අගෝස්තු 10 වැනි දා

මෙරට දේශපාලනයේ නව දේශපාලන සංස්කෘතියක් උදෙසා සිය තනතුර කැප කරන බව පවසමින් විදේශ ඇමති රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ දි 10 වැනි දා විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමතිධූරයෙන් ඉල්ලා අස්වූවේය.
මෙම තින්දුව ගත්තේ කිසිදු දුකකින් හෝ ආඩම්බරයකින් නොවන බව පවසමින් සිය විශේෂ ප්‍රකාශය අවසන් කළ රවි කරුණානායක මහතා ඉදිරිපෙළ අසුනෙන් නැගිට ගොස් පසු පෙළ අසුනක අසුන් ගත්තේය.
සිය ලිපි ගොනු රැගෙන පසු පෙළ ආසනය වෙත රවි කරුණානායක මහතා යද්දි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු අත්පොලසන් දෙමින් ප්‍රසාදය පළ කල අතර විපක්ෂයේ මන්ත්‍රීවරු ඝෝෂා කරන්නට වූහ.
රවි කරුණානායක මහතා සිය විශේෂ ප්‍රකාශය කරද්දි විපක්ෂ මන්ත්‍රීවරු ඝෝෂා කරන්නට වීම නිසා ඔහුට සිය ප්‍රකාශය කරන්නට වූවේද ඝෝෂා මධ්‍යයේය. විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා රවි කරුණානායක මහතා අගය කරමින් කතා කරද්දි දිනේෂ් ගුණවර්ධන මහතා සම්බන්ධන් මහතාට ෙදාස් නගමින් ඒ අසලට එද්දි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ඝෝෂා කරමින් සභාව මැදට පැමිණිමට උත්සාහ කළහ.
සිය ඉල්ලා අස්විම ප්‍රකාශ කරමින් රවි කරුණානායක මහතා මෙසේ ද කීය.
පසුගිය දින කීපයේ ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා මා සම්බන්ධ විවිධ ප්‍රවෘත්ති පළ වුණා. අදහස් හුවමාරු වුණා. පාර්ලිමේන්තුවේදීත්, මන්ත්‍රීවරුන් යම් යම් මත පළ කළා. මට විරුද්ධව විශ්වාස භංග යෝජනාවකුත් බාර දී තියෙනවා.
ඒ නිසා මම හිතුවේ මේ ගරු සභාවට කරුණු පැහැදිලි කිරීමක් කරන්නයි. 
කොළඹ03 මොනාක් නිවාස සංකීර්ණයේ නිවෙසක මා පදිංචි වී සිටීම පිළිබඳව ප්‍රශ්නයක් මතුවුණා. ඒ නිසා බැඳුම්කර කොමිසම හමුවේ මම කරුණු ඉදිරිපත් කළා. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා වගකිවයුතු ඇමතිවරයෙක් හැටියට මේ ගරු සභාව ඉදිරියේ කරුණු පැහැදිලි කිරීම හා මගේ ස්ථාවරය ප්‍රකාශ කිරීම වැදගත් කියා මා සිතුවා.
මම මුලින්ම මේ පිළිබඳ සත්‍ය කරුණු මේ ගරු සභාව ඉදිරියේ පැහැදිලි කරන්නම්.
අප පදිංචිවී සිට බත්තරමුල්ලේ නිවාසයේ අලූත්වැඩියා කටයුතු නිසා, වෙනත් නිවසකට යෑමේ අවශ්‍යතාවයක් මතුවී තිබුණා. මට නිල නිවාසයක් ද තිබුණේ නෑ. ඒ නිසා පවුලේ උදවිය වෙනත් නිවාසයක් සෙව්වා. නහිල් විජේසූරිය මහතාගේ දියණියට අයත් නිවාසයක් ලැබුණ බව අපේ පවුලේ අය මට පැවසුවා. අප ඒ නිවසේ පදිංචියට ගියා.
නහිල් විජේසූරිය මහතාගේ දියණිය මගේ දියණියගේ පාසැල් මිතුරියක්. නමුත් ඇය දේශපාලනඥයෙකුගේ නමට නිවෙස බදු දීමට අකමැති වී තියෙනවා. ඒ නිසා මේ දෙදෙනාගේම පාසැල් මිත්‍රයෙක් වූ අර්ජුන ඇලෝසියස් ගේ සමාගමක් වෙත මේ නිවෙස බදු දෙන ලෙස මගේ දියණිය යෝජනා කළා. ඒ සමාගමේ නමට නිවෙස බදු දුන්නා. අපේ දියණිය බදු මුදල් ඒ සමාගමට ප්‍රතිපූර්ණය කළා. 
පසු කලෙක නිවෙස විකුණා දැමීමට හිමිකාරිය තීරණය කළ නිසා අපේ පවුලේ සමාගමක් විසින් එය මිලදී ගත්තා. ඒ සඳහා සෙලාන් බැංකුවෙන් ණය මුදලක් ලබා ගත්තා. ඉඥරතචද ඕචදඬ – අඥට: ව්ධ – එඊඹ්/ඛ්අච්/2016 – 1535, 29ඉඥනබඥථඡඥප 2016 දරණ එම ණය මුදල සම්බන්ධ ලේඛන මම සභාගත කරනවා.
