මෙන්න දින 100 වැඩ

දින 100 ක් යනු දිගු ගමනක ප්‍රවේශයක් පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියයි.

එහෙත් එම කාලය තුළ ධුරයෙන් තමා සතු අසීමිත බලය කිසිසේත් භාවිත නොකළ බව හෙතෙම අවධාරණය කළේ ය.

වත්මන් රජයට දින 100 ක් සපිරි අප්‍රේල් 23 වැනි දා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 09.00 ට සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

ඉකුත් රජය සමයේ දැඩි සේ බිඳ වැටී තිබූ ජාත්‍යන්තර සබඳතා වඩා ශක්තිමත් කිරීමට තමා ප්‍රමුඛ සිය රජයට හැකි වූ බව ජනාධිපතිවරයා පෙන්වා දේ.

නව ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ප්‍රථමයෙන් ඉන්දියාවටත්,අනතුරුව පිළිවෙලින් මහා බ්‍රිතාන්‍යය ඔස්සේ යුරෝපා සංගමය,චීනය හා පාකිස්ථානය වෙත නිරත වූ නිල චාරිකා මගින් ශ්‍රී ලංකාවට යළි ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගැනීමට හැකි වූ බව ඔහුගේ අදහසයි.

ජනතාවට නිදහස,ප්‍රජාතන්ත්‍රවාදය,මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී ඇතත් ඇතැම් අවස්ථාවන් හි එය අනිසි සේ භාවිත වන අන්දම තමා දකින්නේයැයි ජනාධිපතිවරයා පැවසී ය.

සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යෝජිත 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධවාදී පිරිස් විසින් නොයෙකුත් බාධා පමුණුවන බව පෙන්වා දෙන ඔහු,රටේ ප්‍රජාතන්ත්‍රවාදය,නිදහස තහවුරු කිරීමේ ගෞරවයට හිමිකම් කියමින් අදාල ඓතිහාසික කර්තව්‍යයේ කොටස්කරුවන් වන ලෙස සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටී.

වර්තමානයේ සියලු ජනකොටස් සමගියෙන්,සංහිඳියාවෙන් ජීවත් වුව ද,අන්ත ජාතිවාදීන් ලෙස කටයුතු කරන ඇතැම් විරුද්ධවාදී පිරිස් ඇතැම් මාධ්‍ය හා අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරන අසත්‍ය තොරතුරු පිළිබඳ හෙතෙම සිය කණගාටුව පළ කළේ ය.

ඉකුත් දින 100 තුළ කුමක් කළේදැයි බොහෝ පිරිස් විමසන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා,ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් ව ප්‍රතිෂ්ඨාපනය,රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම,අධිකරණය - අල්ලස් කොමිසම - ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ආයතන වෙත වූ රාජ්‍ය බලපෑම් ඉවත්කිරීම,ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම,තමා සතු අසීමිත බලය භාවිත නොකිරීම,ජාතීන් අතර සංහිඳියාව වර්ධනය හා ස්ථාපිත කිරීම,රාජ්‍ය වත්කම් යළි පවරාගැනීමේ ජනාධිපති කාර්යයසාධක බලකාය පිහිටුවීම ඇතුළු කරුණු රැසක් වන බව පෙන්වා දේ.

රාජ්‍ය අංශය සැමවිට ම ආදර්ශවත් විය යුතු බවත්,තමා ඉකුත් ජනාධිපතිවරණයේ දී ජනතාවට දුන් පොරොන්දු ඒ ආකාරයෙන් ඉටු කරන බවටත් සපථ වන හෙතෙම,වංචාව හා නාස්තියට ඉඩ නොතබන බවටත්,ජනතාව කෙරේ පමණක් ම විශ්වාසය තබන බවටත් ප්‍රතිඥා දෙන ලදී.

තමා අවස්ථාවෝචිත ව තීරණ ගැනීමට කිසිවිටෙකත් පසුබට නොවන බව අවධාරණය කරන ඔහු දූෂණ,වංචා දුරු කර ජනතාව වෙනුවෙන් ම ගත යුතු සියලු පියවර සඳහා එළඹෙන බව පැවසී ය.

අවසාන වශයෙන් වගකීම් සහ වගවීම් පැහැදිලි ව අවබෝධ කරගැනීමට ජනාධිපති සිරිසේන සියලු දෙනාට ඇරයුම් කරයි.

වීඩියෝව නරඹන්න -

දින 100 සපිරෙන දා ජනපති මෛත්‍රීපාල සිරිසේන ජාතිය ඇමතීම
ආර්යනා විජේතිලක
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න