ජුනි 22 වැනි දා

වයින් සහ බියර් පානය කරන අය සඳහා සහන දිය යුතු බවටීහා නිවාඩු දිනයන් හි මත්පැන් හල් වසා තැබිය යුතුද යන්න පිළිබඳ මුදල් අමාත්‍යංශය තොරතුරු ලබා ගනිමින් සිටින බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවිර ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ තොරතුරු ලබා ගැනිමෙන් පසුව ඊට අදාල ප්‍රතිපත්තිමය තින්දුවක් ගෙන ක්‍රියාත්මක කරන්න කලින් රට දැනුවත් කරනා බවද ඇමතිවරයා සඳහන් කළේය.
සුරාබදු ආ ඥා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයට එක් වෙමින් ඇමතිවරයා මේ බව කීවේය. නිවාඩු දිනයන්හි මත් පැන් හල් වසා දැමු පසු නිති විරෝධි කසිප්පු අලෙවිය ඉහළ යන අතර නිත්‍යානුකූල මත්පැන් හල් හිමියන්ද හොර පාරෙන් වැඩි මිලට මත් පැන් අලෙවි කරනා බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
 පොහොය දිනයට ගරු කිරිමක් වශයෙන් මත් පැන් හල් වසා දැමුවට කමක් නැහැ.... නමුත් විදේශ සංචාරකයන් වැඩියෙන් පැමිණෙන නත්තල් කාලයේත් මත් පැන් හල් වසා දැමිමෙන් සංචාරකයන් නැවත එන්නේ නැහැ....” යැයිද ඇමතිවරයා පැවසීය.
මෙවැනි යල් පැන ගිය නිති යළි වෙනස් කළ යුතු බව පැවසු ඇමතිවරයා තායිලන්තය බෞද්ධ රටක් වුවත් ඔවුන් මත්පැන් හල් වසා දමන්නේ අවුරුදු 05 කට වරක් එළැබෙන මහ මැතිවරණයේදි පමණකැයිද මංගල සමරවිර මහතා පෙන්වා දුන්නේය.
වයින් සහ බියර් සාමාන්‍ය පරිදි විකුණන්න අවස්ථාව ලැබෙන්නේ නම් බරපතල මත්පැන්වලට යොමු විමෙන් වැලකෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

 

අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධි විධාන) සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බවට නිතිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂය මතු කළ විරෝධය සම්බන්ධයෙන් කරුණු සොයා බලන බව කතානායක කරු ජයසුරිය දැනුම් දුන්නේය.
විපක්ෂයේ හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මතු කළ කරුණු සලකා බැලිමෙන් පසු කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තින්දුව දැනුම් දෙමින් කතානායකවරයා මෙසේද කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද  අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධි විධාන) (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නිවේදනයක් කිරිමට කැමැත්තෙමි.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්කර ගනු ලබන බවට අධිකරණ අමාත්‍යවරයා තිරණය කරන ලද බව නීතිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයට යටත්ව ඉහත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවට පෙත්සම්කරු විසින් කරන ලද ඉල්ලීමට අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන ලද බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මා වෙත දන්වා ඇති බව දන්වනු කැමැත්තෙමි.
ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන -
මෙම පනත නිතිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැති බව කියා එවා ඇති පනතක්. නමුත් පෙත්සම්කරුවන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේදි පනත අභියෝගයට ලක් කළ අවස්ථාවේ නිතිපතිවරයා එම කරුණු පිළිගෙන මෙය අස්කර ගන්නා බව කියා තිබෙනවා.
මෙය බරපතල ප්‍රශ්නයක්. මීට පෙරත් නිතිපතිතුමා පනත් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා. ව්‍යවස්ථාවට එකඟයි කියා සහතික කර කැබිනට් මණ්ඩලයට යවලා ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයේදි එය මෙසේ ඉල්ලා අස්කර ගැනිම සුදුසු පිළිවෙතක් නෙවෙයි.
මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනිමට එකඟ වී ඇත්තේ එක් පෙත්සම්කරුවෙක් පමණයි. එම නිසා අනිත් පෙත්සම්කරුගේ තර්ක වාර්තා විය යුතුයි. නැතිනම් මේ පෙත්සම්කරුවන් අමාරුවෙන් වියදම් කරන මුදල්වල තේරුමක් නැහැ. රටක් නොමඟ යවන නිතිපතිතුමා නිවැරදි කිරිමට කටයුතු කරන්න.
කතානායක - හොදයි මා ඒ ගැන අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නම්.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල  -
ඒක ඒ විදියටම පිළිගන්න බැහැ. මොකද අපි අභියාචනාධිකරණයට ගියාම ඊට පෙර අධිකරණය දුන් තින්දුව වෙනස් වෙනවා. එතකොට ඒ තින්දුව දුන් විනිසුරුවෙකු ඉල්ලා අස්වෙන්න ඕනද... හැමදාම උදේ පාන්දර කාලය නාස්ති කරන මේ වගේ තර්ක ගෙනෙනවා.
එම්.ඒ. සුමන්තිරන්  (දෙ.ජා.ස) –
දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මතු කළ ගැටළුවට මම එකඟ වෙනවා. මෙතැන ගැටළුවක් තියෙනවා. අධිකරණ ඇමතිතුමා මේ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගත් බව නිතිපතිතුමා අධිකරණයට දැනුම් දෙනවා පනත ව්‍යවස්ථාවට පටහැනියි කියලා. ඒ අනුව මේ අවස්ථාවේදි ඒ ගැටළුව පැන නැගින්නේ නැහැ.
ඇමති එස්.බි. දිසානායක  -
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන හැම පනතක්ම සංශෝධනයක්ම නිතිපති දෙපාර්තමේන්තුව අනුමත කරනවා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියාම සමහර ඒවා පිළිගන්නවා. සමහර ඒවා පිළිගන්නේ නැහැ. නිතිපතිතුමා ඉදිරිපත් කරන්නේ නිතිමය මතයක්. ඒ මතය වෙනස් වෙන්න ඕනතරම් ඉඩ තියෙනවා. අධිකරණයේදි නිතිපතිවරයා එකඟ වුනා කිම ඇමතිවරයා හෝ පාර්ලිමේන්තුව මුලා කිරිමක් නොවෙයි.
නියෝජ්‍ය ඇමති අජිත් පි පෙරේරා -
සුමන්තිරන් මන්ත්‍රීතුමා කියු පරිදි මේ නිශ්චිත කාරණයේදි නිතිපතිතුමා තමන්ගේ මතය වෙනස් කරගෙන නැහැ. එතුමා කියලා තියෙන්නේ විෂයභාර ඇමතිවරයා මේ පනත් කෙටුම්පත ඉදිරියට ගෙන නොයන බවයි.
වාසුදේව නානයක්කාර  - නීතිපතිතුමාගේ විශ්වාසනීයත්වය ආණ්ඩුවේ ප්‍රශ්නයක් විතරක් නොවෙයි. ඒක මුළු රටේම ප්‍රශ්නයක්.
කතානායක – මම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නම්.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වු විශ්ව විද්‍යාල සිසුන්ට පහරදිම මෙන්ම ඊට විරෝධය පළ කර වෛද්‍යවරුන් වර්ජනය කිරිම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටි විශේෂ සභාව කල් තැබිමේ යෝජනාව එහි මන්ත්‍රීවරු සභාවේ නොසිටිම නිසා විවාදයට නොගෙන සභාව 23 වැනි දා දක්වා කල් තැබිමට මූලාසනයට සිදුවිය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන සභා කටයුතු ආරම්භයේදි කල් තැබිමේ විවාදයක් ලෙස මේ කාරණය ගත යුතු බවට කතානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලා සිටි අතර විවාදය ලබාදිමට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල එකඟතාවය පළ කළේය. ඒ අනුව විවාදය සවස 5.30 ට ලබා දෙන බව ආණ්ඩු පක්ෂය මුලින් යෝජනා කළත් දිනේෂ් ගුණවර්ධනගේ ඉල්ලිම පරිදි සවස 4.30 ට ලබාදිමට තිරණය විය. සර්වජන ඡන්ද බලය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ගෙනඒමට නියමිතව තිබු සභාව කල් තැබිමේ යෝජනාව අත්හිටුවා මෙම විවාදය ගැනිමට තිරණය කෙරුනි.
