නාවුක හමුදාවෙන් දිදුලන කච්චතිව් දෙව්මැදුර

( මාර්තු 12 වැනි දා පෙරවරුවේ පැවති ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දිවයිනේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය නිමිත්තෙනි.)

ඓතිහාසික කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ට කැප වූ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මේ වර්ෂයේත් අතිඋත්කර්ෂවත් ව පැවැත්විණි.

පුරාවිද්‍යාත්මක සාධක අනුව, කච්චතිව් දූපත ජලයෙන් උස් ව පැන නැග ඇත්තේ මීට වසර 115,000 - 130,000 අතර කාල සමයක වේ. දූපතේ පළමු නෛතික පරිපාලනය පෘතුගිසීන් විසින් සිදු කර ඇති අතර, අනාදිමත් කලක පටන් ශ්‍රී ලංකාව මෙම දූපතේ සහ අවට මුහුදු ප්‍රදේශයේ ස්වාධිපත්‍ය බලය සහ නිතීයේ ආධිපත්‍යය හෙබවූ බවට සාධක මොනවට පවතී.  දේවස්ථානය, ධීවර ජනතාවගේ භාරකරු ලෙස සැලකෙන ශාන්ත අන්තෝනී මුනිඳුන්ට කැපකර නිමවා ඇත්තේ 1900 වසරට ඉතා ආසන්නව ය. ‍

වර්ග කිලෝමීටර් 1. 15 ක් පමණ වන කුඩා දූපතක් වන කච්චතිව්, ඩෙල්ෆ්ට් දූපතේ සිට කිලෝමීටර 20 ක් පමණ ඈතින් ඉන්දියන් සාගරයේ පිහිටා තිබේ. ධීවර ජනතාව ඈත අතීතයේ පටන් ගැඹුරු දියඹේ ධීවර කටයුතුවල නිරත ව, සිය ධීවර ආම්පන්න අළුත්වැඩියා කරගැනිමට මෙම දූපත භාවිත කර ඇති බව වාර්තා වේ.

ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය ඉන්දියානු සහ ශ්‍රී ලාංකික බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් වාර්ෂික ව පෙබරවාරි හෝ මාර්තු මාසවල පවත්වනු ලබයි. මෙම වාර්ෂික මංගල්‍යය සහ දේව මෙහෙයන්ට බැතිමතුන් සහභාගි වනුයේ ඉතා බැති සිතින් වන අතර, එම පැමිණෙන අතිවිශාල ජනතාවට පහසුකම් සැලසීමට පැවති පැරණි,කුඩා දේවස්ථානය වෙනුවට නව දේවස්ථානයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය දීර්ඝ කාලයක පටන් පැවතිණි.

යාපනය දියෝකීසියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් බර්නාඩ් ඥානප්‍රකාසම්  පියතුමාගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා නාවුක හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා නාවුක හමුදාව 2016 වසරේ මැයි මස 09 වැනි දින නව දේවස්ථානයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තබන ලදී. මාස 07 ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ ජනාවාසයක් නොවූ එම දූපතෙහි නව දෙව් මැදුරේ වැඩ කටයුතු සම්පුර්ණයෙන්ම නිම කළ නාවුක හමුදා සුරුවෝ 2016 දෙසැම්බර් මස 23 වැනි දින රෝමානු කාතෝලික සභාවට එය භාර කළ හ.

අභිනව ශාන්න අන්තෝනී දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය 2017 මාර්තු මස 12 වන දින ගම්භීර ව හා උත්කර්ෂවත් ව පැවැත්විණි. මෙම ඵෙතිහාසික මංගල්‍යයේ ප්‍රමුඛ පහසුකම් සලසන්නා වන ශ්‍රී ලංකා නාවුක හමුදාව දෙස් විදෙස් අතිවිශාල බැතිමතුනට අවශ්‍ය සියලු මූලික පහසුකම් සැලසීමට කටයුතු කරන ලද්දේ දැවැන්ත මිනිස් ශ්‍ර‍මයක් සහ විශාල මුදලක් ඒ උදෙසා කැප කරමිනි. බැතිමතුන්ට අවශ්‍ය ආහාර, යටිතල පහසුකම්, සනීපාරක්ෂක කටයුතු, පානීය ජලය,තාවකාලික මංමාවත් හා ජැටි සකස් කර දීම සහ විදුලිබල පහසුකම් එහි සූදානම් කර තිබිණි.

බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීමටත්, වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා වෛද්‍යවරයකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් යෙදවීමටත් නාවුක හමුදාව කටයුතු සලසා තිබූ අන්දම ප්‍ර‍ශංසනීය ය.  

උත්සවයට සමගාමී ව ශ්‍රී ලංකා නාවුක හමුදාව ඉදි කළ ඩෙල්ෆ්ට් ජැටිය සහ කච්චතිව් ජැටිය විවෘත කොට මහජනතාවගේ ප්‍රවාහන කටයුතු පහසු කර ගැනීමටත්,නල්ලිනක්කපුරම් ගම්මානයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති ජල අර්බුදයට විසඳුම් ලෙස ජලය බෙදා දීමේ ව්‍යාපෘතියත් විවෘත කෙරිණ.

මෙවර කච්චතිව් මංගල්‍යය සඳහා ශ්‍රී ලාංකීය බැතිමතුන් 6600 කට අධික පිරිසක් සහභාගී වූ හ. නාවුක හමුදාව විසින් නව දේවස්ථානය ඉදිකිරීමෙන් අනතුරුව පැවැත් වූ ප්‍රථම දේව මෙහෙය මෙයයි.

ප්‍රධාන දේව මෙහෙය සඳහා යාපනය රදගුරු, දියෝකීසියේ අනුනායක, ආචාර්ය පතිනාදර් ජෝශප්තාස් ජෙබරත්නම් පියතුමා, යාපන‍ය දිසාපති එන්.වේතනායහන් මහතා, නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, යාපනය භාර ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, උතුරු නාවුක විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, යාපනය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ඇතුළු නාවුක හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නාවුකයින් විශාල පිරිසක් ද සහභාගී වූ හ.

දකුණේ සිට උතුරට පැමිණි පූජකතුමන් සහ කන්‍යා සොහොයුරියන් පිරිසක් ද ඊට සහභාගි වූ අතර, ප්‍රධාන දේව මෙහෙය යාපනය දියෝකීසිය භාර අගරදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමන් විසින් සිදු කරන ලදී.

දීර්ඝ කාලයක් තිස්සේ දෙරටේ බැතිමතුන්ගේ වන්දනාමානයට ලක්වුවත් මෙම දේවස්ථානය ප්‍රාථමික තත්ත්වයෙන් හා අවම පහසුකම් යටතේ පැවති අතර, 2016 වසරේ දේව මංගල්‍යය අවසන් වූ වහා යාපනය දියෝකීසිය භාර අගරදගුරු ජස්ටින් ඥාණප්‍රකාශම් පියතුමා විසින් පැරණි දේවස්ථානය වෙනුවට නව දේවස්ථානයක් ඉදිකිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී. ඒ අනුව, නාවුක හමුදාධිපතිතුමා අදාල ඉදිකිරීම් කටයුතු සඳහා නාවුක හමුදාවේ සහාය ලබාදීමට සිය එකඟතාව පළ කළේ ය. 

ඒ අනුව, මෙම දේවස්ථානයට මුල්ගල තැබීමේ උත්සවය 2016 වසරේ මැයි මස 9 වැනි දින උතුරු නාවුක විධා‍නය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 

( ඓතිහාසික කච්චතිව් දේවස්ථානය පිළිබඳ ඓතිහාසික හා වත්මන් තොරතුරු සපයාදුන් ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය මධ්‍යස්ථානයේ ලුතිනන් කමාන්ඩර් දිනේෂ් කරුණාරත්නට සහ ශ්‍රී ලංකා නාවුක හමුදාවේ මාධ්‍ය ඒකකයේ ලුතිනන් එරංග ස්වර්ණහංසට ලක්දන විශේෂ ස්තූතිය! )

ඡායාරූප - https://www.facebook.com/pg/lakdana/photos/?tab=album&album_id=114769382...

තිළිණි අතුකෝරල

කච්චතිව් දෙව් මැදුර සමුදුර මැදට දිස් වන අයුරු

යාපනය රදගුරුතුමන් ඇතුළු ආරාධිත අමුත්තන් පිළිගනිමින්

පැමිණි බැතිමතුන්ගෙන් කොටසක්

දේව මෙහෙය

මංගල්‍යයට පැමිණි බැතිමතුන් නාවුක හමුදාව විසින් දෙව්මැදුර කරා රැගෙන යමින්

නාවුක හමුදාව මගින් 07 මසක් තුළ ඉදි කළ වත්මන් දේවස්ථානය

කච්චතිව් හි පැවති පැරණි දෙව්මැදුර

ඔබේ අදහස දක්වන්න