යුද අපරාධ චෝදනාව සහ ලාංකීය හෙට දවස

තිස් වසරකට  ආසන්න යුද්ධය නිමා වී ශ්‍රී ලාංකිකයින් එහි නිදහස බුක්ති විඳීමටත් පෙර, ශ්‍රී ලංකා රජය හා ආරක්ෂක හමුදා යුද්ධයේ අවසන් සමයේ  මානව හිමිකම් හා මානුෂික නීති උල්ලංඝනය කළ බවට  විවිධ ජාත්‍යන්තර පාර්ශ්ව චෝදනා එල්ල කළේ ය. එහෙත් පක්ෂ-විපක්ෂ දේශපාලකයෝ සිය දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ජාතන්තර වශයෙන් ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කළ එම චෝදනා දඩමීමෙකු කරගත්තා හැර එම චෝදනා පිළිබඳ ශ්‍රී ලංකාවේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීම හෝ එම චෝදනා අභියෝගයට ලක් කළ පිළිගත් සක්‍රිය ක්‍රියාමාර්ග වෙත එළඹීමට අපොහොසත් වූ හ,එම අභියෝගයන්ට ප්‍රතිඅභියෝග කළ හැකි ශක්තිමත්  යාන්ත්‍රණයක් ගොඩනැගීමට අපොහොසත් වූ හ.

විදුලි පුටු, මරණ දඬුවම, ජාත්‍යන්තර යුධ අධිකරණය දේශපාලන පොර පිටියේ වැඩි වාසි ලබන තුරුම්පු බවට පත්විය. රටක් ලෙස ශ්‍රී ලාංකික ජනතාව හමුවේ ඇති සැබෑ අභියෝගයත්, ඒ ජයගතහැකි ක්‍රමවේද පිළිබඳත් සැලකිය යුතු අවධානයක් යොමු නොවිණි. මේ ලිපියේ මූලික අරමුණ වනුයේ, ජාත්‍යන්තර අපරාධ අධිකරණයත්, යුධ අපරාධ සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙත් පිළිබඳත් යම් අවබෝධයක් ජනතාවට ලබාදීම හා ශ්‍රී ලාංකිකයින් ලෙස අවබෝධයෙන් යුතු ව තිස් වසරක යුද්ධය නිම කිරීමට උරදුන් සමස්ත ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදා,දේශපාලන හා පරිපාලන නායකත්වයන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරමින් සහෝදර ජනතාවකට ම්ලේච්ඡ ලෙස සැලකූ රටක් ලෙසට වන චෝදනාවේ අපකීර්තියෙන් ශ්‍රී ලංකාව ගලවාගැනීමට ඇති හැකියාව විමසා බැලීමත් ය.

 ජාත්‍යන්තර අපරාධ අධිකරණය (යුධ අපරාධ අධිකරණය)

ලොව පුරා පැවති විවිධ යුධ ගැටුම්වල දී විවිධ රටවල හා පාර්ශ්වයන්ගේ (1948 ජිනීවා සම්මුතිය මගින් ස්ථාපිත) ජාත්‍යන්තර මානුෂීය නීතිය ඇතුළු ජාත්‍යන්තර නීති රීති උල්ලංඝණ හා නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන්  අදාල පාර්ශ්වයන්ගේ වගවීම හා වරදකාරීභාවය පිළිබඳ කටයුතු කිරීම පිණිස නිත්‍ය ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය එහි මූලාරම්භයේ සිට ම  යොමු ව තිබිණ. එහි ප්‍රතිඑලයක් ලෙස 1998 දී රෝම ප්‍රඥප්තිය මගින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය  පිහිටවනු ලැබී ය. (රෝම ප්‍රඥප්තිය-1998)

රෝම ප්‍රඥප්තිය සඳහා අත්සන් තැබූ රටවල ජාත්‍යන්තර නීතිය ඇතුළු ජාත්‍යන්තර නීති බලාත්මක කිරීමේ හා ක්‍රියාවට නැංවීමේ විශේෂ කාර්යයභාරයක් එම අධිකරණයට පැවරිණි. ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් වන මූලික පරීක්ෂණ ඇතුළු දඬුවම් නියම  කිරීම දක්වා වූ පුළුල් පරාසයක විහිදී ඇති බලය සහිත මෙම අධිකරණය නෙදර්ලන්තයේ  හේග් නුවර පිහිටුවා ඇත.

මෙම අධිකරණය වර්ගසංහර(Genocide), මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හා යුධ අපරාධ වැනි ජාත්‍යන්තර වශයෙන් දැඩි ලෙස හෙළාදකිනු ලබන අපරාධ සම්බන්ධයෙන් මෙන් ම රටවල් අතර සිදුවන ප්‍රචණ්ඩකාරී ප්‍රකෝප කිරීම් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියත්මක කරයි. එසේ ම පොදුවේ  රටකට හෝ කණ්ඩායමකට එරෙහි එමගින් නීතිය ක්‍රියාත්මක නොකරන අතර එවැනි අපරාධ හා සම්බන්ධ සැකකරුවන් එම අපරාධය හා සබැඳි පුද්ගලික වරදකාරීභාව සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක වනු ලබයි.

සිය සාමාජික නොවන රටක පුද්ගලයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ නීතිමය ප්‍රතිපාදන එම අධිකරණයට නොවේ. එවන් රටක සිදු වූ යුද අපරාධ  සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කළ යෝජනාවක් මගින් කෙරෙන  ඉල්ලීමකට අනුව හෝ   සාමාජික නොවන රටක් ස්වකැමැත්තෙන් දේශීය නීති පද්ධතිය තුල මෙම අධිකරණයේ නීතිමය වලංගුභාවය පිළිගහොත් පමණි .

ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තිය සඳහා අත්සන් තබා නොමැත. ඒ අනුව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හුදෙක් සිය අභිමතය පරිදි ශ්‍රී ලංකාව  පිළිබඳ නීතිමය කටයුතු කිරීමේ බලයක් නොපවතී. එහෙත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (UN Security Council)  විසින් සම්මත කරනු ලබන යෝජනාවක් මගින් කෙරෙන  ඉල්ලීමකට අනුව පමණක් එවැනි නීතිමය ක්‍රියා මාර්ග ගැනීමේ බලය පවතී.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය යම් රටක දේශීය අධිකරණ ක්‍රියාදාමයට ප්‍රථමයෙන් මූලිකත්වය ලබා දේ. එහෙත් යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය සඳහා යම් දේශයක් හෝ දේශීය අධිකරණයක්  දක්වන නොකැමැත්ත  හා දේශීය  අධිකරණයට  එම ක්‍රියාදාමයේ නියැලීමට ඇති නොහැකියාව (නීතිමය ප්‍රතිපාදන/අධිකරණ පද්ධති)යන කරුණු මූලික ව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සිය බලය භාවිත කරමින් එවැනි රටක භූමි ප්‍රදේශය තුළ සිදු වූ අපරාධයක් සම්බන්ධයෙන් වන වරදකරුවන්ට එරෙහි  නීතිමය කටයුතු කිරීමේ  හැකියාව පවතී.

යම් සාමාජික රටක් හෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරනු ලබන යෝජනාවක් මගින් පරීක්ෂණයක් සඳහා යොමුකළ රටක්  යම් වරදක් සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමේ දේශීය ක්‍රියාදාමයක් ආරම්භ කර ඇති අවස්ථාවක ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එම රටට එරෙහි පරීක්ෂණ පැවැත්වීමට හෝ නීතිමය ක්‍රියාදාම ආරම්භ කිරීමට  බලතල නොවේ. එහෙත් එම රාජ්‍යය යුක්තිය පසිඳලීම හිතාමතා අනවශ්‍ය ලෙස ප්‍රමාද කිරීමට හෝ වරදකරුවන් වසන් කිරීමට උත්සාහ දරන්නේනම් ඊට  මැදිහත්වීමේ අයිතිය එම අධිකරණය වෙත පවතියි.

