හෙට අනිද්දා ඉරණම

ඉදිරි මැතිවරණයෙන් ජය  හිමි වේයැයි නිදහස් සන්ධාන ආණ්ඩුව අපේක්ෂා කරයි. ජය හිමි වුව ද අවශ්‍ය පසුගියපළාත් සභා මැතිවරණයෙන් ලබා ගත් ප්‍රතිඵලය හෝ ලබාගැනීමට ය.     

ගම්පහ නගර සභා පිටියේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු ප්‍රචාරක රැළියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කළ ආණ්ඩුවට එරෙහි මානව හිමිකම් චෝදනා එල්ල කරන අධිරාජ්‍යවාදීන්ට යටත්වීමට තමන් සූදානම් නැති බවය. රටට විරුද්ධ සතුරන්ට නියම පිළිතුරු දිය හැක්කේ ජනතාවට බවද ඔහු එහි දී අවධාරණය කළේ ය. ඉන්  අදහස් වන්නේ ඉදිරියේ පැවැත්වෙන බස්නාහිර - දකුණ ඡන්දයේ දී නිදහස් සන්ධානයට කතිරයගසා ජනතාව ආණ්ඩුව සමග ඉන්නා බව අධිරාජ්‍යවාදීන්ට ඔප්පු කළ හැකි බවය. බුලත් කොළයට වැටෙන ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට ආණ්ඩුව සතු  හොඳ ම තුරුම්පුව යුද ජයග්‍රහණය පමණි. අනෙක අධිවේගී මාර්ග ඉදිකිරීම ඇතුළු මාර්ග නවීකරණය ය. කොළඹ පිටත වටරවුම් මාර්ගය විවෘත කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දින 365 ම සංවර්ධන කටයුතු සිදුකෙරෙන මහා වැඩබිමක් බවට රටම පත්ව ඇති බවය.

මේ ආණ්ඩුවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කතාවට හා සංවර්ධන මිථ්‍යාවට එරෙහි විපක්ෂය පෙළ ගැසෙන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ප්‍රධානවිපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ ආණ්ඩුව රාජ්‍ය බලය යොදාගෙන මැතිවරණය පවත්වන්නේ යැයි නහයෙන් අඬමින් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි  කිරීමය. ආරක්ෂක ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සන්ධානයේ මැතිවරණ කටයුතු කරන බවට චෝදනා කිරීම ය. ඒ කිසිවක් නතර කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලයක් නැත. බල්ලෝ බිරුවද තවලමගමන යයි.

තමන්ට වාසිදායක කොන්දේසි මත විධායක බලය යටතේ කැඳවන මැතිවරණවලට තරග කිරීමට ඉදිරිපත්වීමෙන් විපක්ෂය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ආණ්ඩුවට පාන්තිරු කරදීම ය. ජනතාව සිටින්නේ අප සමග බව උදම් ඇනීමට ආණ්ඩුවට අවස්ථාව ලබාදීමය. රාජ්‍ය බලය යොදාගෙන ආණ්ඩුව ලැබූ ජයග්‍රහණය දූෂිත හා වංචනික,ජනමතය නිවැරැදි ව පිළිබිඹු නොවන්නක් යැයි මැතිවරණයෙන් පසු කීම බයිලාවකි.සෑමමැතිවරණයකින් ම පසු විපක්ෂයමේ කතාව කීම නිසා එය වැල් බයිලාවක්වීඇත.

ශ්‍රිලනිප මුහුණුවර

සිංහල බෞද්ධ වෙස් මුහුණ පැළඳගෙන කරළියට පැමිණි ශ්‍රිලනිපය මේ වනවිට සිටින්නේ සැබෑ මුහුණුවරිනි. එජාපය රටට හඳුන්වා දුන් නව ලිබරල් ධනවාදය පෙරට රැගෙන යාමේ කාර්යයභාරය බාරගෙන සිටින්නේ ශ්‍රිලනිපය. එජාපය-ශ්‍රිලනිපය යනු එකම කාසියේ දෙපැත්තය යන්න අන්කිසි කාලයකටත් වඩා පැහැදිලි වන්නේ දැන්ය.

