදිලි වන්නේ Mackwoods සමුහය බංකොලොත් කර එහි ඇති වත්කම් තමන් විසින් සොරාගත් මුදල් යොදා තමන් සතුකර ගැනීමට වෛද්‍ය නෝනිස් සහ ශලෙන්ද්‍රා දිගුකල් සිට සැලසුම්කර ඇති බවයි.

2015 නොවැම්බර් මසදී වතු සේවකයන් විසින්, බොරැල්ලේ පිහිටි Mackwoods ආයතනය ඉදිරිපිට තමන්හට නොගෙවූ රු. මිලියන 300ක ආසන්න ව්‍යාස්ථාපිත ගෙවීම් (EPF හා ETF) ඉල්ලා දැවැන්ත උත්ගොෂණයක් ගෙන ගියහ. රජයේ උසස් නිලයක් වන, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර ලැබුනු පසු නෝනිස් විසින් කල යුතුව තිබු නිවැරදි ක්‍රියාමාර්ගය විය යුතුව තිබුනේ Mackwoods සමුහයේ සභාපතිධුරයෙන් ඉවත්වීමය. එනමුත් ඔහු එසේ නොකිරීමෙන්, දැන් පැහැදිලි වන්නේ මහ කොමසාරිස් නිළකාලය තුලදී සභාපතිධුරයේ රැඳීසිට Mackwoods සමුහයේ කටයුතුවලට සම්බන්ධවී ඒවා පාලනයකර වංචනික ක්‍රියා හොර රහසේ කරගෙන ගිය බව වතු සේවකයො පවසති.

ඉතාමත් කණගාටුදායක කරුණ වන්නේ වෛද්‍ය ක්‍රිස් නෝනිස්, බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුගේ බ්‍රිටිෂ් ඒෂියන් ට්‍රස්ට් හි භාරකරුවෙකු ලෙසද කටයුතු කිරීමයි. පැහැදිලිව පෙනීයන ප්‍රධාන කරුණ වන්නේ නෝනිස් විසින්මෙයට ලබාදෙන දායක මුදල් ශ්‍රී ලංකාවේ අහිංසක දුප්පත් වතුකම්කරුවන් ලේ දහඩිය බිමට හලා දහසක් බලාපොරොත්තු මැද උපයාගත් මුදල් වීමයි.

- ගවේෂණ

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න