ආරම්භයේ දී ශ්‍රී ලංකාව සියලු යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණ සම්බන්ධයෙන්  වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ ද ඉකුත් රජය පසුකාලීන ව ජාත්‍යන්තරය විසින් ශ්‍රී ලංකාව තුළ සිදුවූයේයැයි  සිදු කළ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමේ දේශීය ක්‍රියාදාම කිහිපයක් ම ක්‍රියාත්මක කර ඇත. එහි මූලික පියවර ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් බැං-කි-මුන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවට ප්‍රතිචාර ලෙස  උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම පත් කළ අතර ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහි පැමිණිලි  රාශියක්  සාක්ෂි සහිත ව විවිධ පාර්ශ්ව විසින් මෙම කොමිසම වෙත ප්‍රසිද්ධියේ ම ඉදිරිපත් කරනු ලැබී ය.

ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම වෙත ලත් යුද අපරාධ පැමිණිලි හා චැනල් 04 වැනි ජාත්‍යන්තර මාධ්‍ය හා ප්‍රජාව විසින් කළ  යුද අපරාධ  චෝදනා   පිළිබඳ විභාග කිරීම පිණිස අතුරුදහන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම හා ශ්‍රී ලංකා යුද හමුදා පරීක්ෂණ අධිකරණය පත්කරන ලදී.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ කිසිදු යුද අපරාධයක් සිදු නොවීයැයි  රජය හා ආරක්ෂක හමුදා, චෝදනා එල්ල වූ මුල් අවස්ථාවේ සිට ම කළ  ප්‍රකාශයේ වලංගුභාවය අභියෝගයට ලක්විය.

කෙසේවෙතත් අතුරුදහන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම හා ශ්‍රී ලංකා යුද හමුදා පරීක්ෂණ අධිකරණය යන දේශීය ක්‍රියාදාම යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරති. එහෙයින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරනු ලබන යෝජනාවක් මගින් කෙරෙන  ඉල්ලීමකට අනුව වුව ද ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ශ්‍රී ලංකාවට එරෙහි නීතිමය කටයුතු එක්වර ම ආරම්භ කිරීමේ හැකියාවක් නොමැත.

යම් හෙයකින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරනු ලබන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් මගින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත අදාල පරීක්ෂණයක් සඳහා නීතිමය බලය පැවරෙන්නේනම් රෝම ප්‍රඥප්තියේ 27 වැනි පරිච්ඡේදය අනුව යමෙකුගේ නිලය,බලය හෝ තරාතිරම මෙම අධිකරණයේ නීතිමය බලය  මග හැරීමට හෝ එමගින්  නිදහස් වීමට හේතු නොවේ. චෝදනා ලත් තැනැත්තා  රටක  රාජ්‍ය නායකයා, අමාත්‍යවරයෙකු හෝ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වුව ද ඔවුනට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය මෙම අධිකරණය සතු ය.

එසේ ම ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ශ්‍රී ලංකාවේ  සේනාධිනායකයාට එරෙහි නීතිමය කටයුතු ආරම්භ කිරීමට අවශ්‍යනම් ඔහු රටේ ඉහළ ම තනතුර වන ජනධිපතිධුරය දැරීම හෝ නොදැරීම ද ඊට කිසි ලෙසකින් බල නොපායි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය කිසිලෙසකත් මරණ දඬුවම ක්‍රියාත්මක නොකරයි. රෝම ප්‍රඥප්තියේ 77 වැනි පරිච්ඡේදය අනුව ජාත්‍යන්තර අපරාධ අධිකරණය සාමාන්‍යයෙන්  ලබා දෙන උපරිම දඬුවම වසර 30 ක සිර දඬුවමක් හා දඩ මුදලක් පමණි. සීමිත අවස්ථාවන් හි පමණක් එනම් විශේෂ  හා ඉතා  දරුණු අපරාධ සඳහා පමණක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමේ හැකියාව එය සතු වේ.

 

යුද අපරාධ පරීක්ෂණ ක්‍රමවේදය

පිළිගත් සම්ප්‍රදාය අනුව යම් රටක යම් යුද අපරාධයක් සම්බන්ධයෙන්,ඒ රටෙහි අදාල ආරක්ෂක හමුදා හා දේශපාලන බල අධිකාරියේ වරදකාරීභාවය  වගවීම් හා වගකීම් පිළිබඳ  ක්‍රමවේද 02 ක් ඔස්සේ සලකා බැලේ. එනම්  තනිපුද්ගල අපරාධ වගකීම (individual criminal responsibility) හා විධානයේ  වගකීම (command responsibility) යි.

යම් යුද අපරාධයක් සාමූහික ව  සිදු ව තිබුණ ද  එම අපරාධයට සම්බන්ධ පුද්ගලයින් ඒ සඳහා දක්වන පුද්ගලික වගකීම සලකා බලනු ලබන අතර අපරාධය සඳහා ලබා දී ඇති  සෘජු  දායකත්වය හා එහි තීව්‍රතාව අනුව ඊට අදාල  පුද්ගලයින් වරදකරුවන් ලෙස නම් කෙරේ.

එසේම සමූලඝාතන,වර්ගසංහර වැනි ප්‍රතිපත්තිමය තීන්දු හෝ යම් විධානයක් ක්‍රියාත්මක කිරීමට අණ කිරීම  මගින් හිතාමතා හෝ අනියම් වශයෙන් යුද අපරාධ සිදු වේ. එවැනි අවස්ථාවන්හි දී එම විධානය දෙනු ලබන පුද්ගලයාගේ විධානයේ  වගකීම එම අපරාධ සම්බන්ධයෙන්  සිදුකර ඇති  සෘජු දායකත්වය, බලපෑම හා  එහි තීව්‍රතාව යන කරුණු රාශියක් එම අණදෙන්නාගේ වරදකාරීභාවය සම්බන්ධයෙන් සලකා (බලනු ලබයි.) බැලීමට හේතු වේ.

මීට අමතර යම් අණදෙන්නෙකු හෝ යම් විධානයේ වගකීම් දරන වගකිවයුතු බලධරයෙකුගේ අණ යටතේ පවතින යම් හමුදාවක් හෝ  යම් පාර්ශ්වයක් විසින් යම් යුද අපරාධයක් සිදු කළේයැයි  චෝදනාවක් නැගී ඇති අවස්ථාවක් වේ යැයි සිතන්න. එසේනම්, ඒ පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකිරීම පැහැරහැරීම හෝ අපරාධකරුවන් වසන්කිරීමට තැත්කිරීම එම තැනැත්තා එකී අපරාධයට අනුබලදුන්නෙකු ලෙස විධානයේ වගකීම් යටතේ වරදකරුවෙකු කිරීමේ හැකියාවක් මෙකී ක්‍රමවේදය සතු ය.

 

ජාත්‍යන්තර මානුෂීය නීතිය හා ජාත්‍යන්තරය

යුද්ධය ආරම්භයේ දීම රජය විසින් සිය ක්‍රියාන්විතය මානුෂීය මෙහෙයුමක් ලෙස නම් කිරීම තුළින් ම රජයේ අරමුණ පිළිබඳ ප්‍රබල සාක්ෂියක් සැපයේ. එනම් මෙම  හමුදා මෙහෙයුමේ  මූලික අරමුණ එය LTTEය විසින් සිය ග්‍රහණයේ රඳවාගෙන සිටින සාමාන්‍ය ජනතාව හා දේපල ඔවුන්ගෙන් මුදාගැනීම මූලික කරගනිමින් සිදුකෙරෙන ක්‍රියාන්විතයක් බවයි.

මෙලෙස ශ්‍රී ලංකා රජය යුද්ධය ආරම්භයේ දීම  ශුන්‍ය හානි(Zero Casualties) , මානුෂීය මෙහෙයුම් (Humanitarian Operation)  වැනි සිය ප්‍රතිපත්තීන් ප්‍රකාශයට පත්කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් හේතුවෙන් සේනාධිනායකයා ඇතුළු දේශපාලන බල අධිකාරියට හා ජාතික මට්ටමේ  අණ දෙන නිලයන්ට යුද අපරාධ සම්බන්ධයෙන් වන විධානයේ වගකීම අවම වේ. එහෙත් එම අපරාධ සම්බන්ධයෙන් වන පුද්ගල අපරාධ  වගකීම හා විධානයේ  වගකීම චෝදනා කරනු ලබන  සිද්ධීන්ට  සෘජු  දායකත්වය සැපයූ සෙබළුන් හා ඔවුන් අයත් ප්‍රාදේශීය හා ඒකක අණදෙන නිලධාරීන් වෙත පැවරේ.

