“නිදහස් සෞඛ්‍ය සේවාව” තවදුරටත්?

ශ්‍රී ලංකාව නිදහස් සෞඛ්‍ය සේවාව ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා රටකි. එවන් සේවාවක් ඇති ඉතාම අතලොස්සක් වූ ලොව රටවල් අතුරින් එකක් වීමට අපට හැකිවීම පිළිබඳව අපට මහ විශාල උජාරුවක්ද ඇත. කෙසේ නමුත් මෙම “නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය”මුලික අයිතියක් ලෙස තහවුරු වූ තැනක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල හෝ වෙනයම් තැනක හෝ සොයාගැනීමට නොහැක. එසේම ඕනෑම සෞඛ්‍ය ක්‍රියාවලියක් සඳහා “පෞද්ගලික සෞඛ්‍ය සේවාව” සඳහාද සියලු ඉඩකඩ පවතින අතර රජයේ ප්‍රතිපත්ති මගින් එය දිරි ගන්නවීම මිස කිසිවිටෙක අධෛර්යට පත් කෙරෙන්නේද නැත.

“බිල” ගෙවන්නේ කවුද ?

නිදහස් සෞඛ්‍ය සේවාව හෝ රජයක් විසින් නොමිලේ ලබාදෙන සේවාවන් ලබා දෙන ආකාරය පිළිබඳව ආර්තික විද්‍යාත්මක දෘෂ්ඨි කෝණයකින් බැලූ කල එහි “නිදහස්” යන්න සැබවින්ම අර්ථ ශුන්‍ය අදහසකි. සෞඛ්‍ය සේවාව ලබාදීම සඳහා ඇති විශාල මුදලක් අත්‍යවශ්‍යය. මෙම මුදල කවුරුන් විසින් ගෙවනු ලැබුවද, එය කවුරුන් විසින් හෝ ඉපයිය යුතුය. “නිදහස් සෞඛ්‍ය සේවාව තුල” රටේ සිටින ඕනෑම කෙනෙකුගේ “බිල” රජය විසින් ගෙවා දමනු ලබයි. නමුත් රජය මෙම මුදල් කවුරුන් හෝ පරිත්‍යාග කරන්නේ නැත. ශ්‍රී ලංකාවේ රජයට “බදු” ගැනීම හෝ “ණය” හැර වෙන විකල්පයක්ද නැත. රජයට එම “බිල” ගෙවා දමනු ලබන්නේද උජාරුවෙන් නිදහස් සෞඛ්‍ය සේවාව ලබා ගන්නා මහජනතාව විසින්මය.

රජය විසින් නිදහස් සෞඛ්‍ය සේවාවට අදාලවන බිල ගෙවා දමනු ලබන්නේ “දල දේශීය අදායමෙන්” කොටසක් වශයෙනි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2014 වර්ෂයේදී වර්ෂයේදී සිදු කරන ලද අධ්‍යනයකට අනුව (1) “නිදහස් සෞඛ්‍ය සේවාවක්” ඇති හෝ නොමැති, විධමත් සෞඛ්‍ය දත්ත සැපයෙන රටවල් 236 ක්, සිය “දල දේශීය ආදායමෙන්” සෞඛ්‍ය සේවාව සඳහා වෙන්කරනු ලබන මුදල් ප්‍රතිශතය පෙලගැස්වූ විට ශ්‍රී ලංකාවට හිමි වන්නේ අවසන් රටවල් විස්ස (218 වන ස්ථානය) අතුරින් එකකි. පාකිස්ථානය, බංගලිදේශය වැනි රටවල් හැරුණු කොට අප දන්නා හදුනන සියලු රටවල්, අපට වැඩ වැඩි මුදල් ප්‍රතිශතයක් සිය සෞඛ්‍ය සේවාව සඳහා වෙන්කරනු ලබයි.

තවද, සිංගප්පුරුව, මලයාසියාව, චීනය වැනි නිදහස් සෞඛ්‍ය සේවාවක් නොමැති ලොව බොහෝ රටවල් ශ්‍රී ලංකාවට වඩා වැඩි මුදලක් සෞඛ්‍ය සේවාවට වෙන්කරනු ලැබීම මගින්, අප රටේ සත්‍ය වශයෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාවක් පැවතෙන්නේද යන්න පිළිබඳවත් එහි තිරසාර බව පිළිබඳත් පැහැදිලි ප්‍රශ්නාර්ථයක් මතුවේ.