කල් තැබිමේ යෝජනාව ඉල්ලා සිටි දිනේෂ් ගුණවර්ධන සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණි විශ්ව විද්‍යාල සිසුන්ට හා ඉන් පිටත සිටි සිසුන්ට අමානුෂික ලෙස පහරදිමත් ඊට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩවර්ජනයත් නිසා බරපතල අර්බුදයක් ඇතිව තිබෙනා බව කිවේය. මේ අතර සිසුන් විශාල වශයෙන් අත්අඩංගුවට ගැනිමටත් පටන් ගෙන තිබිම නිසා මේ හදිසි කාරණය සාකච්ඡා කිරිමට කල් තැබිමේ විවාදයක් අවශ්‍යයි.
මෙහිදි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල එය විවාදයට ගැනිමට තමන්ද එකඟ බව ප්‍රකාශ කළේය. ඒ අනුව කතානායක කරු ජයසූරිය කිවේ සවස 5.30 සිට එය විවාදයට ගත හැකි බවයි. දිනේෂ් ගුණවර්ධන එය සවස 4.30 ට ලබා දෙන ලෙස කළ ඉල්ලිමට අනුව සවස 4.30 සිට රාත්‍රි 7.30 දක්වා කාලය තුළ මෙම සභාව කල් තැබිමේ විවාදය පැවැත්වෙන බව කතානායකවරයා නිවේදනය කළේය.
සුරාබදු අාඥා පනත යටතේ නියම ඊට පෙර විවාදයට ගත් අතර සවස 4.00 වන විට එම විවාදය අවසන් විය. එම අවස්ථාවේ මුලාසනයේ සිටි සභාපති මන්ත්‍රී ආනන්ද කුමාරසිරි  සභාව 23 වැනි දා පෙරවරු 10.30 දක්වා කල් තබා විශේෂ කල් තැබිමේ විවාදය සඳහා අවස්ථාව ලබා දෙන ලදි. නමුත් එම අවස්ථාවේ එම විවාදය ගැනිමට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන හෝ වෙනත් මන්ත්‍රීවරයෙකු නොසිටිම නිසා පාර්ලිමේන්තු කටයුතු අවසන් කිරිමට මුලාසනයට සිදුවිය.
සභාව කල් තබන අවස්ථාවේ සභාව තුළ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මෙන්ම උසස් අ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ද සිටියහ.

 

පොලිස් දෙපාර්තමේන්තුව සඳහා සුනඛයින් 50 දෙනෙක් මෙම වසර තුළදි මෙරටට ගෙන්විමට නියමිත බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක‍ ප්‍රකාශ කළේය.
පොලිසියට අමතර ත්‍රිවිධ හමුදාව සඳහා රුපියල් මිලියන 18 ක් වටිනා සුනඛයින් ආනයනය කරනා බව රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජයවර්ධන ද එහිදි කීවේය.
ආරක්ෂක සුනඛයින් අභිජනන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළ අසාර්ථක බැවින් නිල සුනඛයින් ආනයනය කිරිමට සිදුවන බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය. මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව සතුව නිල සුනඛයින් 177 ක් සේවයේ යෙදි සිටින බවද ඇමති රත්නායක කීවේය.