 

එහෙත් යමෙකු වගකිවයුතු බලධාරියා ලෙස එවැනි අපරාධ සිදුවීම්වලට සෘජු සම්බන්ධයක්,දායකත්වයක් හෝ අණදීමක් සිදු නොකළ ද එවැනි අපරාධ  වැළකීමට අපොහොසත් වීම ද ඔහුට එරෙහි නීතිමය වශයෙන් කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් වේ. එසේම යම් සිදුවීමක් සිය අනුදැනුමෙන් තොර ව හුදෙකලා ලෙස සිදුවුවත් එකී බලධාරියා එවැනි සිදුවීමක් වාර්තා වී තිබියදීත් ඒ පිළිබඳ නිසි  පරීක්ෂණයක් පවත්වා කටයුතු නොකිරීම ද ජාත්‍යන්තර නීතිය හමුවේ විධානයේ වගවීම සඳහා ප්‍රමාණවත් වේ.

හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව පිළිබඳ යුද අපරාධ චෝදනා හා මානවහිමිකම්,මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයකට ම එළඹිණි. උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම (LLRC), අතුරුදහන් වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම (යුද අපරාධ හා ජාත්‍යන්තර මානුෂීය නීතිය හා මානව හිමිකම් උල්ලංඝණය සම්බන්ධයෙන් ද  පරීක්ෂණ සඳහා බලය පවරා ඇත.), උදුලාගම කොමිසම හා යුද හමුදා පරීක්ෂණ අධිකරණය ඒ අතරින් කීපයකි. ඒ අනුව එම පියවර මගින් විධානයේ වගවීම හා වගකීම් ඔප්පු කිරීමට අවශ්‍ය වන පියවරයන් තාක්ෂණික ලෙස ක්‍රියාත්මක කර තිබේ. එහෙයින් ඔහු ඇතුළු ඉහළ නිලධාරීන් විධානයේ වගකීමෙන් ඇති බැඳීම තවදුරටත් ලිහිල් වනු  ඇත.

එහෙයින් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර පරීක්ෂණයන්ගෙන්,ඉහළ දේශපාලන, පරිපාලන හා හමුදා නායකත්ව චෝදනාවලින් හා විධානයේ  වගකීමෙන් නිදහස්වීමේ ක්‍රමවේදයන් කිහිපයක් වන අතර . ජාත්‍යන්තරය විසින් චෝදනා කරනු ලබන අපරාධ සම්බන්ධයෙන් වන පුද්ගල අපරාධ  වගකීම හා විධානයේ වගකීම එම සිද්දීන් හුදකලා සිද්ධීන් ලෙස සලකා  ඒ සම්න්බන්දයෙන්  සෘජු දායකත්වය ලබාදුන්නේයැයි සැලකෙන  සෙබළුන් හා ඔවුන් අයත් ඒකක හෝ අදාල අණදෙන නිලධාරීන් පිළිබඳ ශ්‍රී ලංකාව තුළ දැනට පවත්නා නීති හෝ යුධ හමුදා නීතිය යටතේ  පරීක්ෂණ පවත්වා ඔවුන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමෙන්  හෝ   යමෙකු වරදකරුවෙකු ලෙස ඔප්පු වුවහොත් ශ්‍රී ලංකා දණ්ඩ නීතිය ප්‍රකාර ව දඬුවම් කිරීම මගින්  ශ්‍රී ලංකාවේ වගවීම ඔප්පු කිරීම සිදුකල හැක. හිටපු ජනාධිපතිවරයා පත්කළ යුධ හමුදා පරීක්ෂණ අධිකරණය මෙම ක්‍රමවේදයේ දිගුවක් ලෙස සැලකිය හැක.

මෙහි දී මතුකළ යුතු තවත් කරුණක් ඇත. ජාත්‍යන්තර පාර්ශ්ව වෙතින් නැගෙන එක් චෝදනාවක් වූයේ යුද අපරාධ සම්බන්ධයෙන් විශේෂයෙන් විධානයේ වගකීම් (දේශපාලන නායකත්වය, සේනාධිනායකයා දක්වා) පිළිබඳ කටයුතු කිරීමට දැනට ශ්‍රී ලංකාවේ බල පවත්නා නීතිය තුළ වන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන හෙයින් දේශීය පරික්ෂණ තුළින් යුක්තිය ඉටු නොවන බවයි. කෙසේවෙතත් ජාතන්තර ව පිළිගත් යාන්ත්‍රණයක් සඳහා ජාත්‍යන්තර මානුෂීය නීතිය ඇතුළු යුද අපරාධවලට අදාල ව මෙරට නීතියේ දැනට පවතින  ප්‍රතිපාදන තවදුරටත්  සකස් කළ යුතු ව ඇත. එවන් අවස්ථාවක ශ්‍රී ලංකාව විසින් සැලකිය යුතුවන්නේ යුද අපරාධ සම්බන්ධයෙන් වන ක්‍රමවේද හා නීති සම්පාදනයේ දී ජාත්‍යන්තර ප්‍රජාව විසින් සැලකිල්ලට ගනු ලැබූ යුද අපරාධ සම්බන්ධ අධිකරණ තීන්දු,තීරණ හා විවිධ රටවල යොදාගත් යාන්ත්‍රණ හා  ක්‍රමවේද පිළිබඳ සැලකිල්ලට ගනිමින්, ඒවා පිළිබඳ  පුළුල් අධ්‍යයනයක් ඔස්සේ ශ්‍රී ලංකාවට හිතකර පරිදි ජාත්‍යන්තරය හසුරුවා ගතහැකි වගවීමේ ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් දේශීය ආකෘතියකට අනුව සකසා යෝජනා කිරීමයි.  

යුද අධිකරණ හා විවිධ යුද අපරාධ සම්බන්ධයෙන් වූ යාන්ත්‍රණ පිළිබඳ විමසන කල,1993-1995 බොස්නියා ගැටුම සම්බන්ධයෙන් වන පැරණි යුගොස්ලෝවිය සඳහා වූ ජාත්‍යන්තර විනිශ්චය සභාව ඇතුළු විවිධ රටවල යුද අපරාධ සම්බන්ධයෙන් වූ එවන් විනිශ්චය සභා හා කොමිසම් ද ඇතුළු ව ජාත්‍යන්තර යුද අධිකරණය විසින් එළඹි තීරණ හා යොදා ගත් ක්‍රමවේදයන් ද, විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ සත්‍යය හා සංහිඳියාව පිළිබඳ කොමිසම, එහි මානවහිමිකම් කඩකිරීම් පිළිබඳ කමිටුව, පුනුරුත්ථාපනය හා වන්දි ගෙවීමේ කමිටුව හා ක්ෂමා කමිටුව  යන ප්‍රධාන කමිටු තුනක්, විමර්ශන කණ්ඩායමක් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැඩසටහනක්  හරහා සංහිඳියාව ගොඩනැගීමේ ලා ක්‍රියාත්මක කළ ක්‍රමවේද අධ්‍යයනය තුළින් ද ශ්‍රී ලංකාවට දේශීය යාන්ත්‍රණයක් සඳහා උගත හැකි පාඩම් බොහෝ ය.

ජාත්‍යන්තර ප්‍රජාවගෙන් තාක්ෂණික සහාය ලැබ එමගින් දේශීය පරීක්ෂණයක් සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගැනීම මේ වනවිට එළඹිය හැකි ඉතා ඤාණාන්විත තීරණයක් සේ ම උපක්‍රමයක් ද වනු ඇත.  ඉතා සරල ව කිවහොත් යමෙකු රියැදුරු බලපත්‍රයක් ලබාගත් පසු රිය ධාවනය සඳහා අවශ්‍ය නීතිමය අවසරය හා රිය ධාවනය සඳහා සුදුසුකම් ලැබූවෙකු ලෙස පිලිගැනේ. බලපත් ලබාගැනීමෙන් පසු රිය ධාවනය කිරීමේ නෛතික අවසරය මෙන් ම,ස්වාධීන තීරණ ඔස්සේ රිය ධාවනය කළ යුතු දිසාව ද බලපත්ලාභියා තීරණය කරයි. රියැදුරු උපදේශකයා අවශ්‍යවනුයේ පිළිගත් බලපත්‍රයක් ලබාගන්නා තෙක් පමණි. ශ්‍රී ලංකාව ද කළ යුත්තේ දේශීය පරික්ෂණයක් සඳහා ජාත්‍යන්තර සහතිකය ලබාගැනීමයි. යුද අපරාධ පරීක්ෂණ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ව පිළිගත් නියම හා තාක්ෂණික දැනුම ජාත්‍යන්තර ආයතන වෙතින් ලබාගෙන ඒ අනුව දේශීය පරීක්ෂණ ක්‍රියදාම ගොඩනැගීමයි.