 

පැරණි වම පමණක් නොව නව වම නියෝජනය කරන ජවිපෙ ද ශ්‍රිලනිපයට ලබාදුන් ප්‍රගතිශීලී වාම සහතිකය නිසා ශ්‍රිලනිපය යනු වම ලෙස සලකන සැළකියයුතු පිරිසක් මේ රටේ සිටිති. 2004 හා 2005 කාල වකවානුවේ ශ්‍රිලනිපය සමග හවුල් වූ ජවිපෙ ලබාදුන් දේශප්‍රේමී සහතිකයද දැන් ශ්‍රිලනිපය සතු ය. විශේෂයෙන් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දේශප්‍රේමියෙකු ලෙස භෞතීස්ම කිරීමට ජවිපෙ කටයුතු කළේ දේශද්‍රෝහී යැයි කියූ රනිල්ට එරෙහිවය. මවුබිම දෙකඩකර කොටියාට පාවා දෙන අධිරාජ්‍යවාදී  රනිල් වෙනුවට  කොටියා පරාජය කර  මවුබිම එක්සේසත් කරන සිංහල-බෞද්ධමහින්ද දිනවා අලුත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට බුද්ධිමත් ජනතාවට ආයාචනා කළේ ජවිපෙ විසිනි. ප්‍රභාකරන්ගේ ඡන්ද වර්ජනයට පින් සිදුවන්නට රනිල් නූලෙන් පරාජය කිරීමට මහින්ද සමත් විය . කොටියාට උතුර බෙදා දෙන බවට රනිල් පොරොන්දු වී සිටියානම් ප්‍රභාකරන් ඡන්දය වර්ජනය කළේ මන්දැයි බුද්ධිමත් ජනතාව ජවිපෙන් ඇසුවේ නැත. දෙමළ ජාතිවාදී අන්තවාදියෙකු වූ ප්‍රභාකරන්ට අවශ්‍ය වූයේ බලය බෙදාහැරීමට ගිවිසුමක් ගසා තමන් කොටුකළ රනිල්ගේජයග්‍රහණය නොව බලය බෙදා හැරීමට මාරාන්තික විරෝධය දක්වන ජවිපෙ-හෙළ උරුමය ඇතුළු සිංහල බෞද්ධ,ජාතිවාදී හා අන්තවාදී බලවේග සමග සිටින මහින්දගේ ජයග්‍රහණයය. ඊළමට ඉන් පාර කපා ගැනීමට පහසු බව ඔහුගේ ගණන් බැලීම විය. එහෙත් ප්‍රභාකරන්ට වැරදිණි. ඒ වැරදීම සමාන කළ හැක්කේ 1988 ජනාධිපතිවරණයේ දී ප්‍රේමදාසට ජයගැනීමට ඉඩදීමෙන් රාජ්‍ය බලය ලබාගැනීමේ සටන පහසු වනු ඇතැයි කළ විජේවීරගේ ගණන් බැලීමටය. ප්‍රේමදාසගේ ආණ්ඩුව යටතේ රන්ජන් විජෙරත්න හා සිසිල් වෛද්‍යරත්න එකතුව ජවිපෙ සටන පොඩිපට්ටම් කර දැමුණු අතර මහින්දගේ යටතේ ගෝඨාභය රාජපක්ෂ හා සරත් ෆොන්සේකා එකතුව එල්ටිටිඊ සටන පොඩිපට්ටම් කර දැමිණි. ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු නායකයින් සියලුදෙනා ම සාහසික ලෙස ඝාතනය කෙරුණු අතර එල්ටීටීඊ නිර්මාතෘ වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු නායකයින්ට අත්වූයේ ද ඒ ඉරණමය.ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ ද ධවල භීෂණයට පින් සිදුවන්නටය. මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට ඊළාම් යුද්ධය උපකාරී විය.එහෙත් සිංහල ජවිපෙ සටනමර්දනය කළ ප්‍රේමදාස මිනීමරුවෙකු වූ අතර දෙමළ එල්ටීටීඊ සටන මර්දනය කළ මහින්ද දේශප්‍රේමියෙකු විය. ජනාධිපතිධුරයට පත්වීමට පෙර ජනප්‍රිය නායකයෙකු වූ ප්‍රේමදාසගේ ජනප්‍රියත්වය පහත වැටුණ ද ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු මහින්දගේ ජනප්‍රියත්වය ඉහළ ගියේය. ඒ ජනප්‍රියත්වය තවමත් සැළකියයුතු ලෙස පිරිහී නැත. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ජනතාව අතර පිරීහීමට ලක්ව සිටියද ජනාධිපතිවරයා‍ගේ සුපිරිසිදු චරිතයට ඉන් හානි වී නැත. ආණ්ඩුව එකක් ජනාධිපතිවරයා යනු තවෙකක් ලෙස බොහෝ දෙනා තවමත් කල්පනා කරති. විධායක ජනාධිපති ක්‍රමය හා ආණ්ඩුව අතර ඇති සම්බන්ධය හෝ ශ්‍රිලනිපය දුර්වල වී රාජපක්ෂ කණ්ඩායම ශක්තිමත්වී  ඇති බව හෝ මෙරට අදේශපාලන බහුතරයකට අවබෝධයක් නැත. ඒ අවබෝධය ලබාදීමට විපක්ෂය අසමත් ය. කොටි පරාජය කිරීම නිසා පලිගැනීමට විදුලි පුටුවට ජනාධිපතිවරයා රැගෙනයාමට අමෙරිකාව ඇතුළු බටහිර රටවල් උත්සාහ කරනවා යැයි පට්ටපල් බොරු කියමින් බුලත් කොළයට ඡන්ද එකතු කිරීමට ආණ්ඩුවට හැකිවී ඇත්තේ ඒ නිසාය.

