බෞද්ධයන්ගේ හෙට දවස?

මෙම සටහන තබන මා සැබෑ බෞද්ධයෙක් ලෙස ප්‍රකාශ කරන්නේ මහත් අභිමානයෙනි.මා ආජීවක අෂ්ඨමක ශීලයෙන් ධර්මිවබෝධයෙන් කටයුතු කරන නිවන් මග අවබෝධය පිණිස කටයුතු කරන නිසාම යථෝක්ත අභිමාොනය මා සතු ය. එම අභිමානය ඕනෑම ආගමක ඉපදුන සුනීත,සෝපාක වැන්නන්ට පමණක් නොව වත්මන් අමෙරිකානු ජනපති බැරක් ඔබාමා මහතාට වුව ද බුදු දහමෙන් පෝෂණය වුවහොත් විඳිය හැකි විශ්ව නියාමයකි. එවන් වූ මා හැගි දහමක් සුරතේ හොවා ඉපදුන අප කෙතරම් භාග්‍යවන්තයන් ද. ?එහෙත් බුදු දහමේ සඳහන් පරිදි ම සෑම දෙයක් ම විනාශ වන දහම පරිදි ලොව පැරණි ම අප ජාතියත් ආගමත් වේගයෙන් විනාශ මුඛයට ගමන් කරමින් සිටී.

මෙයට වග කිව යුත්තේ කවුද ?? මුස්ලිම්වරු ද ?? විජාතිකයින් ද??? මේ පැනයට පිළිතුරු සෙවීමට පෙර පහත කරුණු පිළිබඳ අවධානය යොමු කළ යුතු ය.

01. තම ආගම මසකට වරක්වත් සිහි නොකරන ජාතිය කුමක්ද? (මුස්ලිම්වරු සහ ක්‍රිස්තු භක්තිකයින් සතියකට වරක් පල්ලි යන බව අප දනිමු)

02. තමන්ගේම එක් කුස උපන් සහෝදරයන් සමග වැඩියෙන්ම ඉඩම් නඩු කියන ජාතිය කුමක් ද ? (බොහෝ ජාතීන් තමන්ගේ උන්ට එසේ නොකරන බව අප දනිමු)

03. බොහෝ ජාතීන් තමන්ගේ එකෙක්ට නැගිටින්නට තමන්ගේ ම සැරයටිය ලබා දුන්නත් එසේ නොකර වැටුන එකා පාගා දමන ජාතිය කුමක්ද?

04. දේශපාලන වශයෙන් පිල් බෙදී මිනී මරා ගන්නා ජාතිය කුමක්ද ?

05. තම ආගමේ මූලික හරය වන පන්සිල්වත් නොදන්නා, දැනගත්තත් පිළි නොපදින ජාතිය කුමක්ද?

පන්සිල් ගැන කෙටි විග්‍රහයක් පහත පරිදි වේ.

පානාතිපාතා -- මෙය රැකීම කෙසේද යත් මහ පොළොවේ බිම් අඟලට,තමන්ට හිමි නැති ධනයට,බලයට මිනී මරන්නට පසු බට නොවන ජාතිය කුමක්ද ?

අදින්නාදානා-- ගුවන් යානයේ සිට පන්සලේ පඩිය ළග සෙරෙප්පු දෙක දක්වා සොරකම් කරන ජාතිය කුමක්ද ?

කාමේසු මිච්ඡාචාරා -- ගූගල් සෙවුම් යන්ත්‍රයේ වැඩියෙන් ම ලිංගිකත්වය සෙවූ රටේ මහ ජාතිය කුමක්ද?

මුසාවාදා -- බලය උදෙසා ජනතාව රවටමින් බොරු කියනා දේශපාලකයින් කුමන ජාතිකයින් ද? (මහ එවුන් එසේ වනවිට කුඩා උන් ගැන කවර කථා ද?)

සුරාමේරය -- මත්පැන් පානය අතින් ලොව 4 වැනි ස්ථානයේ සිටින රටේ මහ ජාතිය කුමක් ද? ( මළගෙදර,මගුල් ගෙදර පමණක් නොව පිරිත් ගෙදර,දානෙ ගෙදරට ද මත්පැන් අත්‍යයවශ්‍ය ලෙස සලකන ජාතිය)

තමන්ගේම ආගම විවේචනය කරමින් අදහන මිනිසුන් සිටින ජාතිය මෙන් ම උසාවියකට ගොස් වංචා නඩුවල චූදිතයන්ගේ නම් අසා සිටින විට වැඩියෙන් ම ඇසෙන්නේ සිංහල නම් වීම කෙතරම් අභාග්‍යයක් ද?.

එමෙන් ම යමෙක් වෛර කරයි නම්,පලිගැනීම් සිදු කරයි නම්,ද්වේෂය පතුරයි නම් ඔහු බෞද්ධයෙක් ද?

ඉහත කරණු පිළිබඳ සලකා බලන විට බෞද්ධයන් නමට පමණක් සීමා වී ඇති බව පෙනී යයි.ඔබ ඔබේ හිතට එකඟ ව පන්සිල් රකින, පන්සල් යන, වෛර නොකරන, ද්වේෂ නොකරන සැබෑ බෞද්ධයෙක් වන්න. එවිට සතරවරම් දෙවි ආශීර්වාදය ඇති මේ මහ පොළොවෙන් කිසිවකුටත් බුදු දහමවත් සිංහල ජාතියවත් අතු ගා දැමිය නොහැකි වනවා මෙන් ම ලොව අනෙක් රටවල් ද සුපින්වත් සුපිරිසිදු මිනිසුන් වෙසෙන මේ කුඩා දිවයින ආදර්ශයට ගනු ඇත. එසේ නොමැති ව තමන්ගේ වරද සාදා ගන්නේ නැතුව වෙනත් ජාතීන් හෝ විජාතික බලවේගයන්ට කෙතරම් අභියෝග කළත් පලක් නැතුවා මෙ න්ම එයින් සිදුවන්නේ විනාශය ඉක්මන් වීම පමණි.එය හරියට සුක්කානම නැති කාරයකින් රේස් යනවා වැනි ය. 

 

කමල් ජේ අහංගම විතානගේ

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න