පනහට පනහේ නිදහස

ලෝක සෞඛ්‍ය සංවිධානය 2012 වර්ෂයේදී සිදුකරන ලද තවත් අධ්‍යනයකට අනුව (2) රජය විසින් දළ දේශීය අදායමෙන් හා නය ඇතුළු ආධාර මගින් සෞඛ්‍යට ලබා දෙන “රජයේ ප්‍රතිපාදනය”පුරවැසියන් විසින් වැයකොට ඇති “සම්පුර්ණ සෞඛ්‍ය විදමින් අවම තරමින් අර්ධයක ප්‍රමාණයක් (50% ක්) ආවරණය කිරීමට සමත්ව නොමැති බව පැහැදිලිය . මෙම තත්වය දත්ත සපයා ගතහැකි වන පසුගිය වසර විසිපහ තුලම වෙනසකට ලක්ව නොමැති බැවින්, එය වරින් වර පත්වන ආණ්ඩුවල ප්‍රතිපත්ති වලින් ස්වායත්ත බවද, පැහැදිලිව පෙනෙන්නට ඇත. එසේම, සෞඛ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියේ කැපී පෙනෙන වෙනසකින් තොරව ඉදිරි දශකය තුලද එම තත්වයේ කැපී පෙනෙන වෙනසක් අපේක්ෂා කල නොහැකිය.

ඉහත දත්තයන්ට අනුව අප වඩාත් සැලකිලිමත් විය යුත්තේ “නිදහස් සෞඛ්‍ය සේවාව” ඇති අප රට විසින් සෞඛ්‍යට කරන ලද වියදමින්, ඉතිරි සියයට පනහ ගෙවා දමනු ලබන්නේ කවුරුන් විසින්ද යන වගය. ඉහත දත්ත මුලාශ්‍ර වලට අනුව, ඉතා අවිධිමත් ලෙසින් පුරවැසියන් විසින් සිය “පොකට්ටුවෙන්” එම මුදල ගෙවා දමනු ලබමින් සිටින බව තහවුරු වී ඇත. කෙසේ නමුත්, රටේ සෞඛ්‍ය සේවාව සඳහා අවැසි මුදලින් සියයට පනහකට වඩා වැඩි ප්‍රමාණයක්, රටේ පුරවැසියන්වි විසින් සිය පොකට්ටුවෙන් ගෙවා දමනු ලබන්නේනම්, අපට ඇත්තේ “අර්ධ නිදහස් සෞඛ්‍ය සේවාවක්” හෙවත් “පනහට පනහේ” එකක් බව ඉතා හොඳින් පැහැදිලි වේ.

ඉහල සෞඛ්‍ය දර්ශක - කල් ඉකුත්වූ තීරණ

අපේ රටේ ඉතා හොඳ සෞඛ්‍ය සේවාවක් ඇති බවත්, වාර්ෂිකව සපයනු ලබන සෞඛ්‍ය දර්ශක මගින් එය නැවත නැවත තහවුරු වී ඇති බවත්, අප නිතර අසා ඇත. රට තුල සිදුවන “ළදරු මරණ අනුපාතය”, “මාතෘ මරණ අනුපාතය” හා “මරණ අනුපාතය” වැනි සෞඛ්‍ය දර්ශක පාදක කර ගනිමින් සිදු කරන්න වූ උක්ත “විශ්වාසයෙහි” කිසිදු වරදක් නැත. නමුත්, “බෝවන රෝග අවධානමේ” සිට “බෝ නොවන රෝග අවධානම” දක්වා රට තුල “රෝග වින්‍යාසයහි” පුර්ණ විචලනයක් සිදුවී ඇති තත්වයක් හමුවේ,

තවදුරටත් ඉහත සෞඛ්‍ය දර්ශක විසින් ප්‍රමාණික අදහසක් ලබාදෙන්නේද යන වග අප අතිශය ලෙස සලකා බැලිය යුතුය. රටේ මහා ජනතාවගෙන් සියයට 70% කට වඩා වැඩි මරණ අනුපාතයකට වගකියන “බෝ නොවන රෝග” පිළිබඳව ප්‍රමාණික හෝ පරයෝගික අදහසක් සපයාගත නොහැකි ඉහත “සෞඛ්‍ය දර්ශක” මත ගන්නා තීරණ “කල් ඉකුත්වූ තීරණ” වන්නට ඇති ඉඩකඩ ඉතා වැඩිය.