මේ ණය වාරික ගෙවීම් සමාගම වෙනුවෙන් සිදු කළේ සමාගමේ සභාපතිවරයායි.  මේ සියළු ගෙවීම් සමාගමේ ගිණුම් ගතවී තියෙනවා.
මේ ක්‍රියාදාමය පිළිබඳ සැඟවීමට කිසිවක් නැහැ. සවිස්තර තොරතුරු අවශ්‍ය අධිකාරීන් වෙත, අවශ්‍ය අවස්ථාවන්හි ලබා දීමට අපට පුළුවන්.
මම දේශපාලනයට පිවිසුණේ අපේ රටේ හිටපු ශ්‍රෙෂ්ඨ දේශපාලන නායකයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතා සමග තිබුණු සමීප ඇසුර නිසයි. එතුමාත් දේශපාලනයෙන් හම්බ කරපු කෙනෙක් නෙවෙයි. ඒත් එතුමාටත් නැව් ගිලපු ලලිත් කියමින් අපහාස කළා. චෝදනා කළා. නමුත් කාලයත් සමග ඒ චෝදනා සියල්ල බොරු බව ඔප්පු වෙලා තියෙනවා. එතුමාගේ ඇසුර නිසා දේශපාලනයට අවතීර්ණ වෙත්දී මම සාර්ථක ව්‍යාපාරිකයෙක්. මම මගේ පුද්ගලික මුදල් දේශපාලනය නිසා නැති කරගත්තා මිස, දේශපාලනයෙන් මුදල් හම්බ කළේ නැහැ.
නීති විරෝධී ලෙස හෝ, අනිසි ලෙස හෝ නිවසක් ලබා ගැනීමට තරම් අවශ්‍යතාවයක් මට නැහැ. මේ සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් මගේ බත්තරමුල්ලේ නිවසට පැමිණ තියෙනවා. අපේ පැත්තේ මන්ත්‍රීවරු විතරක් නෙවෙයි. අනික් පැත්තේ අයත්. විවිධ දේශපාලන සාකච්ඡා වලට ආවා. හිතවත් කමට ආවා. කාලා බීලා සතුටු වෙන්නත් ආවා. පක්‍ෂ මාරු කරන්නත් ආවා.
ඒ ආපු හැමෝම මගේ වත්කම් ගැන දන්නවා. මම නීති විරෝධී විදියට මුදල් හම්බ කරලා නැති බවත් දන්නවා. මගේ ව්‍යාපාරික කටයුතු සඳහා කිසිම අවස්ථාවක දේශපාලන බලය පාවිච්චි කරලා නැති බවත් දන්නවා. මම දේශපාලනයෙන් මුදල් හම්බ කරලා නැති බව, මට විරුද්ධ විශ්වාස භංග යෝජනාව අත්සන් කරපු හුඟක් අය පුද්ගලිකවම දන්නවා.
ඉස්සර ඇමතිවරයෙක් තියා ඇමතිවරයෙකුට ගෑවුණු කෙනෙක්වත් කොමිසම් ඉස්සරහට කැඳවලා නෑ. බලයෙන් ඔළුව පුම්බාගත්තු ඇමතිවරු ඒ කාලයේ හැසිරුණු ආකාරය අපි දන්නවා. අගමැතිවරු කටයුතු කරපු හැටි අපි දන්නවා. ජනාධිපතිවරු කටයුතු කළේ රජවරු වගෙයි. ඒ අය තවමත් නීතියට මුවා වෙන්න උත්සාහ කරනවා. 
අපි එහෙම නෑ. අපි නීතියට ගරු කරනවා. යුක්තියට හිස නමනවා. බැඳුම්කර කොමිසම වෙත සාක්‍ෂි කරුවෙන් ලෙස ගිහින් සාක්‍ෂි ලබා දී මා පෙන්නුම් කළේ ඒ නව දේශපාලන සංස්කෘතියයි. නව දේශපාලන සදාචාරයයි.
බැඳුම්කර කොමිසම පත් කළේ බැඳුම්කර නිකුත් කිරීමේ දී සිදුවූ කරුණු පිළිබඳව සොයා බලන්නයි. නමුත් දැන් ප්‍රසිද්ධ සංවාද පැවැත්වෙන්නේ පුද්ගලික සමාගම් හා නිවාස බදු දීමේ ප්‍රශ්නයක් ගැනයි.
බැඳුම්කර කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා මගෙන් ප්‍රශ්න කළ ආකාරය පිළිබඳ අවස්ථා කීපයකදීම විනිශ්චයකාරවරුන් මැදිහත් වුණා. ඔහුට අවවාද කළා. කොමිසමේ විනිශ්චයකරුවන් මැදිහත් හා අපක්‍ෂපාතී ලෙස කටයුතු කොට සත්‍යය සොයා ගන්නා බව මට විශ්වාසයි.
අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයාගේ හැසීරීම ගැන හෝ, වෘත්තීය නිපුණත්වයේ අඩුපාඩු ගැන හෝ මම මෙතන කතා කරන්න යන්නේ නෑ. ඔහු ඒ තරමටම ආවේගශීලීව හැසිරීමට හේතුව අපට ළඟදීම හෙළිදරව් වේවි. උසස්වීම් ලබා ගැනීමේ තරගයක ප්‍රථිපලයක් වෙන්නත් පුළුවන්. නැත්නම් වෙනත් හේතුවක් වෙන්නත් පුළුවන්.
නමුත් මම මෙතන අවධාරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙන කරුණක්.
රජයේ නීතිපති දෙපාර්තමේන්තුවට, තමන්ගේම රජයේ ඇමතිවරයෙක්ව ආවේගශීලීව වුණත් ප්‍රශ්න කරන්න පුළුවන් නිදහසක් අද තියෙනවා. එදා ඇමතිවරයෙක්ව ප්‍රශ්න කරන්න තියා ඇමතිවරයෙක් සම්බන්ධ ෆයිල් එකක් ඇරලා බලන්නවත් නීතිපති දෙපාර්තමේන්තුවට නිදහස තිබුණේ නෑ. ශක්තිය තිබුණේ නෑ.  
අනික් අතට, මේ අවස්ථවේ පිටු 8803 ක් පැය 48 ක පමණ කෙටි කාලයක් තුළ විමර්ශණය කරන්නට නීතිපති දෙපාර්තමේන්තුව සමත් වුණා. එය යහපත් ලක්‍ෂණයක්. 
අප නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ රටට ලබා ගන්නා ණය ආධාර සම්බන්ධයෙනුත් ඒ ආකාරයෙන්ම කඩිනමින් ක්‍රියා කරන ලෙසයි. යහපාලනය වෙනුවෙන් රජය ගෙන එන පණත් පිළිබඳවත් ඒ ආකාරයෙන්ම කඩිනමින් කරන ලෙසයි. කලින් රජයේ මැති ඇමතිවරුන්ගේ දූෂණ හා වංචා සෙවීම සම්බන්ධ කාර්යයන්හිදීත් මේ කාර්යක්‍ෂමතාවයම පවත්වාගෙන යන ලෙසයි. පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පරීක්‍ෂණ පවත්වා අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ලිපිගොනු 87 සම්බන්ධයෙන් ද මේ ආකාරයෙන්ම කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
මම එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් අවුරුදු 32 ක් තිස්සේ වෙහෙසුණා. පක්‍ෂයේ දුෂ්කර කාලයන්වලදී ඒ අභියෝගයන්ට මුහුණ දුන්නා. මගේ පුද්ගලික අභිලාශයන් සියල්ල පක්‍ෂය වෙනුවෙන් කැප කළා. ඒ නිසාම මට ජීවිත තර්ජන ආවා. මට බොරු චෝදනා එල්ල කරමින් නඩු පැවරුවා. මාව අත්අඩංගුවට ගන්න උත්සාහ කළා. විදේශ විනිමය නඩුවකට මාව පටලවා අවුරුදු 10 ක් තිස්සේ නඩුව ඇහුවා. අන්තිමේදී මාව නිෙදාස් කොට නිදහස් කළා. ඒ නඩුවෙන් චෝදනා ලැබූ රාජ් රාජරත්නම් මහතා ළඟ සේවය කළ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද මහබැංකුවේ අධිපති. මා මේ කරුණු කියන්නේ විපක්‍ෂයේ දී අපව දේශපාලන පළිගැනීම් වලට ලක් කළ බව පෙන්වා දෙන්නයි. ඒ කාලේ දේශපාලන වශයෙන් පළිගත්තා. දැන් චරිත ඝාතනය කරනවා.
ඒ කාලයේ පීඩනයට පත් කළේ මාව විතරක් නෙවෙයි. අංශභාගය සැදී අසනීපයෙන් සිටි මගේ අම්මා ට මිනී ඔළු එව්වා. බිරිඳ සහ දරුවන්ට මිනිස් අතපය එව්වා. ඒ සියළු දෙනා භීතියට පත් කෙරෙව්වා. ඒ සියල්ල මැද මම එක්සත් ජාතික පාක්‍ෂිකයන් වෙනුවෙන් මගේ සේවය අකුරටම ඉටු කළා. පක්‍ෂය දෙකඩ කරන උත්සාහයන් වැලැක්වුවා. නායකත්වය වෙනස් කිරීමේ කුමන්ත්‍රණ පරාජය කළා. පක්‍ෂයත්, පක්‍ෂ නායකතුමාත් ආරක්‍ෂා කළා.
මම ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් දිගටම පෙනී සිටනවා. අපේ පාක්‍ෂිකයාත්, පක්‍ෂයත්, පක්‍ෂ නායකත්වයත් ආරක්‍ෂා කරනවා. එතනදී මගේ පුද්ගලිකත්වයට වඩා පක්‍ෂය ගැන හිතනවා. රට ගැන හිතනවා.
2015 ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ පාලනය පරාජය කිරීමට සියළු ප්‍රගතිශීලී බලවේග එක්විය යුතු බව අප විශ්වාස කළා. පොදු අපේක්‍ෂකයෙකු ඉදිරියට ගෙන ආ යුතු බව අප පැවසූවා. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා ලෙස නම් කළ අවස්ථාවේ ජනාධිපතිවරණය සඳහා හංසයා ලාංඡනය ලබා දුන්නේද මමයි. ඒ සියල්ල කළේ රටේ අනාගතය වෙනුවෙනුයි.