 

එජාපයේ කරුමය

 

එජාපයේ රනිල්-සජිත් ගැටුම හා කල්ලිවාදය හේතුවෙන් ඉතිහාසයේ අන් කිසිදු කාලයක නැති තරම් එජාපය දුර්වල වී ඇත. බලය නැති විට ශ්‍රිලනිපය දුර්වල වුව ද එජාපය දුර්වල වූයේ නැත. ශක්තිමත් පක්ෂ යන්ත්‍රයක් හා විවිධ සමාජ ස්ථරවල ශක්තිමත් නියෝජනයක් ඊට තිබීම හේතුවයි.අද එජාප පත්ව  ඇති තත්ත්වයට ශ්‍රිලනිපය 1977 පසු ඇද වැටිණි.එකදු මැතිවරණයක් හෝ ජයග්‍රහණය කිරීමට ඊට හැකි නොවුණු අතර පක්ෂයේ ප්‍රබලයින් ඇතුළු ක්‍රියාකාරිකයින් රැසක් එජාපයට එක් වූයේය. සන්ධාන ආණ්ඩුවේ ප්‍රබලයෙකු වන බැසිල් රාජපක්ෂ ද ප්‍රසිද්ධියේ ශ්‍රිලනිපය විවේචනය කර එලෙස එජාපයට එක්වූවෙකි. සියල්ලට හේතුව ශ්‍රිලනිප නායිකාව බව කියමින් අනුර බණ්ඩාරනායක එහි නායකධුරයඉල්ලා සිටි අතර රනිල් දුර්වල බව කියා සජිත් නායකධුරයඉල්ලීමට එය සමානය.

අවසානයේ පක්ෂය දෙකඩ විය.

