අගෝස්තු 23 වැනි දා

පාර්ලිමේන්තුව නිශ්චිත කරන ලද එකම දිනක දී සියලු පළාත් සභා මැතිවරණ පැවැත්විමේ නියම ඇතුළත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කෙරෙනා සංශෝධනයක් ලෙස මෙම පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබී ය.
සියලූම පළාත් සභාවලට මන්ත්‍රීවරුන්  තෝරා පත්කර ගැනිමේ ඡන්ද විමසිම එකම දිනයක පවත්වනු ලැබිය යුතු අතර සියලූම පළාත් සභා විසිරෙන දිනය පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලැබිය යුත්තේය යනුවෙන්ද පනතේ දැක්වේ.
එම නිශ්චිත දිනය අවසානයට සංස්ථානපනය කරන ලද පළාත් සභාවේ ධූර කාලය ඉකුත් වන දිනයට පසු දිනයක් නොවිය යුත්තේය යනුවෙන්ද එහි සඳහන්ය.
දැනට පවතින පළාත් සභාවලින් දිශ්චිත දිනයට පෙරාතුව අවසන් වන යම් පළාත් සභාවක ධූර කාලය නිශ්චිත දිනය දක්වා දිර්ඝ කරනු ලැබු ලෙස සලකනු ලැබිය යුතුවේ.
යම් නිතිමය හේතුවක් නිසා යම් පළාත් සාවක් විසුරුවා හරිනු ලබන අවස්ථාවකදී, ඒ පළාත් සභාවේ බලතල මැතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය තෙක් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුතු බවද එම පනත් කෙටුම්පතේ දැක්වේ.
මෙම පනත් කෙටුම්පත ඉදිරි දිනකදි පාර්ලිමේන්තුවේදි විවාදයට ගෙන සම්මත කර ගැනිමට නියමිත ය.

අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් පවතින නිතිමය තත්ත්වය තුළ ස්ථිර කළ නොහැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේය.
ඔවුන් ස්ථිර කල නොහැකි නමුත් ඉන්දියාවේ ක්‍රියාත්මක වන්නා සේ අනාරක්ෂිත ගේට්ටුව එක් පවුලකට බාරදි ඔවුන්ට මසකට රුපියල් 22500 ක දිමනාවක් ගෙවිමට කටයුතු කරනා බව පැවසු ඇමතිවරයා එයට අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් කැමති වූ බවද කිවේය.
ඒ අනුව එම පවුලට තමන්ගේ වැඩ හෝ වෙනත් ව්‍යාපාරයක් කරනා අතරතුරදි පවුලේ සාමාජිකයන්ට බෙදා හදාගෙන ගේට්ටුව මුරකළ හැකි බවද ඔහු සඳහන් කළේය.
ඊ.පි.ඩි.පි පක්ෂයේ මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා ස්ථාවර නියෝග 23/2 යටතේ ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේද කීය.
අනාරක්ෂිත දුම්රිය ගේට්ටු සඳහා බෙල් ඇන්ඩ් ලයිට් (සිනුව හා ආලෝක සං ඥා) පුවරු සවි කිරිමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කර තිබෙනවා. ඒ අනුව ගේට්ටු 200 ක් වෙනුවෙන් ටෙන්ඩර් ප්‍රදානය කර එහි ඉදිකිරිම් කටයුතු කරගෙන යනවා. තවත් ගේට්ටු 200 ක් සඳහා මේ වන විට ටෙන්ඩර් කැදවා තිබෙනවා.
අනාරක්ෂිත දුම්රිය ගේට්ටු 876 ක් රට පුරා පවතිනවා. වසර එකහමාරක් දෙකක් ඇතුළතදි බෙල් ඇනඩ් ලයිට් සංඥ පුවරු ගේට්ටු සඳහා සවි කරන්න පුළුවන් වේවි. රියදුරන්ද මෙයට හුරු වෙන්න ඕනා.
බෙල් ඇන්ඩ් ලයිට් සං ඥා පුවරු සවි කර ඇති බව දන්වන පුවරු අනාරක්ෂිත දුම්රිය ගමන් මාර්ගයට යාර 200 ක් පමණ දුර සවි කරන්නත් කටයුතු කරනවා. සමහර ස්ථානවලට මාර්ග බාධක (බම්පර්ස්) යොදන්න කටයුතු කරනවා.

නියගයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය සේවා දිමනාවක් ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.
නියගයෙන් පිඩාවට පත් ජනතාවට ලබා දෙන රුපියල් 2500 ක සහන මල්ලෙන් පමණක් ඔවුන්ට යැපිය නොහැකි බැවින් විශේෂ සෞඛ්‍ය දිමනාවක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.
නියගය පිළිබඳ සබාව කල් තැබිමේ විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලිම කළේය. නියගයෙන් දිස්ත්‍රික්ක 9 ක ජනතාවක් පිඩාවට පත්ව ඇති බවත් ඔවුන් නොයෙකුත් වකුගඩු රෝගය වැනි රෝගවලින් පිඩාවට පත්ව ඇති පිරිසක් බවත් පැවසු මන්ත්‍රීවරයා මේ නිසා ඔවුන්ට සෞඛ්‍ය දිමනාවක් ද හිමි විය යුතු බව කීය.
මේ අවස්ථාවේදි නැගි සිටි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සියලූ රෝහලවල පරික්ෂණ කටයුතු නොමිලේ සිදුකරනා බවත් අවශ්‍ය බෙහෙත් සපයා ඇති බවත් කීවේය. මේ අවස්ථාවේ දෙදෙනා අතර උණුසුම් වාදයක් ඇති වූ අතර කතානායක කරු ජයසූරිය මැදිහත් වී එය සමථයකට පත් කළේ ය.

ග්‍රාම නිලධාරි පුරප්පාඩු 1815 ක් රටපුරා පවතින බැවින් ඒවා සම්පුර්ණ කිරිමට ඉදිරියේදි සම්මුඛ පරික්ෂණ පවත්වා බඳවා ගැනිම් කරනා බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.
ග්‍රාම නිලධාරින් බඳවා ගැනිම සඳහා තරඟ විභාගයක් 2016 දි පැවැත්වූ බවද ඊට සහභාගි වූ 120000 ක අයදුම්කරුවන් අතුරින් හාරදහසකට ප්‍රතිඵල නිකුත් කළ බවද ඇමතිවරයා කීවේය. මේ අය සම්මුඛ පරික්ෂණ සඳහා කැදවන බවද හෙතෙම සඳහන් කළේය.
රටපුරා පැවැති ගංවතුර සහ නියඟය හේතුවෙන් මෙම සම්මුඛ පරික්ෂණ ප්‍රමාද වී ඇතැයි කී ඇමතිවරයා ඒ වෙනුවෙන් සම්මුඛ පරික්ෂණ මණ්ඩල තිහක් හතලිහක් පත්කර ඇතැයිද කීවේය.
පුරප්පාඩු වී ඇති ග්‍රාමසේවා වසම්වල ග්‍රාම සේවා නිලධාරින් පත් කර ඇති බවත් පුරප්පාඩු පිරවිමත් සමඟ විශ්‍රාමිකයන්ගේ සේවය අහෝසි වී යනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
කලූතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජයන්ත සමරවිර මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

චෝදනා හතක් යටතේ සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්නට එරෙහි ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව 24 හෝ 25 වැනි දා කතානායකවරයා වෙත බාර දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා ප්‍රකාශ කළේය.
විශ්වාසභංග යෝජනාවට අවශ්‍ය අත්සන් අද දවස තුළ පාර්ලිමේන්තුවේදි මන්ත්‍රීවරුන්ගෙන් ලබා ගන්නා බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
රජයේ තක්සේරු මුදලට වඩා අඩුමිලට මෝදර ධිවර වරාය බදුදිම, අල්ලස් කොමිසම හමුවේ ඇති පරික්ෂණවලට සහාය නොදි මගහැර සිටිම ඇතුළු චෝදනා හතක් අදාල විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇතැයි ද මන්ත්‍රීවරයා කීවේය.