දැන් මට මගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අවසර දෙන්න.
මම මගේ අමාත්‍ය ධූරය පාවිච්චි කළේ ජනතාවට සේවය කරන්නයි. අවුරුදු 20 ක් පමණ තිස්සේ විවිධ අසාධාරණයන්ට ලක්වුණු අපේ පාක්‍ෂිකයන්ට සාධාරණය ඉටු කරන්නයි. රට වෙනුවෙන් හරි දේ කරන්නයි. පැය 24 ම මගේ දුරකථනය විවෘතව තිබුණු බව මේ සභාවේ ඉන්න පක්‍ෂ, විපක්‍ෂ සැවොම දන්නවා. මම තනතුර පාවිච්චි කළේ සේවය කරන්න මිස බලය හා වරප්‍රසාද භුක්ති වි¼දින්න නෙවෙයි.
මේ තනතුරු, මැති ඇමතිකම්, බලය ආදිය තාවකාලිකයි. සදාකාලික වන්නේ අප කළ සේවයයි. අපගේ ගුණයහපත් කමයි. අපගේ අවංක කමයි. නමුත් මේ බව බොහෝ දෙනෙක් වටහා ගන්නේ නෑ. ඔවුන් තනතුරු සදාකාලික බව සිතනවා. බලය සදාකාලික බව සිතනවා. ඒ නිසා බලයෙන් පහ වුණාට පසුවත් බලය පිළිබඳවම සිහින මවනවා. බලය ලබා ගැනීම සඳහා ඕනෑම බාල වැඩක් කරනවා. තමන්ට බලය ලැබෙනවා නම් රටට හෙණ ගැහුවත් ඔවුන්ට කමක් නෑ. 
නමුත් ජනවාරි 08 වන දා විප්ලවයෙන් අප වෙහෙසුණේ ඊට වඩා වෙනස් සමාජයක් බිහි කරන්නයි.
මට එල්ල කරන චෝදනාවන්ට කිසිම පදනමක් නෑ. ඒ කිසිවකට මා සම්බන්ධ නැහැ. නමුත් සමහර කණ්ඩායම් සහ මාධ්‍ය දැනටම මා වැරදිකරුවෙක් කර තියෙනවා. පසුගිය දින දහය ෙදාළහ තුළ අපේ ජනමාධ්‍ය මා සම්බන්ධව කටයුතු කළේ ඉතිහාසයේ කිසිම අවස්ථාවක කටයුතු නොකළ ආකාරයකටයි.  ඔවුන් මාව කුරුසියට දක්කා ඇන ගැසිය යුතු බව පවසනවා. මම ඒවායින් සැලෙන්නේ නෑ. 
යේසුස් ක්‍රිස්තුන් වහන්සේ ට අපවාදවලට මුහුණ දීමට සිදු වුණා. බුදු රජාණන් වහන්සේටත් අපවාදවලට මුහුණ දීමට සිදු වුණා. 
අට ලෝ දහමට අනුව මෙවැනි අවස්ථාවන් හා අභියෝගයන් ඕනෑම කෙනෙකුගේ ජීවිත වලට එල්ල වෙනවා. ඒ අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය මට තියෙනවා.
නමුත් මට විරුද්ධව ඇති චෝදනා පදනම් කර ගනිමින්, යහපාලන රජය අස්ථාවරත්වයට පත් කිරීමේ කුමණ්ත්‍රණයක් දියත් වන බව මට වැටහෙනවා. 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිවෙල කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ක්‍රියත්මක වන බව මට දැනෙනවා. ජනතාව ප්‍රතිෙක්‍ෂ්ප කළ අය, දූෂණ හා වංචා චෝදනාවලට ලක්වූ අය, අපරාධ සිදු කළ අය, මේ කුමන්ත්‍රණකාරී උත්සාහයන් පිටුපස ඉන්නවා. තමන්ගේ වැරදි වලට ලැබෙන දඬුවම් වලින් ගැලවීම සඳහා ඔවුන් යළි බලය ලබා ගැනීමට උත්සාහ දරනවා.
මේ බලලෝභී අවස්ථාවාදී කුමන්ත්‍රණකරුවන්ට එක්සත් ජාතික පක්‍ෂය විනාශ කරන්නට ඉඩ දෙන්නට බැහැ. මේ බලලෝභී කුමන්ත්‍රණකරුවන්ට යහපාලන රජය බිඳදමන්නට දෙන්න බැහැ. මේ කුමන්ත්‍රණකරුවන්ට ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් ප්‍රජාන්ත්‍රවාදී වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න දෙන්න බැහැ. ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමයෙන් විනාශ වූ රට යළි ගොඩනැගීමේ වෑයම දුර්වල කරන්න දෙන්න බැහැ.
ඒ නිසා මුළු රටටම ආදර්ශයක් දෙමින්, අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළා. 
ඉතිහාසය සහ කාලය මට හිමි තැන තීරණය කරාවි. 
