ජූලි 05 වැනි දා

අධිකරණය විසින් කසල බැහැර කිරිම තහනම් කරමින් නියෝගයක් ලබාදිමෙන් සිදුවන්නේ ඩෙංගු ආදි විවිධ රෝග පැතිරි ජනතාව මරණයට පත්විම යැයි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරුන් විසින් අගමැතිවරයාගෙන් සෘජු ව ප්‍රශ්න අසන අවස්ථාවේදි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක කුණු ඉවත් නොකිරිම සම්බන්ධයෙන් ඇසු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේ ය. එහිදි අගමැතිවරයා මෙසේ ද කී ය.
නාගරික කසල බැහැර කිරිමට නිසි ස්ථානයක් නැහැ. ඒ නිසා ගැටළු මතුව තිබෙනවා. මේ සඳහා ස්ථිර ස්ථානයක් යොදා ගැනිමට කටයුතු කරනවා. ඒ ඒ පළාතට සුදුසු ලෙස කසල කළමනාකරණයට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා. යන්ත්‍රාණුසාරයෙන් කොම්පෝස්ට නිපදවිම සඳහා පළාත් නවයට යන්ත්‍රනවයක්, ප්‍රතිචක්‍රිය ව්‍යාපෘති විසි පහක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. කසල ප්‍රවාහනයට යන්ත්‍ර සියයක් ද කොරියානු සහනාධාර යටතේ තවත් වාහන එකසිය පනහක් ද මිළට ගැනිමට කටයුතු කරනවා.
රාජපක්ෂ පාලනය ණය කන්දක් වගේම කුණු කන්දක් ඉතිරි කළා. රාජපක්ෂලා වගේ අපි මේ ප්‍රශ්නවලට බයේ පැනලා යන්නේ නැහැ. ඉදිරි පරපුරට ණය බර නැති කුණු නැති හෙටක් උරුම කර දෙන්න අප කටයුතු කරනවා.
දැනට ෙදාම්පෙට, මුතුරාජවෙලට, කරදියානට කුණු ගෙනියනවා. මුතුරාජවෙල සමහර තැන්වලට කුණු දැමිමෙන් හානි සිදුවෙනවා. කරදියානට, මුතුරාජවෙලට කුණු දැමිම අධිකරණයෙන් තහනම් කරලා කුණු කොහොම හරි ශුද්ධ කරන්න අප කටයුතු කරනවා. දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ කුණු කරදියානට ගෙන යාමට ප්‍රශ්නයක් නැහැ. නමුත් කොළw, කොළොන්නාව, කඩුවෙල, බියගම, කැළණිය ආදි පළාත් පාලන ආයතනවලට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ සම්බන්ධයෙන් අධිකරණයේ තියෙන නඩුවට තින්දුවක් නොදිම නිසා.
මුතුරාජවෙල කුණු දැමිම ගැන පරිසර අධ්‍යයනයක් කරගෙන යනවා. ඒ අතර උසාවියෙන් තිනුවක් දිලා තියෙනවා. උසාවි නියෝග දෙන්න ගියොත් කුණු ප්‍රශ්නය වැඩිවිය හැකියි. කුණු අඩු වෙන්නේ නැහැ. මේවා අත්‍යවශ්‍ය සේවා . ඒවාට කොහොමද නියෝග දෙන්නේ. තින්දුව දෙන්න කලින් අනෙක් පාර්ශවයත් කැදවා සාකච්ඡා කරලා තිරණයක් දීමේ වගකිම උසාවිවලට තියෙනවා. මේක බරපතල ප්‍රශ්නයක්. ඩෙංගු හැදිලා මිනිස්සු මැරෙනවා. මෙහෙම තහනම් නියෝග දුන්නොත් රටේ ලෙඩ රෝග පැතිරෙනවා. හමුදාව, පොලිසිය, නගර සභා ලැහැස්තියි මේ කුණු ඉවත් කරන්න. 

අයි.එස්.අයි.එස් සංවිධානය විසින් කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයට පහරදිමට සුදානමක් ඇති බවට පළ වූ වාර්තා තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කළත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පැවත්වන බව අගමැතිවරයා කියයි.
කොළඹඇමරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කිරිමට ඇති සුදානම් ගැන පුවත් පතක් වාර්තා කර තිබුණ ද එය ඇමරිකාව ප්‍රතික්ෂේප කළ බව පැවසු අගමැතිවරයා පුවත්පතට විශේෂ තොරතුරු තියෙද කියා පරික්ෂා කරන බලන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළ බවද ප්‍රකාශ කළේ ය.
අයි.එස්.අයි.එස් ප්‍රහාරයන් සම්බන්ධයෙන් විශේෂ තොරතුරක් ඇති නම් අවශ්‍ය පියවර ගන්නා ලෙසටද තමන් පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව එක්සත් ජාතික පක්ෂ කොළඹදිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහමන් මහතා විසින් අගමැතිවරයාගෙන් සෘජුව ප්‍රශ්න අසන අවස්ථාවේ ඇසු අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පවසන ලදී.

එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි එස්.එම් මරික්කාර් ප්‍රශ්නයක් විමසු අතර ඒ අතරතුරදි මුජිබර් රහමන් ද අතරු ප්‍රශ්නයක් නැගී ය. මරික්කාර් මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා මෙසේ ද කී ය.

ශ්‍රී ලංකාව තුළ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට සාමකාමිව ජිවත්විය හැකි වාතාවරණයක් අප සකස් කර තිබෙනවා. අන්තවාදින්ගේ අරමුණ ජාතිවාදය අවුස්සා රට තුළ අස්ථාවරභාවය ඇති කිරිමයි. සමහර ජනමාධ්‍යත් ජාතිවාදය, ආගම්වාදය අවුස්සන ආකාරයේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා. සෑම පොලිස් වසමක්ම දිවා රාත්‍රී මුර හා පාබල සංචාර සහ ප්‍රජාව දැනුවත් කිරිමේ කටයුතු සිදුකරමින් මේ තත්ත්ව පාලනයට කටයුතු කරනවා.
මුස්ලිම් පල්ලි, බෞද්ධ සිද්ධස්ථානවලට හානිවූවා නම් සහන ලබාදීම අපේ ප්‍රතිපත්තියයි.ජාතිවාදයට ආගම්වාදයට අපේ රටේ ඉඩක් නැහැ. එවන් අසත්පුරුෂකම් කරන අයට හිමිවන්නේ ඉතිහාසයේ කුණු බක්කියයි.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරිම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරිම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත විවාදය සඳහා ඉදිරිපත් නොකරන බව ආණ්ඩුව පාර්ලිමේන්තුවට දැනුම් දේ.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දි විවාදයට දින නියම කර තිබූ අතර කතානායක කරු ජයසුරිය අදාල පනත් කෙටුම්පත විවාදයට ගන්නේදැයි විමසා සිටියේ ය. එහිදි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ එය ඉදිරිපත් නොකරන බවයි.
බලහත්කාරයෙන් අතුරුදහන් කිරිම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරිම් සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත වෙනුවට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප් හා දිමනා ප්‍රතිශෝධනය කිරිමේ යෝජනාව විවාදයට ගන්නා බව ද සභානායකවරයා කීවේය.
මෙහිදි විපක්ෂයෙන් ප්‍රශ්න කරනු ලැබුවේ එම පනත ගන්නේනැත්තේ මන්ද යන්නයි. ඊට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අවස්ථාවේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප් වැඩිවිම පිළිබඳ යෝජනාව දිගටම විවාද කළ යුතු බවට තින්දුවක් ගත් බවයි.

මෙම වසරේ මුල් කාර්තුව සඳහා අමාත්‍යාංශ 51 කට වෙන් කළ මුදලින් රුපියල් කෝටි හයදහස් අටසිය අනු තුනක් වියදම් කර නැතැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2017 පළමු කාර්තුවේ මුල්‍ය කාර්ය සාධන වාර්තාවේ සඳහන්වේ.
අමාත්‍යාංශ පනස් එකක් වෙනුවෙන් මෙම වසරේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාස තුන සඳහා වැය කිරිමට ඉලක්ක ගත වියදම රුපියල් කෝටි එක්ලක්ෂ දෙදහස් හයසිය විසි පහකි. එහෙත් අමාත්‍යාංශ විසින් මෙම කාලය තුළදි සත්‍ය වශයෙන් දරණ ලද මුල්‍ය සහ පුනරාවර්ථන වියදම වන්නේ රුපියල් කෝටි අනු පන්දහස් හත්සිය තිස් හයක් බවද අදාළ වාර්තාවේ තවදුරටත් සඳහන්වේ.
ඒ අනුව පළමු කාර්තුව සඳහා අමාත්‍යාංශ පනස් එකක සත්‍ය වියදමේ ප්‍රතිශතය වන්නේ ඉලක්ක ගත වියදමෙන් සියයට අනු තුනයි දශම තුනකි.
ආරක්ෂ අමාත්‍යාංශය ඉලක්ක ගත මුදලට වඩා රුපියල් කෝටි 1010 ක්, මුදල් අමාත්‍යාංශය රුපියල් කෝටි 32 ක්, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය රුපියල් කෝටි 163 ක්, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය රුපියල් කෝටි 113 ක්, සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශය රුපියල් කෝටි 663 ක්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය රුපියල් කෝටි 278 ක්, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය රුපියල් කෝටි 420 ක්, කෘෂි කර්ම අමාත්‍යාංශය රුපියල් කෝටි 307 ක්, පාර්ලිමේන්තු  හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 34 ක්, අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් කෝටි 752 ක් අඩු වෙන් වියදම් කර තිබේ.
එසේම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නැවත පදිංචි කිරිමේ අමාත්‍යාංශය රුපියල් කෝටි 173ක්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ රුපියල් කෝටි 326 ක්, මහවැලි සංවර්ධන හා පරසර අමාත්‍යාංශය රුපියල් කෝටි 360 ක්, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංහ්‍ය රුපියල් කෝටි 439 ක්, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය රුපියල් කෝටි 245 ක් සහ නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 201 ක් මෙම වසරේ පළමු කාර්තුවේදි ඉලක්ක ගත වියදමට වඩා අඩුවෙන් වියදම් කර ඇතැයි ද අදාල වාර්තාවේ දැක්වේ.

