රැල්ලේ නොඑල්ලුන ගායකයා- ක්‍රිෂාන්ත එරන්දක

කලා නිකේතනය යන විරුදාවලි ලත් රජරටින් බිහි වූ විවිධ කුසලතා පූර්ණ කලාකරුවන් අතර, ජනප්‍රියත්වය සම මට්ටමක පවත්වාගන්නට හැකි වූවන් වේ නම්,ඒ අතළොස්සක් පමණි. ඔවුන් අතරින් ක්‍රිශාන්ත එරන්දක තවත් සුවිශේෂි චරිතයක් වේ. වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙස ඉගිල නොයන බව කියමින් අපේ සිත්සතන් හි වැඩි ඉඩක් වෙන් කරගත් ගත් ඔහු අද වනවිට කලා ක්ෂේත්‍රයේ සිය ස්ථාවරය ගොඩ නගාගෙන අවසන් ය.
නිර්ව්‍යාජ ගැමිකමත්, චාම් සරලබවත්, අත් නොහැරි ක්‍රිශාන්ත නිහතමානී ගායකයෙකු ලෙස අපේ ආදරය දිනා ගනී.

ලක්දන සංවාදයට ක්‍රිශාන්ත එක් වූයේ මෙසේ ය.

 

"මගේ ආදර පවසට ඔබ" කියන ගීතය තමයි මගේ මුලින් ම විද්‍යුත් මාධ්‍යයක ප්‍රචාරය වුණු ගීතය. මා විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය සමඟ ඒ ගීතය ගායනා කළේ එරින් විජේකෝන් මහත්මියගේ පැහැසර කියන ජාතික රූපවාහිනියේ ප්‍රචාරය වූ වැඩසටහනට කරුණාරත්න විජේවර්ධන ප්‍රමුඛ සුභානා කියන සංගීත කණ්ඩායමක් සමඟ.

 

මේ ගීතය පසුව නිතර නිතර රූපවාහිනියේ ප්‍රචාරය වුණා. එතකොට මම උසස් පෙළ කරලා ඇවිද ඇවිද ඉන්න කාලේ... සමන්ත රත්නායක මගේ ගීත අරං ගිහිං ලක්හඬේ නිතර නිතර ප්‍රචාරය කරා. ඒක මට ලොකු අත්දැකීමක් වුණා.

 

ළයාන්විත හඬක් හිමි ක්‍රිශාන්ත එරන්දක නමැති යොවුන් ගායකයා පිළිබඳ රජරැටියන් අතර කතාබහ වෙන්න පටන් ගත් දා සිට ඔහු ලවා ගීත ගායනා කරවාගන්නට කාටත් වුවමනාවක් සහ කැමැත්තක් ඇති වුණා. එ අතරේ ප්‍රවීණ ගීත රචක මහින්ද දිසානායකයන් වී පැදුරෙන් ඉගිළී යන කුරුල්ලෙකු ලෙසින් නමැති ඉතා අලංකාර ගීතය ලියාගෙන ඔහු සොයා එනවා.

 

ඉතින් ක්‍රිශාන්ත කියන්නකෝ ඒ ඇසුර කොහොමද කියලා...

 

  • මහින්ද දිසානායකයන් විසින් මාව සිද්ධාර්ථ හිමියන්ට හඳුන්වා දෙනවා. එහෙම තමයි මම කොළඹට එන්නේ. සිද්ධාර්ථ හාමුදුරුවො තමයි මට කිව්වෙ උඹ සින්දු කියන්න කලින් රස්සාවක් කරපන් කියලා. පස්සේ මාව රස්සාවකට දැම්මා. එතනදි මම ටිකෙන් ටික සල්ලි එකතු කර ගත්තා. මට එහෙදි ජයසිරි ජයවර්ධන කියන මහත්මයා හුඟාක් උදව් කළා. එදා ඒ බැඳීම අද දක්වාම නොකඩවාම පවතිනවා.

 

වී පැදුරෙන් කැසට් පටය කරන්න ඔබ පෙළඹුන විදිය මතක් කරමු ද?

 

  • ඔව් , ඇත්තටම එක් අහඹු සිදුවීමක්. මාලනී මිස්ගෙ ප්‍රසංගයක් තිබුණා ටවර් හෝල් එකේ. ඉතිං ඒකෙදි මාලනී මිස් මට කතා කරලා කිව්වා ක්‍රිශාන්ත අපි "ඩුවට්" එක කියමු කියලා. එහිදී මට ධර්මරත්න මහත්මයා මුණගැහුණා. ඔහුගේ පෙළඹවීමට තමයි මම වී පැදුරෙන් , පංච කළ්‍යාණියේ, මන්දාරම් අඳුර කියන ගීත එකතු කරලා වී පැදුරෙන් කැසට් එක කළේ.

 

නමුත් ක්‍රිශාන්ත එරන්දක නම් වූ තුරුණු හඬ අපි හඳුනාගන්නට පෙරාතුව සිට ඔහු රජරට ගුවන්විදුලියේ ළමා ගායකයෙකු ලෙස රජරට ශ්‍රවණ කලාපය තුළ ජනාදරය දිනා සිටියා. ඔහුගේ ළමා ගී 40 කටත් වැඩි සංඛ්‍යාවක් අදටත් රජරට ගුවන්විදුලිය සතුයි. 79,80 වර්ෂවල රජරට ගුවන්විදුලියේ පැවැත්වූ කටහඬ  පරීක්ෂණයෙන් ළමයින් 300 කින් තේරුණ 27 දෙනා අතරට ඔහු එක්වූයේ බොහෝ දක්ෂතා පෙන්වමින්.