අපේ පක්‍ෂයේ ප්‍රබලයින් ගණනාවකට මෙවැනි චෝදනා එල්ල වුණා. ශ්‍රීමත් ජෝන් කොතලාවල, ඩඩ්ලි සේනානායක, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ආර් පේ‍ර්මදාස, ජේ ආර් ජයවර්ධන, මැතිතුමන්ලා සියළු දෙනාටම චෝදනා එල්ල වුණා. නමුත් ඒ සියල්ල පදනම් විරහිතබව ඉතිහාසය ඔප්පු කර තිබෙනවා.
ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ සඳහන් වෙනවා.
 ර්‍ණසත්‍ය වසන් කිරීමට කෙතරම් උත්සාහ දැරුව ද, සත්‍ය කිසිවකට යටපත් නොවන්නේය. සත්‍ය වසන් කිරීමට උත්සාහ දරන්නන්ට හිමි වනුයේ අන්ත පරාජයයි.”
ඉතිහාසය සහ කාලය මට හිමි තැන තීරණය කරන බව මම පවසන්නේ ඒ නිසයි.
තිරුක්කුරල් නම් දෙමළ කාව්‍ය සංග්‍රහයේ මෙහෙම කවියක් තියෙනවා.  ර්‍ණසදාචාරාත්මකව නිවැරදි දේ කරන්න. හැම අවස්ථාවකදීම. හැම තැනකදීම.” 
මගේ චේතනාව නිවැරදි දේ කිරීමයි මගේ අරමුණ අවංකව සේවය කිරීමයි. කවර චෝදනාවක් එල්ල වුණත්, මම දිගින් දිගටම සත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා. අපරාධ හා දූෂණ මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් සටන් කරනවා. අපේ පාක්‍ෂිකයන් රැකබලා ගැනීම සඳහා වෙහෙසෙනවා. ජනවාරි 08 වෙනිදා විප්ලවයෙන් අප ආරක්‍ෂා කරගත් දේශපාලන හා සමාජ අගයයන් වෙනුවෙන් කැප වෙනවා.
මම ඉල්ලා අස්වීමේ තීරණය ගත්තේ දුකකින් හෝ කම්පාවකින් නෙවෙයි. ආඩම්බරයෙන්.
මම මගේ තනතුර කැප කරන්නේ මේ සභාවේ ගරුත්වය වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ අපේ පක්‍ෂයට සැබැවින්ම ආදරය කරන මැතිඇමතිවරු සහ පසුපෙළ මන්ත්‍රීවරු වෙනුවෙන්. කොළඹදිස්ත්‍රික්කයේ මගේ ඡන්දදායකයින් වෙනුවෙන්. අපේ පක්‍ෂයට ආදරය කරන සියළු දෙනා වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්කෘතිය වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ශීලාචාර පාලන ක්‍රමයක් වෙනුවෙන්. මම මේ තනතුර කැප කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් යහපාලන සම්මුතිවාදී රජය වෙනුවෙන්. ඒ නිසා මේ තීරණය ගැන ආඩම්බර වෙනවා.
මෙතනදී මගේ බිරිඳ සහ දරුවන් මුහුණ පා ඇති මානසික පීඩනය ගැනත් සඳහන් කළ යුතුයි. අපේ සමහර මාධ්‍යයන් සහ පුද්ගලයන් මගේ බිරිඳගේත්, දූවරුන්ගේත් චරිත ඝාතනය කරනවා. ඔවුන්ටත් පහර ගහනවා. ඔවුන් දැන් ඉන්නේ ඒ සියළු පීඩනයන් හා අපහාස වි¼දිමින්. ඒ සියල්ල මැදත්, ඔවුන් මට මේ තීරණය ගැනීමට ශක්තියක් වුණා. ඒ ශක්තිය මට ලබා දීම ගැන, මෙලා ඔබටත්, ඔනෙල්ලා, ෂෙනෙල්ලා, මිනෙල්ලා දියණියන්ටත් ස්තුතියි. ඔබ මට හැමදාමත් ආදරෙයි. මගේ ආදරය ඔබ ළඟයි.
බුදුන් වහන්සේගේ ශ්‍රේෂඨ ධර්මය අඩංගු ධම්ම පදයේ එක් ගාථාවක මෙසේ දැක්වෙනවා.
 ර්‍ණයමෙක් අනුන්ට ද්වේෂ නොකළ, නිරපරාධ වූ පිරිසිදු පුද්ගලයෙකුට අපරාධයක් කරයි ද, උඩු හුළඟට දැමූ දූවිල්ලක් සේ, එහි පව එය කළ පුද්ගලයා කරාම එයි.”
ධම්ම පදයේ තවත් ගාථාවක මෙහෙම සඳහන් වනවා.
 ර්‍ණඝන ගල් පව්ව සිව් දිගින් හමන සුළඟින් නොසෙල්වෙන්නේ යම් සේ ද, එසේම නින්දා ප්‍රශංසා දෙකේදී පණ්ඩිතයෝ නොසැලෙති.”
අන්න ඒ නිසා ම, මගේ පක්‍ෂය සහ මගේ රට වෙනුවෙන් මම අද ගත් මේ තීරණය පිළිබඳව මම නැවතත්  ආඩම්බර වෙනවා.