රටපුරා යහපත් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන බවට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විරෝධය දැක්වූ විපක්ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක  ඇමතිවරයා විවේචනය කරමින් කතා කිරිම නිසා දෙදෙනා අතර උණුසුම් මත ගැටුමක් ඇතිවිය.
දිස්ත්‍රික් කිහිපයක ජනතාව නියඟයෙන් පීඩා විදින බවත් ඒ අතර වකුගඩු හා පිළිකා රෝගින් සිටින බවත් ඔවුන්ට දිනපතා ප්‍රතිකාර කටයුතු කරගැනිමට ආර්ථික අපහසුතාවක් ඇති බවත් දිසානායක මහතා කීවේය.
අනුර කුමාර දිසානායක - ගොවි ජනතාවට අසනිපයක් උනොත්  රෝහල්වල බෙහෙත් නෑ.... පිටින් ගන්න ඕනෑ.....
සෞඛ්‍ය ඇමති - කොහෙද කොහෙද ඒ
අනුර දිසානායක  - මොණරාගල
ඇමතිවරයා - මම පරික්ෂණයක් කරන්නම් රෝහල් අධ්‍යක්ෂකට විරුද්ධව..... රෝහල්වල බෙහෙත් තියෙනවා. රසානයනාගාර සේවා රෝහල්වල තියෙනවා.
අනුර කුමාර දිසානායක - රෝහල්වල බෙහෙත් තියෙනවා කියනවා. සියලුම රෝහල්වලින් කරගත හැකියි කියනවා. රටේ සෞඛ්‍ය සේවය යහපත්නම් ඇයි රෝහල් ඉදිරිපිට ෆාමසි තියෙන්නේ.... ලේ මුත්‍රා පරික්ෂා කරන රසායනාගාර සේවා තියෙන්නේ ඇයි.... ඉස්සර රෝහල් ඉදිරිපිට තිබුණේ මිනි පෙට්ටි සාප්පු.... ඒ මිය යන අයට රෝහලෙන් පෙට්ටි නොදෙන නිසා.... අද රෝහල්වලින් බෙහෙත් නොදෙන නිසා ලේ, මුත්‍රා පරික්ෂා නොකරන නිසා තමයි ෆාමසි, රසායනාගාර සේවා තියෙන්නේ.
මේ අවස්ථාවේ සෞඛ්‍ය ඇමතිවරයා නැගිට යමක් නොනවත්වා ප්‍රකාශ කරයි. මයික්‍රෆෝනය ක්‍රියාත්මක නැති බැවින් පැහැදිලිව ශ්‍රවණය වූවේ නැත.
අනුර දිසානායක - රෝහල්වල යහපත් සෞඛ්‍ය සේවයක් තිබෙනවා නම් ඇයි සෞඛ්‍ය ඇමතිවරයා ජනාධිපති අරමුදලෙන් ලක්ෂ සියයක් අරගෙන සිංගප්පූරුවේ මවුන්ට එළිසබෙත් රෝහලට ගියේ.... මොන හිගන්නෙක්ද මේ.....
(සභාවේ ඝෝෂා සෞඛ්‍ය ඇමතිවරයාද දිගින් දිගටම යමක් කියයි)
කතානායක – වාඩි වෙන්න වාඩි වෙන්න
අනුර දිසානායක - මගේ කතාව. ඇයි මම වාඩිවෙන්නේ. එයාට වාඩි වෙන්න කියන්න. අපේ ගෙදර ටොමියත් මෙහෙම තමයි. එක පාරටම බුරනවා. ටොමියා ඇයි බුරන්නේ.... මොදර ධිවර වරාය බදු දුන්නා. මාසෙක තක්සේරුව ලක්ෂ 17 යි. එක් ලක්ෂ විසි පන්දහස ගානේ මාස තුන්සියයකට බදු දුන්නා. පරික්ෂණ අල්ලස් කොමිසම කරගෙන යද්දි ජනාධිපතිවරයා හමුවෙලා අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරු කළා. අායුර්වේද සංස්ථාවට මස්සිනා දාලා. නෝනා පත්විම් දෙනවා. පට්ට හොරෙක්.... මොන හිගන්නෙක්ද මේ ලැජ්ජයි.... ඒවට එන්න එපා හොදේ.... මගෙන් මොකක්වත් අහගන්න එපා.... ආණ්ඩුවත් එක්ක බිස්නස් කරලා මන්ත්‍රීකම නැතිවුනා. රනිල් වික්‍රමසිංහට දණගහලා වදින්න ඕනේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකම දුන්නට..... බිස්නස් කරලා මන්ත්‍රීකම නැතිවුන එකම පුද්ගලයා මෙයා.... සෞඛ්‍ය සේවය බිද වැටිලා. මේ නියගය නිසා ගමේ මිනිහෙක් අසනීපවුනොත් බෙහෙත් ගන්නවත් ආර්ථික ශක්තියක් නැහැ. ගොවි ජනතාව වකුගඩු රෝගයෙන් පෙළෙනවා. ජනාධිපති අරමුදලෙන් දෙන්නේ එක් ලක්ෂ හැත්තෑ පන් දාහයි. ඒකටත් ග්‍රාමසේවකගේ, ප්‍රාදේශිය ලේකම්ගේ සහතිකය ඕනේ. ඒත් රටේ සෞඛ්‍ය ඇමතිට ජනාධිපති අරමුදලෙන ලක්ෂ සියයක් දෙනවා. මොන හිගන්නෙක්ද ඒ සෞඛ්‍ය ඇමති. 
(යළි සෞඛ්‍ය ඇමතිවරයා යමක් කියයි) 
දිසානායක මන්ත්‍රීවරයා - බුරන්න එපා. එතුමා කෝප වෙලා. ටොමියා ඇවිස්සිලා.

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න