 

වර්තමාන තත්ත්වය

කිසිදු යුද අපරාධයක් සිදු නොවූ බවත්, ආරක්ෂක හමුදාවන්ට එරෙහි කිසිදු පරීක්ෂණයක් සිදු නොකරන බවටත් දේශීය මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් ඉදිරිපත් වුව ද,2014 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය  හමුවේ එවක රජයේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සිදු කළේ මෙවන් ප්‍රකාශයකි. බ්‍රිතාන්‍යයේ චැනල් 04 නාලිකාවේ කැලම් මැක්රේ නිර්මාණය කළ නෝ ෆයර් සෝන් වාර්තා චිත්‍රපටයේ  අන්තර්ගත  එල්ටීටීඊ සංවිධානයේ මාධ්‍ය ඒකකයේ කර්නල්වරියක ලෙස හැඳින් වූ  ඉසයිපරියා ඇතුළු යුද සිරකරුවන්ගේ බහිර්නීතික ඝාතන(extra judiciary killings)  ඇතුළු සිද්ධි සම්බන්ධයෙන් වන සාක්ෂිකරුවන් හඳුනාගැනීම ශ්‍රී ලංකා යුද හමුදා පරීක්ෂණ අධිකරණය මගින් ආරම්භ කර ඇති බවයි.

බ්‍රිතාන්‍ය චැනල් 04 නාලිකාවේ කැලම් මැක්රේ විසින් නිර්මාණය කළ නෝ ෆයර් සෝන් වාර්තා චිත්‍රපටය ශ්‍රී ලංකාවට එරෙහි නැගූ අසත්‍ය චෝදනා හා ශ්‍රී ලංකා හමුදා අපකීර්තියට පත් කිරීමට නිර්මාණය කරන ලද දර්ශන බවට එවක පැවති රජය චෝදනා කළ ද, එවන් කිසිදු යුද අපරාධයක් සිදු නොවූ බවට කළ එම ප්‍රකාශයන්ට ඉඳුරා පටහැනි වූ ජී.එල්.පීරිස් අමාත්‍යවරයාගේ ප්‍රකාශයත්, නෝ ෆයර් සෝන් වාර්තා චිත්‍රපටයේ අඩංගු බහිර්නීතික ඝාතන (extra judiciary killings) සම්බන්ධයෙන් සේනාධිනායකයාගේ නියමයෙන් ශ්‍රී ලංකා යුද හමුදා පරීක්ෂණ අධිකරණය පත් කිරීමත් මගින් මේ සිද්ධි රජය විසින් අනියම් ආකාරයකින් පිළිගත්බවක් හැඟවී ය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත 2011 වසරේ දී ඉදිරිපත් කළ වාර්තාව හෙවත් දරුස්මාන් වාර්තාව මගින් ශ්‍රී ලංකා හමුදාවට හා රජයට එරෙහි චෝදනා පහක් ද, LTTE සංවිධානයට එරෙහි චෝදනා හයක්  ද ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා නම්,

(1) බහුල  ෂෙල් ප්‍රහාර මගින් සාමන්‍ය වැසියන් මරා දැමීම

(2) රෝහල් ඇතුළු මානුෂීය ඉලක්ක වෙත ෂෙල් ප්‍රහාර එල්ලකිරීම

(3) විපතට පත්වූවන්ට මානුෂීය සහනාධාර ලබාදීම නොසලකා හැරීම

(4) යුද්ධයෙන් විපතට පත්වූවන්,දිවිගලවාගත් අය,අවතැන්වූවන් හා LTTE සැකකරුවන්ගේ මානවහිමිකම් කඩවීම්

 (5) ගැටුම් පැවති ප්‍රදේශයන්ගෙන් බැහැර ප්‍රදේශයන් හි ,ජනමාධ්‍ය හා රජය විවේචනය කළ අය සම්බන්ධයෙන්  සිදු වූ මානව හිම්කම් කඩවීම් වේ.

2010 වසර වනවිටත් ශ්‍රී ලංකා බලධාරීන් අපේක්ෂා නොකළ අන්දමට, මෙම චෝදනා ඔප්පු කිරීමට අවශ්‍ය ප්‍රබල සාක්ෂි ජාත්‍යන්තරය විසින් විවිධ මාර්ග ඔස්සේ ඉතා පහසුවෙන් ශ්‍රී ලංකාව තුළින් ම රැස්කරගන්නා ලදී. මෙරට බලධාරීන් මවිත කළහැකි තරමේ සාක්ෂි හා සංවේදී තොරතුරු තමන් සතු වග වරක් එක් සංවිධානයක් කියා සිටියේ ය. ඇතැම් සංවිධාන හා කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාවට එරෙහි ඉතා  ප්‍රබල සාක්ෂි සිය වාර්තාවල හා ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය මගින් මුදාහළ මුත් ඒ පිළිබඳ නිසි අවධානයක් හෝ අවබෝධයක් ලබාගැනීමට හෝ ඒ සම්බන්ධ නිසි පියවර කරා එළඹීමට බලධාරීන් යොමු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර බලමුළුව තව තවත් ශක්තිමත් විය. ඇතැම් වගකිවයුතු  බලධාරීන් සිය දේශපාලන අරමුණු හා පැවැත්ම සඳහා අවශ්‍ය වූ ජාත්‍යන්තර බලපෑම් අපේක්ෂාවෙන් හිතා මතා ම ඉතා සංවේදී තොරතුරු සූක්ෂ්ම ලෙස  විවිධ  සංවිධාන අතට පත්වීමට ඉඩ හැර ජනතාව මුළා කරමින් ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා බලපෑම් පරාජය සඳහා ජනතා සහාය ඉල්ලූ හ. කණගාටුදායක කරුණ නම් ඒ දේශපාලන උපක්‍රමයේ හා සූක්ෂ්ම ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවන්නේ දේශපාලන හෝ පරිපාලන නායකත්වයට නොව සැබැවින්ම යුදබිමේ සටන්වදිමින් තුන්ලක්ෂයකට අධික සහෝදර ජනතාවක් ම්ලේච්ඡ ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගැනීමට කටයුතු කළ සෙබළුන් ඇතුළු හමුදා නායකත්වයට වීමයි. (මේ ලිපියේ සඳහන්  විධානයේ වගකීම සම්බන්ධයෙන් වන කරුණු බලන්න. )

ඉකුත් 2014 වසරේ දී  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවලිය (A/HRC/25/L.1/Rev.1) සෘජුව ම යුද්ධය හා සම්බන්ධ මානව හිමිකම් කඩවීම් හා ජාත්‍යන්තර නීති උල්ලංඝණය පිළිබඳ යෝජනාවලියකට වඩා,යුද්ධයෙන් පසු සමනය වන ජන ජීවිතවලට බලපෑ මානව හිමිකම් කඩවීම,නීතියේ ආධිපත්‍යය බිඳවැටීම, අධිකරණයේ ස්වාධීනත්වය එල්ල වී ඇති බලපෑම්   හා සම්බන්ධ වන කරුණු හා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගතයුතු ඉදිරි පියවර වන යෝජනාවලියක් විය. ඒ අතර උතුරු පළාතේ යටිතල පහසුකම්  සංවර්ධනය හා සාර්ථක පළාත් සභා  ඡන්දයක් පැවැත්වීම සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියාමාර්ග ඇගයීමකට ලක්කිරීම ද විශේෂ වේ. එසේම එවක  ජගත් මානවහිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය වූ  නවනීදන්පිල්ලෛ 2013 වසරේ  අගෝස්තු මස ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී මානව හිමිකම් කඩවීම්වලට ලක් වීයැයි පැවසෙන පිරිස් වෙත විවෘත  ප්‍රවේශ ලබාදෙමින්  ශ්‍රී ලංකා රජය දැක් වූ  සහාය එම යෝජනාවලිය මගින්  අගය කර සිටී.