ඉලංගරත්න, විජය, චන්ද්‍රිකා, ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා මහජන පක්ෂය නමින්නව පක්ෂයක් පිහිටුවා ගනු ලැබී ය. 1993 ප්‍රේමදාසගේ හදිසි මරණයෙන්පසු 1994 ශ්‍රිලනිපය බලයට ආවේ එජාපයේ 17 අවුරුදු පාලනයට එරෙහි සියලු බලවේගවල සහාය ලැබීම නිසා ය. අනුර බණ්ඩාරනායක,තිලක් කරුණාරත්නඇතුළු ශ්‍රිලනිපයේ ප්‍රබලයන් පිරිසක් 1994 දී එජාපයට එක්වූයේ චන්ද්‍රිකා කුමාරණතුංග, මංගල සමරවීර, එස්. බී. දිසානායක, වැන්නන්ගේ මතුවීමට එරෙහි ය. ශ්‍රිලනිපයට, එජාපයට එරෙහි ශක්තිමත්ව නැගී සිටීමට නොහැකිවූයේ නායකයාගේ දුර්වලකමට වඩා එජාපය මෙරටේ කළ සමාජ ආර්ථික ‍‍දේශපාලන පෙරළියට නොඑසේනම් නව ලිබරල් ආර්ථිකය නිසා ඇතිවූ වෙනස අවබෝධ කර නොගැනීම හාඊට ශක්තිමත් විකල්පයක් ඉදිරිපත් නොකිරීම හේතුවෙනි. මේ ආණ්ඩුව හමුවේ අද එජාපය මුහුණදී ඇති  උභතෝකෝටිකය ඊට සමානය. එජාපයේ වැටීමට එකම හෝ ප්‍රධාන හේතුව රනිල් නොවේ. පක්ෂය සමග මිත්‍රශීලී ව ගනුදෙනු කිරීමට ඇති නොහැකියාව හා ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කල්මැරීම රනිල්ගේ ඇති ලොකුම දුර්වලකමය. 

ප්‍රේමදාස ගේ ප්‍රතිරූපය දුර්වලවීම, ඔහුගේ හදිසි මරණය, දකුණේ කළ තරුණ මර්දනය, එජාපය දෙකඩවීම, ලලිත් ඇතුලත්මුදලිගේ මරණය, චන්ද්‍රිකාගේ ආකර්ශණීය නායකත්වය, ඩී. බි. විජේතුංගගේදුර්වල නායකත්වය ඇතුළු හේතු නිසා එජාපය පරාජය කිරීමට ශ්‍රිලනිපය ප්‍රමුඛ පොදුපෙරමුණට එදා හැකිවිය. එහෙත් ඒ වාසිය රනිල් ප්‍රමුඛ විපක්ෂයට නැත. මවුබිම කොටියාගෙන් ගලවාගත් වීර ප්‍රතිරූපය මහින්ද රාජපක්ෂ සතුය. දේශප්‍රේමී ලේබලය ඔහුගේ නළලේ තිබේ. මිනීමරු ප්‍රේමදාස කෙනෙකු වෙනුවට සිටින්නේ දේශප්‍රේමී මහින්ද කෙනෙකි. 

ජවිපෙ 2005 ජනාධිපතිවරණයේදී ඇලවු ලේබලයට අනුව රනිල් යනු කොටියාට රටෙන් කෑල්ලක් කඩාදීමට සාම ගිවිසුම් ගැසූ දේශද්‍රෝහියෙකි. ඒමදිවාට ඔහුගේ ම පක්ෂයේ සැලකිය යුතු පිරිසක් රනිල් දුර්වලයෙක්,ඒකාධිපතියෙක් යැයි කියති. චෝදනා තහවුරුවන ලෙස හැසිරීම නිසා රනිල්ගේ ප්‍රතිරූපය තව තවත් දුර්වල වෙයි. බල පෙරලියට - කොළ එළියක් නම් එජාපය  නව වැඩපිළිවෙල හුදු බලයක් අල්ලාගැනීම සඳහා කළ සැලසුමක් මිසඅනෙකක් නොවේ.