 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම සම්බන්ධයෙන් පැවැති සම්මන්ත්‍රණයට අස්ගිරි - මල්වතු පාර්ශව ප්‍රධාන ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ට ආරාධනා කළත් උන්වහන්සේ ඊට සහභගි නොවු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව නිවේදනය කරයි.
ඊට සහභාගි වන ලෙස උන්වහන්සේලාට ආරධනා කළ අවස්ථාවේ නොයෙක් හේතු දක්වමින් ඊට සහභාගි විය නොහැකි බව දැනුම් දුන් බවත් මල්වතු පාර්ශවය නියෝජනය කරමින්  පුජ්‍ය වැලිවිට සෝරත හිමියන් සම්මන්ත්‍රණයට වැඩම කොට එය අවසන් වන තෙක් රැදි සිටි බවද එම නිවේදනයේ දැක්වේ.
2017 ජුනි මස 28 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සම්මන්ත්‍රණයට මහා සංඝරත්නයට ආරාධනා නොකළ බවට පළ වූ පුවත් සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටු ලේකම් නිල් ඉද්දවෙලගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
අදාල සම්මන්ත්‍රණයට මහනායක ස්වාමින්වහන්සේලාට සහභාගී විමට ඇති හැකියාව පිළිබඳ, මහානායක හිමිවරුන්ගේ කාර්යාලයෙන් අමතා විමසන ලදි. මල්වතු පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමියන්ගේ කාර්යාලය විසින් ඒ වන විට අදාල දිනට යොදා ගත් විශේෂ රාජකාරියක් නොමැති බවත්, එම නිසා උන්වහන්සේට මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීමට හැකියාවක් පවතින බවත් දැනුම් දෙන ලදි.
අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී  ඥානරතන හිමියන්ගේ කාර්යාලය විසින් අදාළ දිනයට නානුමුර මංගල්‍යය පැවැත්වීමට නියමිතව ඇති බැවින් උන්වහන්සේට සම්මන්ත්‍රණයට වැඩම කිරිමේ හැකියාවක් නොමැති බව දැනුම් දෙන ලදි.
රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමින්වහන්සේ එදිනට මියැන්මාරයට වැඩම කිරිමට නියමිතව ඇති බැවින් නිකාය නියෝජනය කරමින් වෙනත් ස්වාමින් වහන්සේ නමක් නම් කළ හැකි බවද උන්වහන්සේගේ කාර්යාලයෙන් දැනුම් දෙන ලදි.
අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් විසින් 2017 ජුනි මස 28 වන දින සම්මන්ත්‍රණයේ කුමන හෝ වේලාවකදි වැඩම කිමෙට උත්සාහ දරන බවට දැනුම් දෙන ලදි. අමරපුර නිකායේ මහනායක ස්වාමින්වහන්සේ හට නිවිතිගල ප්‍රදේශයේ නායක ස්වාමින්වහන්සේ නමකගේ අපවත්විමක් නිසා සම්මන්ත්‍රණයට සහභාගි විය නොහැකි බව 2017- ජුනි මස 27 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මහලේකම් කාර්යාලයට දැනුම් දෙනලදි.
ඊට අමතරව රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් වෙනුවෙන් රාමඤ්ඤ නිකාය නියෝජනය කරමින් පුජ්‍ය මැදගමුවේ විජය මෛත්‍රි ස්වාමින්වහන්සේ ඊට සම්බන්ධ කර ගැනිම සඳහා අවශ්‍ය විස්තර පුජ්‍ය මාතලේ ධම්මකුසල අනුනායක ස්වාමින් වහන්සේ විසින් ලබා දුනි. උන්වහන්සේ ඊට සහභාගිවීමට උත්සාහ දරන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මහලේකම් කාර්යාලයට දැනුම් දෙන ලදි.
 

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න