එසේම LLRC මගින් යෝජනා කර ඇති ප්‍රතිසංධානය සඳහා වූ පියවර කඩිනම් කිරීම, ජාත්‍යන්තර මානවහිමිකම් නීතිය, ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝණය, මාධ්‍යවේදීන්, මානවහිමිකම් ක්‍රියාකාරීන්, අන්‍යාගමික සාමාජිකයන්, සිවිල් පුරවැසියන් හා  ආගමික සිද්ධස්ථාන වෙත  එල්ල වූ ප්‍රහාර පිළිබඳ නිසි පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට දඬුවම් කිරීම හා මහකොමසාරිස්වරියගේ වාර්තාව මගින් කරන ලද යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට යෝජනා කර තිබිණි.

A/HRC/25/L.1/Rev.1 දරන යෝජනාවලිය  ප්‍රකාශයට පත් කරනවිටත් යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම, උදුලාගම කොමිසම, අතුරුදහන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම, යුද හමුදා පරීක්ෂණ අධිකරණය ඇතුළු දේශීය පරීක්ෂණ කිහිපයක්ම නිමකර හා  සිදුවෙමින් පැවතිය ද  යුද අපරාධ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා  සෘජු සම්බන්ධයක් දැක්වූ එහි 10 වැනි යෝජනාවෙන් කියා සිටින්නේ ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ප්‍රතිඵලදායී හා විශ්වාසදායී ජාතික ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩ ව අපොහොසත් වන හෙයින් ඒ පිළිබඳ කටයුතු කිරීමට ජාත්‍යන්තර විමර්ශන යාන්ත්‍රණයක් ගොඩනැගිය යුතු බවයි. ඒ අනුව නීතියේ ආධිපත්‍යය ඇති කිරීමටත්,ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය සුරක්ෂිත කිරීමටත්,උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම (LLRC) විසින් සැලකිල්ලට ගනු ලැබූ කාල පරිච්ඡේදය ම සැලකිල්ලට ගනිමින් යුද්ධයට සම්බන්ධ දෙපාර්ශ්වය වෙතින් ම  සිදු වී යැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා යෝජනා කර තිබිණි.

ඒ අතරම 5 වැනි යෝජනාව ලෙස ශ්‍රී ලංකා රජයට  ඉදිරිපත් කර තිබුණේ වැලිවේරිය රතුපස්වල සිදු වූ යුද හමුදා වෙඩිතැබීමේ සිද්ධිය ඇතුළුව ආරක්ෂක අංශ විසින් සිදුකළේයැයි කියන නීති උල්ලංඝණය   සම්බන්ධයෙන් වන පරීක්ෂණවල ප්‍රතිඵල මහජනයාගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කරන ලෙසයි.

එහෙත්  ශ්‍රී ලංකාවේ බහුතරය අදටත් දැනුවත් ව සිටින්නේ හා  විශ්වාස කරන්නේ මෙම යෝජනාවලිය  හුදෙක් ත්‍රස්තවාදය අවසන් කිරීමට උරදුන් දේශපාලන නායකත්වය ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙනයාම සඳහා ගෙන ආ යෝජනාවක් පමණක් බවයි.

කෙසේවෙතත් එම යෝජනාව අනුව කරන ලද  පරීක්ෂණයේ වාර්තාව,එනම් එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ පරීක්ෂණ වාර්තාව හෙවත් OISL වාර්තාව  පසුගිය මාර්තු මාසයේ දී එළිදැක්වීමට නියමිත ව තිබිණ. පසුගිය ජනාධිපතිවරණය සමග පත් වූ නව රජයට ශ්‍රී ලංකාවට එරෙහි මානවහිමිකම් ඇතුළු ජාත්‍යන්තර  නීති කඩවීම් සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳ කටයුතු කිරීමට නව ප්‍රවේශයකට ඉඩ ප්‍රස්ථාව සලසමින්  එය ලබන (2015) සැප්තැම්බරය දක්වා කල් දමනු ලැබිණි.  ශ්‍රී ලාංකිකයන් ලෙස මෙම වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් අප එකඟ වුව ද නොවූව ද, එය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහි බලවේගයක් ගොඩනැගීමට එක්සත් ජාතීන්ගේ සාමජික රටවල් පෙළඹවීම සඳහා අවශ්‍ය උත්ප්‍රේරණය සපයන වාර්තාවක් වන බවට කිසිදු සැකයක් නැත. එසේ තිබිය දී මෙවැනි අවස්ථාවක් හිමිවීම  ශ්‍රී ලංකාවට සිය වගවීමේ ක්‍රියා පිළිවෙත ඔප්පු කරමින් ගිලිහී ගිය ජාත්‍යන්තර විශ්වාසය නැවත ලබාගැනීමට ලද අවසාන අවස්ථාව වන බව නිසැක ය.

දේශීය වශයෙන් දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් හා නිසි ක්‍රියාමාර්ග නොගැනීමෙන් ඇතිවූ ජාත්‍යන්තර බලපෑම් ඇතැම් දේශපාලකයින් ආශිර්වාදයක් ලෙස සැලකුව ද එම යාන්ත්‍රණය තවදුරටත් ක්‍රියාත්මක වූයේනම්  සිදුවන්නේ කොටියා එනවා යැයි කියමින් නිකරුණේ කෑ ගසමින් ගම බය කළ ගමරාලට සිදු වූ දෙයට සමාන දෙයකි.

කිසිදු සාධනීය කරුණු දැක්වීමකින් තොර ව කිසිවක් ම නොවුණේ යැයි කීමත්,..ඔව් අපි කළා.., ඇයි මොකදැ?යි අසමින් මුරණ්ඩු අන්දමින් කටයුතු කිරීමත් අතර ආරක්ෂක හමුදා, දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන්, රටේ කීර්තිනාමය රැකගනිමින් ශ්‍රී ලංකාවේ වගවීම ඔප්පු කළ හැකි ක්‍රියාදාම රැසක් තවමත් ඉතිරි ව ඇත. විය යුත්තේ අදාල බලධාරීන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන චෝදනාවන් හි තීව්‍රතාව පිළිබඳ නිසි අවබෝධයක් ලබාගනිමින් ජාත්‍යන්තරය සමග ද ගනුදෙනු කරමින් තවදුරටත් ඔවුන් යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පසුපස හඹා ඒමේ ප්‍රතිපත්තිය වෙනස්වන අන්දමේ ශක්තිමත් දේශීය යාන්ත්‍රණයක් ගොඩ නැගීමයි.

මේ වනවිට ශ්‍රී ලංකාව ඉතා තීරණාත්මක අවදියකට පැමිණ සිටී. 25 වැනි මානව හිමිකම් සැසියේ A/HRC/25/L.1/Rev.1 යෝජනාවේ බොහෝ කරුණු තවදුරටත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වලංගු වන්නේ ද?, යන්න විමසීමට බහුතර සාමාජික රටවල් සැරසෙන බවක් හා ඔවුන් ශ්‍රී ලංකාවේ මානව හිම්කම් වර්ධනය සම්බන්ධයෙන් යම් තෘප්තිමත්භාවයකින් මෙන් ම එය තවදුරටත් වර්ධනය වේයැයි යන ධනාත්මක ප්‍රවේශයකින් යුතුව කටයුතු කරන අන්දමක් ද පෙනෙන්නට තිබේ. මෙය ශ්‍රී ලංකාව අපකිර්තියට පත්කළ යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් චෝදනා සම්බන්ධයෙන් කටයුතු කිරීමට මෙන් ම,ජාත්‍යන්තරයේ ද  පිළිගැනීමට ලක්වන දේශීය යාන්ත්‍රණයක් නිර්මාණය පිණිස ඉතා හිතකර පරිසරයක් ගොඩ නගා දෙයි.