ජවිපෙ උරුමය

නායකධුරය වෙනස්වීම නිසා පාක්ෂිකයන් අතර මෙන්ම හිතවතුන් අතරද ප්‍රබෝධයක් ඇති වී ඇති බව පෙනේ. කුමාර් ගුණරත්නම් ඇතුළු පක්ෂයේ සිටි ශක්තිමත් කණ්ඩායමක් පෙරටුගාමී සමාජවාදි පක්ෂය ලෙස වෙන්වීයාමෙන් දුර්වල වූ පක්ෂ යන්ත්‍රය ශක්තිමත් කර ගනිමින් ජවිපෙ යළි සංවිධානය වී සිටී. විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම වෙන්වීයාමට වඩා ප්‍රබල කණ්ඩායමක් වූ පෙරටුගාමී ප්‍රශ්නයේදී සෝමවංශ- ටිල්වින්- අනුර කණ්ඩායම හැසිරුණේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන නිලධාරීවාදි ස්වරූපයකිනි. අභ්‍යන්තර සමුළුවක් කැඳවා ගැටුම නිරාකරණය කරගන්නවා වෙනුවට ඔවුන් කළේ ඊනියා සමුළුවක් කැඳවා තම කල්ලියේ බලය පක්ෂය තුළ තහවුරු කර ගැනීමය. 1970 සමගි පෙරමුණ ගොඩනැගීමේ දී ලංකා සමසමාජ පක්ෂය තුළ ඇතිවූ මත ගැටුම නිරාකරණය කරගත් ආකාරය දෙස බලනවිට  අචල මාක්ස්- ලෙනින්වාදින් බව කියන ජවිපෙ ටිල්වින්ලා- අනුර ලා හැසිරුණු ආකාරය සමාන වන්නේ ප්‍රේමදාස, සිරිමාවෝ, රනිල් වැනි දක්ෂිණාංශික නායකයින් තම පක්ෂවල මෙවැනි ගැටුම් ඇති වූ අවස්ථාවල දී හැසිරුනු ආකාරයටමය.

කෙසේවුවද මේ වනවිට පෙරටුගාමීන්ගේ විවිධ මතගැටුම් හේතුවෙන් එම පක්ෂයේ ක්‍රියාකාරිත්වය බිඳ වැටී තිබේ.එයජවිපෙට ආශිර්වාදයක් වීඇති අතර පමාවී හෝ සෝමවංශ නායකධුරයෙන් ඉවත් කිරීමට ගත් බුද්ධිමත් තීරණයෙන් එම පක්ෂයට වාසියක් ලැබී ඇති බව පෙනේ. කාරණය එය නොවේ. රට පත්ව ඇතිඅර්බුදයෙන් මුදා ගැනීමට ජවිපෙට නිසි දැක්මක් හෝ විකල්ප වැඩපිළිවෙළක් තිබේ ද යන ප්‍රශ්නයයි. ඉකුත් දා පැවති මහා සමුළුවේ දී ජවිපෙ ඉදිරිපත් කළ නව වැඩපිළිවෙල කෝකටත් තෛලයකි. එජාපය මෙන්ම ජවිපෙද අද පීඩිත පන්ති ජනතාව වෙනුවෙන් අතරමැදි පන්තියකට කතා කරමින් සිටී. ඔවුන්ගේ නවීන සමාජවාදය ඒ වෙනුවෙනි. ඔවුන්ගේ විවෙචනය හරවත්ය,වේගවත්ය, විස්තරාත්මකය. එහෙත් මේ ක්‍රමය වෙනස්කිරීම උදෙසා දැනුම්වත් ගැ      ඹුරු වැඩපිළිවෙළක් ජවිපෙටද නැත. ජාතිවාදයත් ජනප්‍රියවාදයත් කලවම් කරගෙන යළි වමේ රතු ධජය අතට ගෙන ජනතාව අතරට යාම ජවිපෙ උත්සහයයි. 1989දී ඉන්දු - ලංකා ගිවිසුම් විරෝධය හෙවත් ඊනියා ඉන්දීය අධිරාජ්‍යවාදයට එරෙහි ජවිපෙ සටනේ ධජය ප්‍රේමදාස අතට පත් වූ ලෙසින් 2005 උතුරේ කොටි විරෝධය හෙවත් අමෙරිකන් අධිරාජ්‍යවාදීන්ගේ රට බෙදීමට එරෙහි ජවිපෙ සටනේ ධජය මහින්ද අතට ගියේය. 89දී මෙන්ම 2005දී ජවිපෙ විසින් දේශප්‍රේමී මුහුණුවරින් පෙනීසිටි ධනපතිනායකයන් දෙදෙනෙකුට පාවඩ එලා දෙන ලදී. පළමු වර ජවිපෙ නායකත්වය ඇතුළු පක්ෂය සම්පූර්ණයෙන්ම විනාශ වූයේය. දෙවැනි අවස්ථාවේ පක්ෂය කොටස් තුනකට වෙන්වී බරපතල කඩා වැටීමකට ලක්විය. අද ජවිපෙට සිදුවී ඇත්තේ ශ්‍රිලනිපය- එජාපයට මුහුණදීමට නොව තමන් ම කරළියට රැගෙන ආ ෆොන්සේකා හා තරග වැදීමට ය. කෙසේවුවද ඊනියා දේශප්‍රේමීන් නොවන විරෝධතා ඡන්දසැළකිය යුතු ප්‍රමාණයක් මෙවර ඔවුන්ට ලැබෙනුඇත.