 

සමාජ ආමන්ත්‍රණයක යෙදෙන නිර්මාණකරුවෙකු ලෙස ප්‍රශස්ත නිර්මාණ රැසක් සමාජගත කිරීමේ දී ඔහු සතු දැනුම මෙන් ම අවබෝධය වැදගත්. ඒ නිසාම ක්‍රිශාන්ත එරන්දක කියන මේ නිර්මාණකරුවාගේ සංගීත විෂයය පිළිබඳ දැනුම දැනගැනීමට රසිකයන්ගේ වැඩි කැමැත්තක් ඇති බැවින් ඒ පිළිබඳත් ඔහුගෙන් විමසුවා.

 

  • මම පාසලේ දී සංගීතය පිළිබඳ හැදෑරුවාට පස්සෙ සෝමදාස සූරිආරච්චි, කරුණාරත්න විජේවර්ධන, මාලනී බුලත්සිංහල වැනි ගුරුවරුන් යටතේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරවා.  එදා ඒ ලබාගත් දැනුම මගේ ගමන සාර්ථක කරගන්න ලොකු අත්වැලක් වුණා. අදටත් මම මගේ අඩුපාඩුවක් තිබෙනවා නම් හැකි ඉක්මණින් සකසාගන්න තමයි කැමති.

 

අද මේ ක්ෂේත්‍රයේ අලුත් පරම්පරාව තම නිර්මාණකරණයේ දී ප්‍රකෘති විපර්යාස කරමින් තමයි තම අනන්‍යතාව ගොඩ නගාගන්න පෙළඹෙන්නේ. ඔබ ඒ පිළිබඳ දරන්නේ මොන වගේ අදහසක් ද?

 

  • කොහොමත් කාලයත් එක්ක විවිධ රැළි මතුවෙනවා. මමත් ඔය නව රැල්ලේ ගීත ස්පර්ශ කරලා තියෙනවා. නමුත් මම ඒකේ එල්ලිලා නෑ. මොකද අපි දන්නවා ඒකට පැවැත්මක් නෑ කියලා. එහෙම කියලා ඒක මුළුමනින් ම අසාර්ථකය කියලා නෙමෙයි කියන්නේ. නමුත් රසිකයො මගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒක නෙවෙයි. සුභාවිත සරල ගීතයෙන් තමයි මම ඔවුන් අතරට  යන්නෙ. එම නිසා අදටත් එයාලා මා වටා සිටිනවා. මගේ රසිකයන් හැමදාමත් එදා වගේ ම මගේ නිර්මාණ වැළඳ ගන්නවා. එම නිසා ගීත තෝරාගැනීමේ දී මම පරෙස්සම් වෙනවා. මම හිතන දෙයක් තමයි ගීතයක් ඇසීමේ දී රසිකයාට යමක් දැනෙන්න ඕන. යම් වින්දනයක් ලබන්න පුළුවන් වෙන්න ඕන. මගෙන් සේවයක් උනා කියලා දැනෙන්නෙ එතකොට.

 

ඔබ කාලයක සිට නිහඬ වෙලා වගේ දැනෙනවා. එහෙමනම්,ඒකට හේතුව මොකක්ද?

 

  • මම නිහඬ නෑ,මම හැමදාමත් අලුත් සින්දු කරා. ඊයේ පෙරේදාත් අලුත් සින්දු හතරක් කළා. මගේ රසිකයො ඔය කියන්නේ කාලයකින් මම කැසට් එකක් නොකළ නිසා. නමුත් මම ළඟදිම අලුත් ගීත එකතුවක් කරනවා. ඒ සඳහා ගීත නිර්මාණය කරමින් තමයි ඉන්නෙ.

 

අවසාන වශයෙන් ඔබේ රසිකයින්ට මොනවද ඔබ කියන්නේ?

 

  • මෙහෙමයි,මම හැමදාමත් මගේ රසිකයන්ගේ බලාපොරොත්තු හැකි උපරිමයෙන් ම ඉටු කරන්න වෙහෙසෙන කෙනෙක්. ඉදිරියේදීත් එයාලා වෙනුවෙන් හොඳ නිර්මාණ කිහිපයක් සූදානම් කරලා තියෙනවා. මගේ සාර්ථකත්වය මගේ රසිකයෝ. ඉතිං මම එයාලා වෙනුවෙන් ඉදිරි කාලයත් කැප කරනවා.

 

සංවාද සටහන - පුණ්‍යා ඒකනායක

punyaarampola@gmail.com

 

ක්‍රිශාන්තගේ ජනප්‍රිය ගී කිහිපයක් -

 

  • වී පැදුරෙන් ඉගිලී යන

https://www.youtube.com/watch?v=yEUHuNMhz2A

 

  • මන්දාරම් අඳුර මැදින්

https://www.youtube.com/watch?v=7XDGYwV6egI

 

  • මේ නිහඬ බව බිඳෙන්න

https://www.youtube.com/watch?v=DSnMtmWGLRY

 

  • මගෙ ආදර පවසට ඔබ

https://www.youtube.com/watch?v=e_YoU-aC2Ws

 

වැඩිදුර තොරතුරු යවන්න

පාඨක අදහස්

I am the cheap jordans official site supplier from
China, and I have in jordan shoes business for about 7 years, and now our cheap retro
air jordans 2016 are available online retail or wholesale.
Take the discount or seasonal sale time.
My site is Cheap Air Jordans

ඔබේ අදහස දක්වන්න