ත්‍රිවිධ හමුදාවට අනුයුක්ත කර ඇති සුනඛයින් සංඛ්‍යාව ආරක්ෂක හේතුන් මත හෙළි කළ නොහැකි බවත් එක් එක් බලකායන් අනුව සුනඛයින් නඩත්තුවේදි යුද හමුදා ඉංජිනේරු බලකාය රුපියල් 15476 ක්ද, කොමාන්ඩෝ බලකායට රුපියල් 11037 ක්ද වැය වන බව රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා කීවේය.
ඊට අමතර නාවික හමුදාව රුපියල් 26160 ක්ද, ගුවන් හමුදාව රුපියල් 7962 ක්ද වැය කරනා බවද ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

&nbsp
ඒකාබද්ධ විපක්ෂය කල් තැබිමේ යෝජනා ඉල්ලා සිටින්නේත්, විශ්ව විද්‍යාල සිසුන් අමාත්‍යාංශයට කඩා වැදුනේත්, වෛද්‍යවරු වර්ජනය කරන්නේත් සයිටම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩුවට බලපෑම් කිරිමට බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.
මේ කිසිදු බලපෑමකට ශ්‍රේෂ්ඨාධිකරණය යටතේ නොවන බව ඔහු කීවේය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි සභාව කල් තැබිමේ යෝජනාව ඉදිරිපත් කිරිමට දිනේෂ් ගුණවර්ධන මහතා නොසිටිම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරිමට පාර්ලිමේන්තු සංකිර්ණයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඇමතිවරයා මේ බව කීවේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කල් තැබිමේ විවාදයක් ඉල්ලද්දි එය ගන්න දිනට දින එකහමාරකට පෙර ඉල්ලා සිටිය යුතුයි. එසේ නොමැතිව හදිසියේ විවාදයක් ඉල්ලා සිටින අවස්ථාවක මන්ත්‍රීවරු විසි දෙනෙක් නැගී සිට එය ඉල්ලන්න ඕනේ. නමුත් මේ අවස්ථාවේ අපි එහෙම කියන්නේ නැතුව දිනට නියමිත කල් තැබිමේ විවාදයත් අතහැර මේ විවාදයට කැමැත්ත දුන්නා.
ප්‍රධාන න්‍යාය පත්‍රයට කාලය වෙන් කලාට සමහර අවස්ථාවලදි මන්ත්‍රීවරු නොමැතිවිම නිසා විවාදය වේලාසනින් අවසන් වෙනවා. අද දිනයේ වුනෙත් කතිකයන් කතා කරන අවස්ථාවේ නොමැතිවිම නිසා වේලාසනින් ප්‍රධාන විවාදය අවසන් වුනා. මුලාසනය කථිකයෝ නැතිවුනාම ඊළග යොජනාවට යොමු වෙනවා. අද දිනයේ ඊලග යෝජනාව ලෙස තිබුණේ සභාව කල් තැබිමේ යෝජනාවයි. නමුත් යෝජනාව ඉදිරිපත් කරන්න දිනේෂ් ගුණවර්ධන මහත්තයා සභාවේ හිටියේ නැහැ.
ඔහුගේ නම මුලාසනයෙන් දෙවරක් ප්‍රකාශ කළා. ඔහු නැති නිසා මුලාසනයට සිදුවුනා සභාව කල් තියන්න. අපට ආරංචි හැටියට එතුමා ජි.එම්.ඔ එකත් එක්ක සාකච්ඡාවකට ගිහිල්ලා ඉදලා තියෙන්නේ. ආණ්ඩු පක්ෂය පැත්තෙන් මම සියලූම කතිකයන්ට එන්න කියලා දැනුම් දුන්නා. පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රධාන විවාදය වේලපහින් ඉවර වෙන නිසා ඉක්මණින් පැමිණෙන්න කියලා දිනේෂ් ගුණවර්ධන මහත්තයට දැනුම් දිලා තිබුණා. නමුත් ඔහු අවේ නැහැ.
