වාසිදායක පනතක්

යෝජිත නව දේශීය ආදායම් පනත මෙරට බදුකරණය සරල කෙරෙන්නක් යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර කියයි.

එමෙන් ම එය ශ්‍රී ලංකාවට පැමිණෙන ආයෝජකයින් හට මිත්‍රශීලී පනතක් වනු ඇතැයි හෙතෙම පෙන්වා දේ.

පවතින බදු ක්‍රමය ඉතා සංකීර්ණ වන අතර, එය අර්ථකථනය පවා ඉතා දුෂ්කර ව ඇතැයි පැවසූ අමාත්‍යවරයා, නව පනත මඟින් බදු ක්‍රමය පුළුල් කර ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වූ දේශ සීමාන්තර වාණිජ කටයුතුවලට අදාල ප්‍රතිපත්ති ද ඇතුළත් කර ඇතැයි පැවසී ය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් 10 වැනි දා අමාත්‍යාංශයේ දී හමු වූ අවස්ථාවේ ඔහු මේ බැව් පෙන්වා දෙන ලදී.

අදාල නව පනත සම්බන්ධයෙන් හෝ බදු අයකිරීම සම්බන්ධයෙන් වන දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් ගැටළුවක් වෙතොත් ඊට සාධනීය ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බව පැවසූ අමාත්‍යවරයා වෘත්තීය සමිති නියෝජිතයන් හට ඒ පිළිබඳ යම් ගැටළුවක් වන්නේනම්, මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන්නැයි අමාත්‍යවරයා දැනුම් දුන්නේ ය.

මෙරට බදු අයකිරීම 2011 වසර සිට අඛණ්ඩ ව පහත වැටී ඇති අතර, නව රජය මඟින් ගෙනයන ලද ප්‍රතිසංස්කරණ හේතුවෙන් බදු අයකිරීම  ඉතා ඉහළ මට්ටමට ළඟා වූ බව හෙතෙම ප්‍රකාශ කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලනමය හා තාක්ෂණික ගැටළු පිළිබඳ  අමාත්‍යවරයාගේ අවධානය යොමුකළ වෘත්තීය සමිති නියෝජිතයන් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලය සඳහා දේශීය හා විදේශීය පුහුණු අවශ්‍යතාව පිළිබඳ ද අදහස් පළ කළ හ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා නව ගොඩනැගිල්ලක අවශ්‍යතාව පිළිබඳ ද ඇමතිවරයාගේ අවධානය යොමු කරවන ලදී.

මෙම සාකච්ඡාවට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් වන ජී.ඩී.සී. ඒකනායක, එස්.ආර්. ආටිගල, රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ. සෙනෙවිරත්න, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක ඇතුළු නිලධාරීන් සහභාගී වූ හ.

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/1258701734259187

සංඛ අබේගුණසේකර
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න