ලෝක සෞඛ්‍ය සේවා ක්‍රමවේද පිළිබඳව, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවසන් වරට පලකරන ලද වාර්තාවට අනුව (3) 2000 වර්ෂයේදී ලොව රටවල් 188 ක සෞඛ්‍ය ක්‍රමවේද අතුරින් ශ්‍රී ලංකාව 76 වන ස්ථානය ලබා ඇත. විශාල ආර්ථික ශක්තියක් නොමැති, කුඩා රටක් වශයෙන් එය සැලකිය යුතු තත්වයක් වුවද, සියල්ල නොමිලේ දීමෙන් පමණක් “හොඳම ක්‍රමය” බවට පත් විය නොහැකි බවටද එය ඉතා හොඳ දර්ශකයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෙළ ගැස්මට අනුව (4) ලොව සාර්ථකම සෞඛ්‍ය සේවාව ලබාදෙන රටවල් දහය ලෙස ප්‍රංශය, සැන් මරිනෝ, ඇන්ඩෝරා,මෝල්ටා, සිංගප්පුරුව, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ඕමාන්, ඔස්ට්‍රියාව,ජපානය යන රටවල් සිය සෞඛ්‍ය ක්‍රමවේදයේ ශක්‍යතාවය තහවුරු කර ඇත.

නමුත්, මෙකී රටවල් කිසිවක හෝ පෞද්ගලික සෞඛ්‍ය සේවාවක් නිදහසේ ක්‍රියාත්මකව තිබියදී, රජය විසින් නොමිලයේ සෞඛ්‍යයට වියදම් කරන “නිදහස් සෞඛ්‍ය සේවාවක්” පවත්වාගෙන නොමැත. එසේම, සෞඛ්‍ය සේවාවේ බර කරට ගැනීම සඳහා “සුවිශේෂී අරමුදල් ක්‍රමයක්” නොමැතිව සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීමට තරම්, එම රටවල් කිසිවක් හෝ ඉක්මන්වී  නොමැත. එසේම, සෞඛ්‍ය වෙනුවෙන් ගෙවනු ලබන වියදම උපයා ගැනීමට කිසියම් වූ තිරසාර ක්‍රමයක් පැවතීම, එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති අනුගමනය කරන එම රටවල් “මහ ජනතාවට සාර්ථකම සෞඛ්‍ය සේවාවක් ලබා දීම” සාක්ෂාත් කරගැනීම සඳහා අනුගමනය කරන පොදු උපක්‍රමය ලෙස කැපී පෙනේ.

සෞඛ්‍ය රක්ෂණ හා නිදහස් සෞඛ්‍ය සේවාව

සෞඛ්‍ය රක්ෂණ යනු “නිදහස් සෞඛ්‍ය” ගිල දැමීමට මාන බලන “රකුසෙකු”ලෙස අප බොහෝ තැන්වල කියවා ඇත. හානි පුර්ණය සඳහා “බැරි ලියුම” සැම විටම ඉල්ලන, අපේ රටේ අප දන්නා රක්ෂණ ක්‍රම පිළිබඳව ඇති අත්දැකීමට අනුව, එම සිතුවිල්ලෙහි එතරම් වරදක් නැත. නමුත් ඉහත රටවල් දහය අතුරින් රජය විසින් සැමට “නිදහස් සෞඛ්‍යය සේවාවක්” ලබාදෙන රටවල් ලෙස කැපී පෙනෙන ඔස්ට්‍රියාව, සැන් මරිනෝ වැනි රටවලද සේවාවේ තිරසාර පැවැත්ම සඳහා සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක වේ.