යුද්ධයක් හා මානව හිමිකම් සම්බන්ධයෙන් ගැටළු පැවති රටක නව රජයක් පත්වීම හෝ  නව නායකත්වයක්  පත්වීමත්  සමග නිර්මාණය වන ප්‍රථම  කාල පරිච්ඡේදය සමාජ,ආර්ථික වෙනස්කම් සිදුවන සංක්‍රාන්ති සමයක් ලෙස බොහෝ රටවල් හඳුන්වනු ලැබේ. මානව හිමිකම්,ජාත්‍යන්තර මානුෂීය නීතිය ඇතුළු ජාත්‍යන්තර නීති උල්ලංඝණය පිළිබඳ වන පරීක්ෂණ හෝ වගවීමේ යාන්ත්‍රණ ගොඩනැගීම සඳහා වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නා සේ ම නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කිරීම සඳහා දේශීය යාන්ත්‍රණයක් සඳහා  ප්‍රමුඛත්වය හා සහයෝගය දැක්වීමේ වැඩි ප්‍රවණතාවක් ද පවතී.

මේ සියල්ලට ම වැඩි තීරණාත්මක සාධක වනුයේ ශ්‍රී ලාංකේය විදේශ ප්‍රතිපත්තියත්,එය ක්‍රියාත්මක කරන විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපක්‍රමශීලීත්වය හා කැපවීමත් ය. ඉකුත් මාස කිහිපය තුළ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමත්‍යාංශය ජාත්‍යන්තරය දිනාගැනීම පිණිස සැලකිය යුතු වැඩ කොටසක් සිදු කර ඇති බව ඇතැම් LTTE හිතවාදී විදේශගත දෙමළ ශ්‍රී ලාංකිකයන්ගේ හා ඇතැම් බෙදුම්වාදී දෙමළ දේශපාලඥයින්ගේ මෙන්ම විදේශ කටයුතු සම්බන්දයෙන් කටයුතු කල ඇතම් පරිනත දේශපාලකයන්ගේ  ප්‍රකාශ හා හැසිරීම් තුළින් පෙනී යයි. වසර ගණනාවකට පසු ශ්‍රී ලංකා විදේශ සේවය ජාත්‍යන්තරයට නාස් ලණුව දමා ගැන්මට සමත් වී සිටී. ජාත්‍යන්තරය තවදුරටත් තමන්ට අවශ්‍ය ආකාරයෙන් ශ්‍රී ලංකාව පසුපස හඹා යැවිය නොහැකි බවත් ඒ හරහා සැලසුම් කළ දඩයම් ද වැරදී ගිය බවත් LTTE හිතවාදී පාර්ශ්ව අවබෝධ කරගෙන තිබේ.  දේශීය යාන්ත්‍රණක්  ප්‍රතික්ෂේප කරමින් ඔවුන් දැන් සිටම කෑ මොර දෙන්නේ ඒ නිසාවෙනි.

ජාත්‍යන්තර වශයෙන් වන  බලපෑම් හා චෝදනාවලින් ශ්‍රී ලංකාව නිදහස් වන්නේ කෙසේද? මෙහිදී සිතා බැලිය යුතු කරුණු රාශියකි. ඒ අනුව  ශ්‍රී ලංකා රජයට එළඹිය හැකි ප්‍රධාන  ක්‍රියාමාර්ග තුනක් ඇත.  

1) චෝදනා පිළිබඳ පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයකට එකගවීම

2.) ජාත්‍යන්තර වශයෙන් පිළිගත් දේශීය පරීක්ෂණක්  සිදුකිරීම

3.)   එසේ නොමැතිනම් කිසිදු යුද අපරාධක් සිදුනොවුන බවට පවසා අදාල චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂ්ප කර කිසිදු ආකාරයේ පරීක්ෂණයක් සඳහා එකඟනොවීමයි.

ශ්‍රී ලංකාව ලෝකයේ සියලු රටවලින් හෝ තෝරාගත් රටවලින් වෙන් වී හුදෙකලා වීමට තීරණය කර, කිසිදු පියවරක් නොගෙන සිටීමේ ප්‍රතිඵලය වනුයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී ගෙන එනු ලබන යෝජනාවක් මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පරීක්ෂණ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැවරීම හා ආර්ථික සම්බාධක ඇතුළු විවිධ සම්බාධක පැනවීමයි.

එවැනි අවස්ථාවක දී යම් හෙයකින් යුද අපරාධ චෝදනාවන්ට ලක් වී සිටින දේශපාලකයෙකු හෝ හමුදා නිලධාරියෙකු ශ්‍රී ලංකාවෙන් බැහැර වෙනත් රටකට ගමන් කළහොත් ජාතන්තර අපරාධ අධිකරණය හෝ එම රටේ වෙසෙන යම් චෝදනා කරනු ලබන යුද අපරාධයක් හේතුවෙන් අගතියට පත්වූවෙකු හෝ වින්දිතයෙකු විසින් කරන ඉල්ලීමකට අනුව එරට අධිකරණය විසින් නිකුත් කරන වරෙන්තුවක් මගින් ඔහු අත්අඩංගුවට ගත හැකි වේ.

මෙහි දී ජාත්‍යන්තර අපරාධ අධිකරණය යටතේ දේශපාලකයන් හෝ කවර තනතුරක් දරන්නෙකුටවත්  රාජතාන්ත්‍රික මුක්තියක් හිමි නොවුව ද එවැනි අවස්ථාවක දී බොහෝවිට  දේශපාලකයන් සම්බන්ධයෙන්  යම් රටක අධිකරණ ක්‍රියාමාර්ගරාජ්‍යතාන්ත්‍රික මුක්තිය යොදා ගනිමින් වළකාගත හැකි ය. එහෙත් එවැනි රාජතාන්ත්‍රික මුක්තියක් අදාල රාජකාරියක දී හැරෙන්නට හමුදා නිලධාරීන්ට හිමි නොවේ.

මේ අනුව  විධානයේ වගකීම් යටතේත්, ජාත්‍යන්තරය විසින් ගොනු කර ඇති චෝදනා හා සාක්ෂි මතත්, ඇතැමෙක් තමන්ගේ දේශපාලන අනාගතයේ පැවැත්ම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර බලපෑම් අපේක්ෂවෙනුත්, ඇතමෙක්  වාණිජමය ලාභ අපේක්ෂාවෙනුත්  ජාත්‍යන්තරයට ඉතා සංවිධානාත්මක ලෙස  සැපයූ හා  ලබාගැනීමට සැලැස් වූ යම් යම් සංවේදී තොරතුරු හේතුවෙන් ද මේ වනවිට  වැඩි අවධානමකට ලක් වී ඇත්තේ ආරක්ෂක අංශ  නිලධාරීන් බව ශ්‍රී ලංකාවට එරෙහි පලවන වාර්තා මගින් මොනවට පැහැදිලි වේ.   

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ගෙන එනු ලබන යෝජනාවක් පරාජය කිරීම තුළින් ශ්‍රී ලංකාව හා සම්බන්ධ යුද අපරාධ  පරික්ෂණය වළකාගත හැකි බවට යමෙක් සිතිය හැකි ය. එය තිරසර විසඳුමක් නොවන්නේ වසර ගණනාවකට පසු වුව ද නැවත එවැනි යෝජනාවක් ආරක්ෂක මණ්ඩලයට ගෙන ආ හැකි නිසාවෙනි. ශ්‍රී ලංකාවට එරෙහි ඇතැම් ඇසට ඇසක්ම සේ ම මස් රාත්තල ම  ඉල්ලන ජාතිවාදී බලවේග ජාත්‍යන්තර වශයෙන් සිය මතය සඳහා  අත්පත් කරගෙන ඇති ස්ථානයත් , ඔවුන්ගේ සූක්ෂ්ම, උපක්‍රමශීලි  සංවිධානාත්මක ක්‍රියාපිළිවෙතත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර පරීක්ෂණයක් ලබාගැනීමට ඇති ඔවුන්ගේ  ඉලක්කය ලෙහෙසියෙන් අත් හැරීමට සුදානමක් නොවන  නිසාත් නැවත එවැනි යෝජනවක් සඳහා ජාත්‍යන්තර ප්‍රජාව පොළඹවා ගැනීම ඔවුනට ඉතා පහසු කටයුත්තකි.