 

විශ්වාසභාංග යෝජනාවක පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතාට එරෙහිව ගෙන ඒමට තමන්ට සිදුවන්නේයැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ප්‍රකාශ කළේය.
උඣීව පළාත් සභාව සම්බන්ධයෙන් තමා විමසන ප්‍රශ්නවලට සැමදාම පිළිතුරු ලබා දෙන්නේ මන්දගාමි ස්වරූපයෙන් නිසා ෆයිසර් මුස්තාපා ඇමතිවරයා පිළිබඳ විශ්වාසය කඩව ඇතැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. එම නිසා මෙලෙස විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තමාට සිදුවන්නේයැයිද හෙතෙම සඳහන් කළේය.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසන අවස්ථාවේදි පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතා සභාවේ නොසිටිම නිසා ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඊට පිළිතුරු දුන් අවස්ථාවේදි මන්ත්‍රීවරයා මේ බව කීවේය.
තමන් දිගින් දිගටම විෂයභාර ඇමතිවරයාගෙන් පළාත් සභා කටයුතු හා මහ ඇමතිවරයාගේ කටයුතු සම්බන්ධයෙන් වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න යොමු කළත් ඒවා වෙනුවෙන් පිළිතුරු ලැබෙන්නේ ඉතා අඩුවෙන් බවද මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.
එබැවින් තමන් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට අපේක්ෂා කරන බවත් ඊට අනෙකුත් මන්ත්‍රීවරුන්ගේද සහාය ලැබේ යැයි විශ්වාස කරන බවත් ඒ මහතා කීවේය.
කතානායක කරු ජයසූරිය මහතා මෙහිදි සඳහා කළේ මන්ත්‍රීවරයා විමසන ප්‍රශ්න සඳහා විෂයභාර ඇමතිවරයා පිළිතුරු ලබා නොදිම සම්බන්ධයෙන් අවධානය යොමු කර කටයුතු කරන ලෙස ආණ්ඩු පක්ෂ සංවිධායකවරයාට උපදෙස් දෙන බවයි.

 

සමෘද්ධිය කපා හැරිම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ මතු කළ ප්‍රශ්නට පිළිතුරු ලබාදිමට විෂය භාර ඇමතිවරයා නොසිටිම නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කළු පටි බැද, සටන් පාඨ ඇතුළත් පොස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක නිරත වූ හ.
සමෘද්ධි ලාභින්ගේ සහනාධාර කපා හැරිම ගැන සඳහන් පුවරු ප්‍රදර්ශනය කළ අතර මන්ත්‍රීවරු කළු පටි පැළැද කෑ කෝ ගැසිම නිසා විනාඩි කිහිපයකට සභාවේ කටයුතු කල් තැබිමට කතානායක කරු ජයසූරිය මහතාට සිදුවිය.
වත්මන් ආණ්ඩුව දුගී දුප්පත් ජනතාවගේ සමෘද්ධි සහනාධාරය කප්පාදු කිරිම, අඩු කිරිම, බරපතල ප්‍රශ්නයක් බැවින් එය නවතා දැමිය යුතු බවත් මෙම ගැටළුවට පිළිතුරක් විෂයභාර ඇමතිවරයාගෙන් අවශ්‍ය බවත් ගුණවර්ධන මහතා සිය ප්‍රකාශය කරමින් කීවේය.
අහිංසක දුප්පත් ජනතාවගේ සමෘද්ධි ප්‍රතිලාභය කප්පාදු කිරිමට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ බව ප්‍රකාශ කළ විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති අජිත් පි. පෙරේරා මහතා එය කිසිසේත් අනුමත නොකරන බවද සඳහන් කළේය.
දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රශ්නයට ඉදිරි දිනකදි ඇමතිවරයා පිළිතුරු ලබා දෙන බව සඳහන් කළ අවස්ථාවේ නැගි සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙලෙස කෑ කෝ ගසමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් කෑ කෝ ගසන්නට වූහ. මෙහිදි ගයන්ත කරුණාතිලක මහතා කීවේ පසුගිය වසර විස්සක කාලය තුළ එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ සමෘද්ධි ප්‍රතිලාභය කපා දැමු බවයි.
සෙමෘද්ධි ප්‍රතිලභින්ගේ විශ්‍රාම වැටුපට අත නොතබනුෙසෙහනාධාර කප්පාදු නොකරනුෙ යනාදි පුවරු ප්‍රදර්ශනය කරමින් දිගින් දිගටම කෑ කෝ ගමන්නට වූහ.
මෙහිදි නැගි සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල ආසන සංවිධායකවරුන්ගේ හා මන්ත්‍රිවරුන්ගේ ලිපි මත සමෘද්ධිය කප්පාදු කරමින් සිටින බැවින් එය නැවැත්විය යුතු බවයි.
කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ මන්ත්‍රීවරු මෙලෙස හැසිරිමෙන් නාස්ති වෙන්නේ මහජන මුදල් බැවින් මේ ගැන විෂයභාර ඇමතිවරයා සමඟ සාකච්ඡ කොට පිළිතුරක් ලබාදිමට තමන් මැදිහත් වන බැවින් සන්සුන් වන ලෙසයි. නමුත් මන්ත්‍රීවරු දිගින් දිගටම කෑ කෝ ගසන්නට වීම නිසා සභාව කල් තැබු කතානායකවරයා පක්ෂ නායක රැස්විමක් සඳහා සභාව කල් තැබීය.