අඩු අදායම් ලභීන් හා අදායම් නොලබන පුරවැසියන් ගේ පුර්ණ ආරක්ෂාව තහවුරු කරමින්, මැදී හා වැඩි අදායම් ලාභීන්ගේ තෘප්තිමත්භාවය රැකෙන පරිදිත් එම රටවල් හි නිදහස් සෞඛ්‍ය සේවාව කාලීනව ප්‍රතිව්‍යුහගත වීම,එම සේවාවන්ගේ තිරසාර බව හා ගුණාත්මක බව තහවුරු කර ඇත. එසේම එම රටවල් හි පෞද්ගලිකව සෞඛ්‍ය සේවාවන් ලබා දිය නොහැකි අතර,සුවතාවය සඳහා වන ද්විතික සෞඛ්‍ය අවශ්‍ය තාවයන් සඳහා සිය අදායමට සරිලන ලෙස, පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ලබා ගත හැකිය. එසේම “නිදහස් සෞඛ්‍ය සේවක්” පිළිබඳව කිසිදු පුරසාරමක් නොමැති, අනෙක් රටවල් සියල්ලම පාහේ, සෞඛ්‍ය සේවාවේ “පුර්ණ වගකීම” හෝ සෞඛ්‍ය අරමුදලෙහි “පුර්ණ වගකීම” රජය යටතට පත්කොට ඇති අතර, අාදායම් විෂමතාවය මුලික කර ගත් රක්ෂණ ක්‍රමයක් සහිතව “සැමට එක හා සමාන” සේවාවක් සැලසෙ, එකම යාන්ත්‍රණයක් සහිත “සේවා ආයතන” පද්ධතියක් පවත්වා ගැනීමට රජයේ පුර්ණ මැදිහත්වීම ලබා දී ඇත. නිකන් දීම සහ රෝගියා තෘප්තිමත් කිරීම ලොව ප්‍රමුඛ පෙලේ සෞඛ්‍ය සේවාවක් සපයන රටවල් දහය අතුරින් ප්‍රමුඛ දර්ශක සපයන නෙදර්ලන්තය රෝගීන්ට “නිකන් දීම” වෙනුවට සිය විශ්වාසය තබා ඇත්තේ රෝගියා “තෘප්තිමත් කිරීම” කෙරෙහිය. සෞඛ්‍ය රක්ෂණය අනිවාර්ය කර ඇති එක්සත් රාජධානියද මීට සමාන ක්‍රමයකට පරිවර්තනය කර ඇති අතර “සෞඛ්‍ය තොරතුරු තාක්ෂනය” පිළිබඳව රජය දක්වන දැඩි අවධානය හා කාලීන ප්‍රතිසංස්කරණ මගින් රෝගීන් සමග පවතින “බෝනොවන රෝග” හා “දීර්ග කාලීන සෞඛ්‍ය ගැටළු” සඵලදායි ලෙස පාලනය කර ඇත. තවද මෙහිදී රෝගියාගේ දැනුවත්භාවය ඇති කිරීම,තොරතුරු තහවුරු කර ගැනීම සඳහා රෝගීන් සමග ගනුදෙනු කරන වෘත්තිකයින් සඳහා සුවිශේෂී රීති පද්ධතියක් පවතින අතර, රෝගියා සමග “අනිවාර්ය අවම නිශ්චිත කාලයක්” සන්නිවේදනය කල යුතුය.

සෞඛ්‍ය සේවාව වැනි සංකීර්ණ ක්‍රියාවලියක් තුල රෝගීන් තෘප්තිමත් වන ප්‍රමුඛ පෙලේ සේවාවක් ලබා දීම ඉතා අසීරුය. සියල්ල “නිකන්ම” නොදෙමින් එම තත්ත්වයට පත්වීම තවත් අසීරුය. සියල්ල “නිකන් දෙමින්” රෝගියාගේ අවශ්‍යතාවය හෝ තෘප්තිමත්භාවය පිළිබඳව සම්පුර්ණයෙන්ම නොසලකා හැර ඇති, ශ්‍රී ලාංකේය නිදහස් සෞඛ්‍ය සේවාව පිලිබඳව යතාර්ථවාදී ලෙස නැවත විමසිය යුත්තේද ඒ නිසාය.