කිසිදු යුද අපරාධයක් හෝ මානවහිමිකමක් කඩ නොවූවේ යැයි පවසා, හමුදාවට එරෙහි කිසිදු විදේශීය හෝ දේශීය පරීක්ෂණ නොපවත්වන බවට ප්‍රකාශ කළ පසුගිය රජයට පසුකාලීනව  ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කීපයක් ම ආරම්භ කිරීමට සිදුවූයේ ඇයි?

එසේ ම ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීම සඳහා නිර්මාණය කළේ යැයි කියූ “නෝ- ෆයර් -සෝන්”  වාර්තා චිත්‍රපටයේ අඩංගු වූ නිර්මාණය කරන ලද සිද්ධියක් බව කියා දැඩි ව ප්‍රතික්ෂේප කළ , ඉසෙයි ප්‍රියා ඇතුළු යුද සිරකරුවන් ලෙස හැඳින්වූ LTTE සාමාජික පිරිසකගේ බහිර්නීතික ඝාතන පිළිබඳ පසුකාලීන ව  පරීක්ෂණ අධිකරණයක් ඔස්සේ සාක්ෂිකරුවන් හඳුනාගැනීම තරම් දුරකට පරීක්ෂණ පැවැත්වූයේ ඇයි?

එසේනම් ඒ කරුණු දෙකක් හේතුවෙන් විය යුතුයි. එනම්,

1.) ජාත්‍යන්තර බලවේගවලට යටත්වීමක් නොව, හුදෙක් සිය හමුදා මානවහිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝණ කළේයැයි ශ්‍රී ලංකා රජයට පවතින  සාධාරණ සැකයක් මත සත්‍ය වශයෙන් ම මානව හිමිකම් හා ජාත්‍යන්තර නීති ගරු කරන රජයක් ලෙස සිය වගවීමේ ක්‍රියාවලිය ඔප්පු කිරීම සඳහා

2) ජාත්‍යන්තර වශයෙන් නැගුනු චෝදනා හේතුවෙන්,එම චෝදනා විභාග කරන ලෙස කෙරුණු ජාත්‍යන්තර බලපෑම් හේතුවෙන් හා  එම චෝදනා සම්බන්ධයෙන් වගවීමේ ක්‍රියාවලිය ඔප්පු කිරීම සඳහා (ජාත්‍යන්තර පරීක්ෂණයක් වළකාගැනීම සඳහා)

මීළඟට සිතා බැලිය යුතු කරුණ නම් දේශීය වශයෙන් සිදුකළ මෙම  කිසිදු පරීක්ෂණයක් සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් හෝ විශ්වසනීයත්වයක්  නොලැබීමට හේතු කවරේද යන්නයි..

මේ සම්බන්ධයෙන් වන බොහෝ වාර්තා හා එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සලය ඇතුළු විවිධ ජාත්‍යන්තර ආයතනයන්ට හා සංවිධානයන්ට ඉදිරිපත් වූ යෝජනා අනුව පෙනෙන්නේ ශ්‍රී ලංකාව තුළ යුද්ධයෙන් පරිබාහිර ව සිදු වූ මානව හිම්කම් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම, නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම, අධිකරණයේ ස්වාධීනතාව කෙරෙහි විශ්වාසය බිඳවැටීම වැනි කරුණු ය. ඒ  අතර වූ  ප්‍රධාන තර්කය වූයේ ශ්‍රී ලංකාව විසින් සිදුකළේ යැයි කියන යුද අපරාධ හා මානවහිමිකම් සම්බන්ධයෙන් එළඹි ක්‍රියාමාර්ග ජාත්‍යන්තර සම්මුති හා එකඟතා අනුව අවශ්‍ය වන හා අපේක්ෂිත  ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් යුතුව සිදු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් සාධාරණ,අපක්ෂපාතී හා විනිවිදභාවයකින් යුතු විශ්වාසදායී පරීක්ෂණයක් නොවන බවයි. උදාහරණ ලෙස වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේද නොමැතිවීම , රහස්‍යභාවය හා තොරතුරු ආරක්ෂා කිරීමේ නිසි ප්‍රතිපත්තීන් නොමැතිකම, අපක්ෂපාතී,ස්වාධීන,සාධාරණ පරීක්ෂණයක් සඳහා බලපෑම්වලින් තොර ව  අවශ්‍ය ආයතනවලට නිසි බලය පැවරීමක්  සිදු නොකිරීම යන කාරණා සැලකිය හැක.

මින් පැහැදිලි වන එක් කරුණක් නම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් සමන්විත ව්‍යුහයක් සහිත දේශීය යාන්ත්‍රණයක් ගොඩ නගන්නේනම් එය පිළිනොගෙන සිටීමට ජාත්‍යන්තරයට ද හැකියාවක් නැත. ජාත්‍යන්තර ප්‍රමිතිය යනු විදේශිකයන් ලවා එම කාර්යය සිදු කිරීම නොව ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තරය සම්මුති ( උදා: ජිනීවා සම්මුතිය 1948) හා එකඟතා අනුව පිළිගත් ක්‍රමවේද යොදාගනිමින් එම කර්තව්‍යය සිදුකිරීමයි. මෙරට දේශීය යාන්ත්‍රණයට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් ලබාගැනීම හෙවත් අන්තර්ජාතික සහතිකයක් ලබාගැනීම සඳහා යොදාගත හැකි හිතකර මෙන් ම ප්‍රතිඵලදායක ප්‍රවේශය  වනුයේ ජාත්‍යන්තර ව පිළිගත් යාන්ත්‍රණ හා ක්‍රමවේද පිළිබඳ පුළුල් අධ්‍යයනයත්, අදාල පාර්ශ්වවලින් ලබා ගන්නා තාක්ෂණික සහාය හා විශේෂඥ  උපදේශ ලබාගැනීමත් ය.  එමගින් සිදුවන්නේ දේශීය  යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක දේශීය කණ්ඩායම් සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණය ලබාදීමට ජාත්‍යන්තර පාර්ශ්ව සම්පත්දායකයින් ලෙස යොදාගැනීම මගින් ජාත්‍යන්තර පිළිගැනීමක් ඇතිකර ගැනීම විනා ඔවුන් දේශීය යාන්ත්‍රණයේ කොටස්කරුවන් කරගැනීම නොවේ.

මෙවැනි ක්‍රමවේදයක් මගින් ජාත්‍යන්තරය පිළිගත් යාන්ත්‍රණයක් ගොඩනැගීම සඳහා සම්පත් දායකයන් ලෙස ජාත්‍යන්තර පාර්ශ්වයන් යොදාගැනීම  ජාතන්තරයට දේශීය පරීක්ෂණයකට අතපෙවීමට ඉඩහැරීමක්  ලෙස දකීනම් , 2008 සිට මේ දක්වා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් වූ වාර්තාවල අඩංගු කරුණු අනුව පැහැදිලි වන්නේ 2009 මැයි 21  වැනි දා වනවිටත් ජාත්‍යන්තරය  ශ්‍රී ලංකාව තුළට සිය අත පමණක් නොව මුළු සර්වාංගය ම දමාගෙන හමාර බවයි. සැප්තැම්බරයේ නිකුත් වන OISL වාර්තාවත්  එහි කසකරුවෙකු ලෙස ප්‍රකාශයට පත්  යස්මින් සුකාගේ සත්‍යය හා යුක්තිය සඳහා ව්‍යාපෘතියේ වාර්තාත් සමග 100% ක් ම සත්‍ය හා නිවැරදි වාර්තා ලෙස  එකඟ විය හැකි  නොවුව ද ඒවායේ අඩංගු වූ ඇතැම් කරුණු හා අඩංගු වියහැකි කරුණු  ශ්‍රී ලංකාවට නැවත මතක්කර දිය යුතු වන්නේ අශ්වයා පළා ගිය පසු ඉස්තාලය වසා ඇති බැවිනි. දැන් ඉතිරි ව ඇත්තේ නාස් ලණුව දමා අශ්වයා මෙල්ල කරගැනීමයි. ඒ සඳහා තවමත් ප්‍රමාද නැත.