ආනන්ද කුමාරසිරි මහතා -
මම ඒ අවස්ථාවේ මුලාසනයේ සිටියේ. කථිකයෝ අඩු නිසා මම ප්‍රධාන විවාදය 4.30 දක්වා ගෙන යන්න හිටපු කථිකයන්ට වේලාව වැඩියෙනුත් දුන්නා. පසුව මම ලේකම් මණ්ඩලයට කිව්වා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාට ඉක්මනට එන්න කියන්න කියලා. ඒත් ඔහු නියමිත වෙලාවේ ආවේ නැහැ.
සභාව කල් තිබ්බාට පස්සේ තමයි කල් තැබිමේ විවාදය ගන්නේ. දිනේෂ් ගුණවර්ධන මහතා සබානායක තුමාට ෙදාස් කියලා වැඩක් නැහැ. එතුමාට සභාවට එන්න තිබුණා. අනෙක කල් තැබිමේ විවාදයේ අවසන් කතාව කරන්න හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මැතිතුමාත් ඒ වෙනකොට ඇවිල්ලා හිටියා.
මෙහිදි අශු මාරසිංහ, විජයපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ අදහස් දැකිවිමෙන් පසු මාධ්‍යවේදින් ඇසු ප්‍රශ්න හා සභානායකවරයා දුන් පිළිතුරු මෙසේය.
මාධ්‍යවේදින් – කල් තැබිමේ විවාදය හෙට දිනයේ යළිත් ඉල්ලා සිටින බව ඒකාබද්ධ විපක්ෂය කියනවා. එය දෙන්න සුදානම්ද
සභානායක – යළි දෙනවාද නැද්ද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. මොකද අපටත් යොදා ගත්තු වෙනත් වැඩ තියෙනවා. අපි ස්වකැමැත්තෙන් දුන්න විවාදය තමයි ඔවුන් අතහැර ගත්තේ. ශොක් යෝජනා තමයි අද විවාදයට ගන්න තියෙන්නේ.
මාධ්‍යවේදින් - දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කිව්වා ඔහු පාර්ලිමේන්තුවට පැමිණ සිටියා සුළු වේලාවක් තව විවාදය තියා ගන්න තිබුණා නමුත් ඕන කමින් ආණ්ඩුව විවාදය නැවැත්තුවා කියලා.
සභානායක - පාර්ලිමේන්තු සම්ප්‍රදාය තමයි යෝජනාව ගේන කෙනා සභාවේ ඉන්න ඕනේ කියන එක. ඔහු නැතුව වෙන කෙනෙකුට එය ඉදිරිපත් කරන්න බැහැ. නම කතා කරලා මන්ත්‍රීවරයා හිටියේ නැත්නම් එය ලැජ්ජාවක්. ඒ නිසා අපේ යෝජනාවක් තියෙන වෙලාවට අපි සභාවේ රැදි සිටිනවා. අගමැති තුමා අපට කියලා තියෙන්නේ පාර්ලිමේන්තුවට මුල් තැන දෙන්න කියලායි.
මාධ්‍යෙවිදින් - සිසුන්ට පහරදිම ගැන ඔබේ අදහස මොකක්ද
සභානායක – ඒ ගැන විවාදයකදි අපි කියන්නම්.
මාධ්‍යවේදින් - ස්ථාවර නියෝග එකේ සිට අවසානය දක්වා කියන්න කියලා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා ඔබට අභියෝග කලා.
සභානායක - ස්ථාවර නියෝග කියන්න ඕනේ නැහැ නම කතා කරන කොට හිටියේ නැතිනම් මොකද වෙන්නේ කියලා ඕනෑම මන්ත්‍රීවරයෙක් දන්නවා. ඊළගට ඉන්න මන්ත්‍රීවරයාට ඒ අවස්ථාව දෙනවා. මමත් ආසාවෙන් හිටියේ උසස් අධ්‍යාපන ඇමති ලෙස මේ විවාදයේදි මගේ අදහස කියන්න. මේ කට්ටිය මේ ෂෝ දාන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සයිටම් ඇපෑලට බලපෑම් කරන්නයි.

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න