විනාඩි 20 කින් පසු යළි සභාව රැස්වූ අවස්ථාවේදි ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා කීවේ විෂයභාර ඇමතිවරයා 11 වැනි දා අදාල ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන බවයි.

 

විදේශ ඇමතිධූරයෙන් රවි කරුණානායක මහතා ඉල්ලා අස්විම තුළින් අලූත් පාර්ලිමේන්තු සංස්කෘතියක් සහ සම්ප්‍රදායක් ඉතිහාසයේ පළමුවරට ඇතිවිම සම්බන්ධයෙන් ආඩම්බර වන බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
රවි කරුණානායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්විමේ විශේෂ ප්‍රකාශය කිරිමෙන් පසු නැගි සිටි අගමැතිවරයා මෙසේද කීය.
අපේ පක්ෂයේ උපනායක මට කිව්වා මේ තනතුරින් ඉවත් වෙනවා කියලා. ජනාධිපතිතුමා හමුවී මේ ගැන තිරණයක් ගන්නා බවත් ප්‍රකාශ කළා. මම අබේවෙල කළ සංචාරය නිමවා කොළඹපැමිණිමෙන් පසු රවි කරුණානායක මහතාත් ජනාධිපතිතුමා හමුවුනේ බදාදා.... රාජිත සේනාරත්න ඇමතිතුමාත් එතන සිටියා. ඒ වෙලාවේ ඇමතිවරයා සිය ඉල්ලා අස්විම ජනාධිපතිතුමාට භාර දුන්නා. සමහරු අද උදේ ඉල්ලා අස්වෙන්න කියා කෑ ගසද්දීත් එතුමා ඉල්ලා අස්වෙලා අවසන්.
බැදුම්කර කොමිසමේ පරික්ෂණවලට ආණ්ඩුව ඇගිලි ගැසිම් හෝ මැදිහත්වීම් නොකරන බවට රවි කරුණානායක මහතාගේ ඉවත්විම කදිම සාධකයක්. මෙරට දේශපාලන ඉතිහාසය තුළ මෙවන අවස්ථාවක් දකින්නට නෑ.... වර්තමාන ආණ්ඩුව යහපාලනය සැබෑවටම යථාර්තය් බවට පත් කර තිබෙනවා.
මීට කලින් කොහොද ඇමතිවරයෙක් කොමිසමට ගිහින් කතාවක් දෙකක් කලා කියා අයින් වුනේ..... එදා ගියෙත් නැහැ..... (සභාවේ ඝෝෂා)
මෙතන අපි පෙන්වන්නේ අලූත් සංස්කෘතියක් ඇති කිරිම ගැනයි. එක්සත් ජාතික පක්ෂයේ කෙනෙකුට හොරෙක් කීවොත් අපි එයාව අයින් කරනවා. අපි හොරු තියා ගන්නේ නැහැ. (සභාවේ ඝෝෂා)
කතානායක - මේක ශිලාචාර සභාවක්... අගමැතිතුමාට කතා කරන්න ඉඩ දෙන්න.
අගමැති – මම කාටවත් චෝදනා කළේ නැහැ. හොරු ගැන පක්ෂයේ ප්‍රතිපත්තිය කිව්වා. මෙතැන ඉන්න අය ඇවිස්සුනේ නැහැ (ඉදිරි පස ජ.වි.පේ මන්ත්‍රිවරු පෙන්වමින්) මේ පැත්තේ ඉන්න අය ඇවිස්සුනේ නැහැ (දෙ.ජා.ස මන්ත්‍රිවරු පෙන්වමින්) ඇයි ඔතන ඉන්න අය ඇවිස්සුනේ.... (ඒකාබද්ධ මන්ත්‍රීවරු පේනවමින්) ඔතන වැලි හොරු ඉන්නවද... ඔතන කැරම්බෝඩ් හොරු ඉන්නවද.... කුඩු කාරයෝ, බාර් හොරු, සුනාමි හොරු, සිමෙන්ති හොරු, සිල් රෙදි හොරු ඉන්නවද... අවුරුදු 10 ක් මේක කරන්න බැරි වුනානේ. ලසන්ත වික්‍රමතුංග මැරුවා.... එක්නැලිගොඩව උස්සගෙන ගියා...
(සභාවේ ඝෝෂා)
රවි කරුණානායක මන්ත්‍රීතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් තහනම් නියෝග ගත්තේ නැහැ. කොමිසමට ගියා. ප්‍රකාශයක් කලා මෙතනට ආවා ඉල්ලා අස්වි පිටුපස අසුනට ගියා. ප්‍රියසාද් ඩෙප්ලාට පසුගිය ආණ්ඩුව කාලේ නිතිපති වෙන්න දුන්නේ නැහැ ඔවුන්ට විරුද්ධව කතා කලා කියලා. එයාගේ වාසනාවට අගවිනිසුරු වෙන්න පුළුවන් වුනා.