ෆොන්සේකාගේ පක්ෂය                 

සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යනු දේශපලන සරණාගතයන් ලැගුම් ගන්නා අම්බලමකි. සන්ධානයේත්, එජාපයේත් නාමයෝජනා නොලැබුණු ,ඒ පක්ෂ සමග අමනාපවූ පෞද්ගලික ජනප්‍රියත්වය හරහා මන්ත්‍රිධුරයක් දිනාගැනීමට උත්සාහ කරන පුද්ගල හෝ පක්ෂ ඒ වටා රොක්වී සිටිති. එජාපයේ නායකත්වය ගැන කලකිරී සිටින,ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන පැහැදීමක් නැති ඡන්දදායකයන්ගේ ඡන්ද හා පාවෙන ඡන්දදායකයන්ගේ විරෝධතා ඡන්ද එක්රැස් කරගැනීම ෆොන්සේකාගේ අරමුණයි. වයඹ-මධ්‍යම පළාත් සභා ඡන්දයේ දී  ජවිපෙට ඉදිරියෙන් සිටීමට ඔහුගේ පක්ෂයට හැකිවූයේ ඒනිසාය. ෆොන්සේකාගේ දේශප්‍රේමී ලේබලයද ඡන්ද ගොඩවැඩිවීමට හේතුවීඇත. ෆොන්සේකාට ඇත්තේ රාජපක්ෂ විරෝධය හා වෛරයක් මිස අනෙකක් නොවේ. කෙසේ වුවද දේශප්‍රේමි මහින්දට අකැමති ඊනියා දේශප්‍රේමීන් ෆොන්සේකාට කතිරය ගසනු ඇත. 

ජිනීවාවල ඇත්ත

අමෙරිකාව ප්‍රමුඛ රටවල කෙටුම්පත් කර ඇති මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරිමට නියමිතය.  

පෙත්සමේ සැර බාලවී ඇත. ඒ කෙටුම්පතට අනුව ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තරය මේ අවුරුද්දේ  ක්‍රියාත්මකවන්නේ නැත. රජය විසින් ඉදිරිපත් කළ උගත් පාඩම් කොමිස‍මේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස එම යෝජනාවලින් ඉල්ලා ඇත. මේ යෝජනා කොටිහිතවාදී දෙමළ ඩයස්පෝරාවේ (විදේශගතදෙමළ ජාතික කොටස්) නොසතුටට හේතු වී තිබේ. මානව හිමිකම්  කොමසාරිස් නවනීදන්පිල්ලේ ඉදිරිපත් කළ වාර්තාවේ කොටින්ගේ මානව හිමිකම් උල්ලංඝණයකිරීම් හා යුද අපරාධ ගැන පරීක්ෂා කිරීමට ලංකා රජය අසමත් වී ඇතැයි සඳහන් වී තිබීම විශේෂ කාරණයකි. කෙසේවුවද ලබන වස‍රේ ජිනීවාවලින් ලිස්සා යාමට ආණ්ඩුවට ඉඩකඩ නොලැ‍බෙනු  ඒකාන්තය. ඒ යථාර්ථය පිළිගනිමින් කටයුතු කිරීම සන්ධාන ආණ්ඩුවේ වගකීමයි. එහෙත් ජිනීවා බිල්ලා පෙන්වා ඡන්ද එකතු කරගැනීම හැර අන් අදහසක් ආණ්ඩුවට ඇති බව නොපෙනේ. මේ සෙල්ලම ලෙල්ලමක්වීමට ඉඩ තිබේ. 1987 ඉන්දියාව නොසලකා හැරීම නිසා පරිප්පු කෑමට සිදුවිය. මෙවර පරිප්පුවලින් නතර නොවනු ඇත.

 

-සුරවි-                                             

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න