වසන්තයේ දවසක නිමාව

කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වූ සිනමාවේදී ටී.අර්ජුන චිත්‍ර‍පට රැසක් අධ්‍යක්ෂණය කළ දක්ෂ කලාකරුවෙකු වේ.

ඔහු 1979 වසරේ ප්‍රදර්ශනය වූ, 1980 වසරේ ජනාධිපති සම්මාන උළෙලේ දී සම්මාන 08 කින් පිදුම් ලැබූ, ඉමහත් රසික “වසන්තයේ දවසක්” හි අධ්‍යක්ෂවරයා ය.

සිනමාව කෙරෙහි දැක් වූ දැඩි ඇල්ම නිසා ම ඔහු බ්‍රිතාන්‍යයේ,ලන්ඩන් නුවර සිනමා පාසලින් ස්වකීය විෂය ක්ෂේත්‍රය සම්බන්ධ උපාධියක් ලබාගන්නා ලදී.

ඔහු චිත්‍ර‍පට නිෂ්පාදනය, අධ්‍යක්‍ෂණය, මෙන් ම සම්මානනීය ඉන්දීය චිත්‍රපට ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ද පුරෝගාමීව කටයුතු කළේය.

කලියුග කාලේ,සාරා වැනි චිත්‍ර‍පට අධ්‍යක්ෂණ්‍ය කළ ඔහු සිය වසන්තයේ දවසක් සිනමාපටය වසන්තතිල් ඔරුවානවිල් නමින් දමිළ සිනමාවට ද නගන ලදී.

බෲනායි රජයේ ආරාධනයෙන් එරට සිනමා ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන්ද ඔහු සුවිශේෂ මෙහෙවරක් ඉටු කරන ලදී.

ලේඛන කලාවට ද සමත්කම් දැක්වූ අර්ජුන ඉංග්‍රීසි බසින් තීරු ලිපි රචනයෙහි ලා කැපී පෙනුණු ලේඛකයෙකි. කලා ක්ෂේත්‍රය තුළ සහෝදර කලාකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ ඔහු යුක්තිගරුක, මානව හිතවාදී, සොඳුරු මිනිසෙකු විය.

1936 වසරේ ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ පුරාවිද්‍යා මූලාශ්‍රයක් වන වල්ලිපුරම් රන් සන්නස පූජ්‍ය වල්පොල රාහුල ස්වාමින්වහන්සේ වෙත ලබා දුන්, එසේම උන්වහන්සේගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සුවිශේෂ අනුග්‍රහයක් දැක්වූ එවකට කොටහේන සාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයකු වූ සරවනමුත්තු තංගරාජා මහතාගේ වැඩිමහල් පුත්‍රයා අර්ජුන ය. දක්ෂ නර්තන ශිල්පිනියක වූ රංජනා තංගරාජා මහත්මිය ඔහුගේ මවයි.

සාහිත්‍ය කලාවට, සිනමාවට මෙන්ම මව්පිය ආදර්ශයෙන් සමීප වූ විද්වත්,සිල්වත් භික්ෂූන් වහන්සේ ඇසුරේ බෞද්ධ දර්ශනයටද ඉතාමත් ළැදි ව කටයුතු කළ හෙතෙම, වල්පොල රාහුල ආයතනය බිහිකිරීමටද පුරෝගාමීව කටයුතු කරන ලදී. මිය යනතුරු ම එහි විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු සේවය කළේ ය.

ඔහුගේ අවසන් කටයුතු 20 වැනි දා බොරැල්ල කනත්තේ දී සිදු කෙරෙන අතර,17 වැනි දා බොරැල්ල ජයරත්න මල්ශාලාවේ රසික ගෞරවය පිණිස තැන්පත් කර තැබීමට නියමිතයි.

ප්‍ර‍වීණ සිනමාවේදී ටී.අර්ජුනයන්ට නිවන් සුව ලැබේවා!

 

ඔහුගේ වසන්තයේ දවසක් චිත්‍ර‍පටයේ ජනප්‍රිය ම ගීයක් - https://youtu.be/WCVUCqrhOXI

ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ටී.අර්ජුන්

ඔබේ අදහස දක්වන්න