අද මාධ්‍ය නිදහසක් තියෙනවා. අපි එදා හොරු ගැන කියද්දි අපට ද්‍රෝහියෝ කිව්වා. අද හැම එක්කෙනාටම හොරා කියනවා. අපිටත් හොරා කියනවා ලියන එකාත් හොරු. අද තියෙන්නේ නිදහස් සමාජයක්. අලූත් යුගයක්. යහපාලනයක් පෙන්වා දී තිබෙනවා. මේ ගැන ආඩම්බරයි.
 

කිසිදු අධිකරණයකින් වරදකරු කර නැති නිසා එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් නිතිය ඉදිරියේ රවි කරුණානායක මහතාට නිර්දෝෂි භාවයේ පුර්ණ නිගමනය සඳහා හිමිකම තිබෙන බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කළේය.
රවි කරුණානායක මහතා විදේශ ඇමතිධුරයෙන් ඉල්ලා අස් වූ පසුව අගමැතිවරයා ඒ ගැන ප්‍රකාශයක් කළ පසු නැගි සිටි විපක්ෂ නායකවරයා මෙසේද කීය.
යමෙකු වරදකරුවෙකු ලෙස තින්දු කරනතුරු නිවැරදිකරුවෙකු සේ සැලකීම ඔහුගේ අයිතියක්. රවි කරුණානායක මහතාව රටේ කිසිම අධිකරණයකින් වරදකරු කර නැහැ. එනිසා එතුමාට නිර්දෝෂිභාවයේ පූර්ණ නිගමනයට හිමිකම් තිබෙනවා.
කරුනානායක මහතා ඇමතිධුරයෙන් ඉල්ලා අස්විමේ නිර්භිත පියවර අගය කරනවා. රටේ යහපාලනය, යහපත උදෙසායි ඒ තිරණය ගත්තේ. එතුමා හොද උදාහරණයක් ලබා දුන්නේ. රටේ පසුගිය අවුරුදු කිහිපය තුළ විවිධ අයට දුෂණ චෝදනා එල්ල වුනා. ඒත් ඒ කිසිවෙකු සම්බන්ධව කටයුතු කර නැහැ. රවි කරුණානායක මහතා වෙත එල්ල වී ඇති චෝදනා ඔප්පු වී නැතත් ඉල්ලා අස්විම ගැන අගය කරනවා.

 

රවි කරුණානායක මහතා ඉල්ලා අස්වූයේ ඇයි කියා ආණ්ඩුවේ හෘද සාක්ෂිය හොදින්ම දන්නා නිසා මෙය ආණ්ඩුවට ආඩම්බරයක් නොව පරාජයක් බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති ප්‍රකාශ කළේය.
විදේශ ඇමතිධූරයෙන් රවි කරුණානායක මහතා ඉල්ලා අස්විමෙන් පසු ඒ ගැන අදහස් දැක්වූ සුනිල් හදුන්නෙත්ති මහතා මෙසේද කීය.
රවි කරුණානායක මහතාට ඉල්ලා අස්වෙන්න සිද්ධ වෙන්නේ එසේ නොකළහොත් ඔහුව ඉවත් කරන නිසයි. බැදුම්කර ගණුදෙනුවේ බිල්ල ඉල්ලා අස්වුනත් නිධානය තියෙන්නේ කොහේද කියා සොයා බලන්න ඕනේ.
මේක ආණ්ඩුවේ ජයග්‍රහණයක් නොවෙයි. රවි කරුණානායක මහතාගේත් ආණ්ඩුවේති හෘද සාක්ෂිය දන්නවා ඉල්ලා අස්වුනේ ඇයි කියලා. එනිසා මෙය ආණ්ඩුවට ආඩම්බරයක් නොව පරාජයක්. හොරා කපු අයත් සතුටු වෙනවා ආණ්ඩුවේ හොරෙක් ඇල්ලූවා කියලා. එනිසා මේක ඒකාබද්ධ විපක්ෂයෙත් ජයග්‍රහනයක් නොවෙයි.

 

විදේශ ඇමති රවි කරුණානායකට එරෙහි ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව ඒ මහතා සියධූරයෙන් ඉල්ලා අස්විම නිසා විවාදයට ගැනිමට අවශ්‍ය නොවන බව කතානායක කරු ජයසූරිය ප්‍රකාශ කළේය.
මහ බැංකු වාර්තාව පිළිබඳ කල් තැබිමේ විවාද පැවැත්වෙන අවස්ථාවේ හදිසියේ මුලසුනට පැමිණි කතානායකවරයා විශ්වාසභංග  යෝජනාව පිළිබඳ ඉහත නිවේදනයක් ප්‍රකාශ කර මුලසුනෙන් බැස ගියේය. එම අවස්ථාවේ මුලසුනේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මුලසුනේ සිටි අතර කතානායකවරයාගේ නිවේදනයෙන් පසු යළිත් මුලසුනට පැමිණියේය.
රවි කරුණානායක මහතා මේ වන විට ඇමතිධූරය නොදරන නිසා ඒ මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පිළිගැනිම වර්තමානයේ හේතුවක් නොවන බව සඳහන් කරමි යැයි කතානායකවරයා නිවේදනය කළේය.

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න