“වෛද්‍ය වරයා” වෙනුවට “රෝගියා” මුලික සෞඛ්‍යක් අද වනවිට “සියල්ල නොමිලයේ දෙන” රජයේ රෝහලකට පැමිණෙන රෝගීන්ගෙන් වැඩි කොටසක් අතෘප්ති කර බව බැලු බැල්මට පෙන්නේනටතිබේ. රෝගී තෘප්තිමත්භාවය පිලිබඳ සිදු කර ඇති අතලොස්සක් වූ පර්යේෂණවලට අනුව, අතෘප්තිමත් භාවයේ ප්‍රධාන සාධකය වී අතේ සන්නිවේදන දුර්වලතාවයන්ය. රෝගියාගේ ගෞරවය නොසලකා හැරීමය.

රෝගියාගේ කාලයට වටිනාකමක් ඇති බව නොසැලකීමය. ඔහුගේ පෞද්ගලිකත්ව, ආත්ම ගෞරවය අභියෝගයට ලක්වීමේ අවදානමය. කාර්යමණ්ඩලයේ සුහද බව මගින් පමණක් තෘප්තිමත්භාවය අතිශය ලෙස ඉහල නැංවිය හැකිබව හා ඉතා සරල බාහිර පහසුකම් කිහිපයක් ලබා දීම මගින් එය තවදුරටත් තහවුරු කල හැකි බව පර්යේෂණ දත්ත කිහිපයකින්ම සනාථවී ඇති අතර තෘප්තිමත්භාවය සඳහා ප්‍රතිකාරය ක්‍රමය පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වන බවද තහවුරු වීඇත. එනයින් ලොව ඇති හොඳම සෞඛ්‍ය සේවාවන් අතරට පත්වීම සඳහා තැබිය යුතු පළමු පියවර සඳහා විශාල මුදලක් අවශ්‍ය වන්නේ නැත. ඒ සඳහා “පාරිභෝගිකයා” හෙවත් “රෝගියා” මුලික කරගත් ක්‍රම වෙනසකට පරිවර්තනය විය යුතුය.

කෙසේ නමුත්, “නිකන් දෙන නිසා” දෙන දෙයක් භාරගැනීමට හා කියන දෙයක් කරන්නට පුහුණු වී ඇති “පුරවැසියන්ද”, සිය ආදායම සඳහා “පාරිභෝගිකයාගේ” තෘප්තිය තඹේකට මායිම් නොකරන “සෞඛ්‍ය වෘත්තිකයින්ද” නිර්මාණය කර ඇති නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබඳ සේවා විවේචනයකින් තොරව, අපේ රටේ සෞඛ්‍ය සේවාව තුල සාධනීය වෙනසක් සිදු කළ නොහැක. නිකන් දෙන නිසා රෝගීන් අනිවාර්යෙන් සතුටු විය යුතුය යන ප්‍රතිපත්තිය මත කටයුතු කරන “සෞඛ්‍ය පරිපාලන ක්‍රමය” පුර්ණ වශයෙන් විශ්වාස කිරීම මගින්ද, රටේ සෞඛ්‍ය සේවාව සැලකිය යුතු වෙනසකට ලක් කල නොහැකිය. “මේක තමයි එකම ක්‍රමය” යන ඕපපාතික ප්‍රතිපත්තියද, අපේ රටේ සෞඛ්‍ය තුල සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ බොහොමයක් වලකනු ඇත. “යන විදිහට ඔහේ යමු - ලෙඩ දාගන්නේ නැතුව” කියන නපුංසක දේශපාලන ප්‍රතිපත්තියද, සෞඛ්‍ය සේවාවේ තිරසාර පැවැත්ම උගසට තියනු ඇත.

රවී කුමුදේශ්

ජාතික වෘත්තික සංසදය

ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමය.

මුලාශ්‍ර

1. http://data.worldbank.org/indicator/SH.XPD.TOTL.ZS?locations=LK

2. http://apps.who.int/gho/data/node.country.country-LKR

3. http://thepatientfactor.com/canadian-health- care-information/world- health-organizations-

ranking-of- the-worlds- health-systems/

4. http://www.outstandingcolleges.com/top-10- healthcare-systems- in-the- world/

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න