2009 ජනවාරි 29 වැනි දා වොෂින්ටනයට රහස් කේබල පණිවුඩයක් යවන ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති රොබර්ටෝ බ්ලේක් මහතා සඳහන් කරන්නේ “ ශ්‍රී ලංකා හමුදා සිවිල්වැසියන් ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් ඔවුන්ට වන හානිය අවම කරමින් මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන් යහපත් ඉතිහාසයක් ඇති බවයි. (Wikileak 09COLOMBO86) 

යුද අපරාධ සම්බන්ධයෙන් වන විශේෂ අමෙරිකානු තානාපති ජෝන් විලියම්සන් අමෙරිකානු කොන්ග්‍රසයට වාර්තාවක් සැපයීම සඳහා වන කාර්යයේ දී , ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ දකුණු ආසියා කලාපයේ මෙහෙයුම් ප්‍රධානි ජැකී ඩි මෙයෝ සමග ජිනීවා හි දී කළ සාකච්ඡාවක කරුණු ඇතුළත් ව  2009 ජුනි මස 09 වැනි දින යවන  කේබල් පණිවුඩයක ජැකී ඩි මෙයෝ ශ්‍රී ලංකා හමුදා සම්බන්ධයෙන් මෙවැනි සහතිකයක් දෙයි. “ ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය සම්බන්ධයෙන් වන චෝදනාවලට යම්තාක් දුරකට ප්‍රතිචාර දැක්වූවා. ඒ වගේම ඔවුන් සූදානම් වුණා සිදුවන හානිය අවම කරන්න අවශ්‍ය කරන ක්‍රියා මාර්ග ගන්න. ඒ ඔවුන්ගේ ප්‍රධාන හමුදාමය අරමුණ වන  LTTE ය විනාශ කිරීමේ කාර්යයට බාධාවක් නොවන තරම් දුරකට.”

“එසේම කෙනෙකුට කියන්න පුළුවන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ  ජාත්‍යන්තර මානුෂීය නීතිය විශාල ලෙස උල්ලංඝණය කළ බව. නමුත් එය වර්ගසංහාරයක් (Genocide) ලෙස දැක්විය නොහැකියි.”

ඔහු තවදුරටත් උදාහරණ ද සපයමින් කියා ඇත්තේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව විසින් ප්‍රහාර මගින් සිවිල් ජනයා විපතට පත්වන බව දැන් වූ අවස්ථාවල  ශ්‍රී ලංකා හමුදා වහා සිය ප්‍රහාර නතර කළ බවයි.

සිවිල් වැසියන් පිළිබඳ නොසලකා හරිමින්  ඔවුන් විශාල ප්‍රමාණයක් විපතට පත්කරමින් මීටත් බොහෝ කලකට පෙර යුද්ධය  ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා හමුදාවන්ට අවස්ථාව සැලසුණ ද, සිවිල් වැසියන්ගේ ආරක්ෂාව පතා ඉතා සෙමින් එම කාර්යය නිමකිරීමට කටයුතු කිරීම හේතුවෙන් ලංකා හමුදාවට විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි කර ගැනීමට සිදු වූ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් ඔහුගේ අවසාන නිගමනය වී ඇත්තේ  එසේ විශාල හමුදා සාමාජික ජීවිත ප්‍රමණයක් අහිමි වන ක්‍රියාමාර්ගයකට එළඹිය ද, ශ්‍රී ලංකා රජය සිය සිවිල්වැසියන් ආරක්ෂා කිරීමට  බැදී සිටින බව හඳුනාගැනීමට අපොහොසත් වූ බවයි.

ජාත්‍යන්තර යුද නීතිය හෙවත්  ජාත්‍යන්තර මානුෂීය නීතිය ගොඩනැගී ඇති හා ප්‍රහාරයක දී හෝ මෙහෙයුමක දී පිළිපැදිය යුතු ප්‍රධාන මූල ධර්ම 04 කි. ඒවානම්, සමානුපාතික භාවය (pro), ප්‍රභේදනය හෙවත් නිශ්චිත ව  වෙන්කොට හඳුනාගැනීම, යුදමය අවශ්‍යතාව හා අනවශ්‍ය අගතියට පත් නොකිරීමයි. එම මූලධර්ම ගරු කරමින්, ශ්‍රී ලංකා හමුදා සිය මෙහෙයුම් සිදුකළ බවට උක්ත ප්‍රකාශය තුළ ඇති කදිම සාක්ෂියකි, මෙය.

එහෙත්, 2009 වසරේ අවසාන කාර්තුවේ සිට ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකා හමුදා සම්බන්ධයෙන් ගොඩනැගුණු මතය මීට හාත්පසින් ම වෙනස් වූ බව ඉතා පැහැදිලි ය.

විවිධ පුද්ගලයන්ගේ උවමනා එපාකම් වෙනුවෙන්, විශේෂයෙන් විවිධ දමිළ සන්නද්ධ දේශපාලන කණ්ඩායම් විසින්  සිදුකළ අපරාධ පිළිබඳ (ඝාතන, පැහැරගැනීම්, අතුරුදහන්කිරීම්, වධහිංසාකිරීම්, ලිංගික අපචාර) හෙළිවිමේ දී ඒවා යුද අපරාධ චෝදනා ලෙස හුවා දක්වමින්, ඒ සියල්ල ආරක්ෂක අංශවල ගිණුමට බැර වීමට ඉඩහැර,  එම චෝදනා පිළිබඳ සිය පුද්ගලික දේශපාලන අභිප්‍රායයන් මත කටයුතු කිරීම විනා නිසි ක්‍රියාමාර්ග නොගැනීමේ ප්‍රතිඵල  අද දවස වනවිට උදා වී තිබේ. ඒ අනුව සමස්ත ශ්‍රී ලාංකීය ආරක්ෂක අංශ ඇතුළු ව ම්ලේච්ඡ ජාතියක් ලෙස හංවඩු ගැසුණු, මානව අයිතීන් සම්බන්ධයෙන් අපකීර්තියට පත්  රටක පුරවැසියන් ලෙස  සියලු ශ්‍රී ලාංකිකයන්ට එහි අනර්ථකාරී ප්‍රතිඵල භුක්ති විඳීමට සිදු ව ඇත.

ශ්‍රී ලාංකිකයින් දේශපාලන අන්ධභාවයෙන්, දේශප්‍රේමීත්වයට පත් නොවී මව්බිම සම්බන්ධයෙන් වන සැබෑ තර්ජනය  වඩා පුළුල් මනසකින්  යුතු ව අවබෝධ කරගත යුතුය. සැබෑ දේශප්‍රේමීත්වය යනු  සත්‍ය අවබෝධය තුළින් ඒකීය ශ්‍රී ලංකාවකට එරෙහි ජාත්‍යන්තර හා දේශීය බලවේග පරාජය කළ හැකි උපක්‍රමශීලි  ක්‍රමවේදයක් නිර්මාණය කරගැනීමයි.

එය යුද්ධයට මැදි වී අගතියට පත් සැම ජන වර්ගයකටම අයත් ශ්‍රී ලාංකික පුරවැසියන්ට සාධාරණය හා යුක්තිය ඉටුවන, ජාතිය මත පදනම් නොවන, සියලු පුරවැසියන්ගේ මානවහිමිකම් හා අයිතීන් සම්බන්ධයෙන් කටයුතු කළ හැකි , සියලු ජන වර්ග නියෝජනය කරන ජනතාව විපතට පත්කරමින්   ජාත්‍යන්තර මානුෂීය නීතිය හා අනෙකුත් ජාත්‍යන්තර නීති උල්ලංඝණය කළ,  යුද ගැටුමට සම්බන්ධ වූ සෑම පාර්ශ්වයක ම වරදකාරීභාවය සම්බන්ධයෙන් කටයුතුකළ හැකි, අපක්ෂපාතී, විනිවිදභාවයකින් යුතු, සාධාරණ, ස්වාධීන, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා පිළිගත් ක්‍රමවේදයන්ගෙන් යුතු, ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හා තීරණ ගැනීමේ අයිතියට මුල්තැන දෙන දේශීය යාන්ත්‍රණයක් විය යුතු ය.

 

 

කළණු මලලනායක

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න